Monday 26th of February 2024

English Tamil
Advertiesment


ඉන්දීය ව්‍යාප්ත වාදයට එරෙහිව කතා කළ අනුර කුමාර ඉන්දියාවේ ගොස් ඒ ගැන උදම් අනනවා 


2024-02-07 1282

 

එදා ඉන්දීය විරෝධයක් රටේ ඇති කළා-ඉන්දීය ආයෝජන රටට අහිමි කළා 

 

රටට-ජනතාවට වග කියන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා 

 

-නාමල් රාජපක්ෂ-

 

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරමින් රට අභ්‍යන්තරයේ ඉන්දියානු විරෝධයක් ඇති කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියානු සංචාරයක යෙදෙමින් ඒ ගැන උදම් අනන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.  

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, පොළොන්නරුව, ගිරිතලේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ "සද් ජන රළ" රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීමට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

අපේ රටේ දැවැන්තම සහ ප්‍රධානම දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගකීම් පැහැර හරින පක්ෂයක් නොව වගකීම් භාර ගෙන කටයුතු කරන දේශපාලන පක්ෂයක් බව කිව යුතුයි. ගෙවුණු වකවානුවේ දී කුමන්ත්‍රණශීලීව අපේ පක්ෂය වැට්ටුවා. එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයෙදි වෙඩි තබා අපේ බලය රැක ගන්න කටයුතු කිරීමට අපේ ආණ්ඩුවටත් අවස්ථාව තිබුණා. නමුත් එවැන්නක් සිදු නොවිය යුතුයි.

අරගලයට සම්බන්ධ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළ යුතුය යන ස්ථාවරයේ මම අදත් සිටිනවා. ආණ්ඩුව අභ්‍යන්තරයේම ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණ නිසා අපේ ආණ්ඩුව කඩා වැටුණු අතර ඒ කුමන්ත්‍රණ එදා අපට නොහැකි වුණා. ඒ ඇත්ත අප පිළි ගත යුතුයි.

මේ රට බංකොලොත් කිරීම පිළිබඳව මීට කලකට පෙරඅධිකරණය තීන්දුවක් දුන්නා. මේ රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් වග කිව යුත්තේ රාජපක්ෂවරුන් කියා එම නඩු තීන්දුවේ කිසිදු තැනක ඇත්තේ නැහැ. මහා බැංකු අධිපත්වරයා අද කියනවා මේ රට බංකොලොත් නෑ කියලා. අපේ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා මැරුණට පස්සෙ තමයි කියන්නෙ රට බංකොලොත් නෑ කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙ පාලනය කාලයේ වගේ ග්‍රාමීය ආර්ථිකය යළි  ගොඩනැගීමේ වැඩ පිලිවෙළක් නැවත සකස් කළ යුතුයි.

මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගොස්  සාකච්ඡා කරනවා. ඒ තත්ත්වය හොදයි. නමුත් ගෙවුණු වකවානුවේ දී ජනතා විමුක්ති පෙරමුණ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් මේ රටේ ක්‍රියාත්මක කළා. ඉන්දියාවෙන් අපේ රටට ආ ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී මේ රටට අහිමි කළ අතර සාම්පූර් බලාගාරය ඊට හොදම නිදසුනක් වනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අලුත් මතයකට පැමිණ තිබෙනවා.

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඉතිහාසයේ කතා කරමින් රට අභ්‍යන්තරයේ ඉන්දියානු විරෝධයක් ඇති කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දියානු සංචාරයක් ගොස් ඒ ගැන උදම් අනමින් කතා කරනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ඉන්දියානු ආයෝජනවලට එකගත්වය පළ කරනු ඇතැයි අප සිතනවා.ඒ නිසා මේ රට ගොඩනැගීම සදහා අප සියලු දෙනා එකතු වෙලා කටයුතු කරමු. ඒ සදහා කටයුතු කරන්න සද්ධන්තයින් අපේ පක්ෂයේ බිම් මට්ටමේ සිටිනවා. ඒ නිසා මේ රටට වග කියන සහ ජනතාවට වග කියන අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් අප ඉදිරිපත් කරනවා.

Advertiesment