Thursday 19th of September 2024

English Tamil
Advertiesment


උරුමය යනු අනාගත ආර්ථිකය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්


2024-02-06 14319

 

පෞද්ගලීකරණය බිල්ලෙකු නොවෙයි 

 

ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථට විරුද්ධයි  

 

රටේ මෙතෙක් තිබුණේ, දෙන්නම් කාසි දේශපාලනයක් සහ පොරොන්දු පිට ජන්දය ගන්න අල්ලස් සංස්කෘතියක්

 

අපේ අරමුණ ජනතාව දෙපයින් නගා සිටු වීමයි 

 

හිටපු මුදල් ඇමතිගෙන් සැර උත්තරයක්..!

 

 

මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන "උරුමය" වැඩසටහන අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

එසේම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ පා මේ වන විට පියවරෙන් පියවර එම තත්ත්වයෙන් මිදෙමින් සිටින රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා වන වැඩපිළිවෙලට ජනතාවගේ සහභාගිත්වය තහවුරු කෙරෙන පියවරක් ලෙසද උරුමය වැඩ සටහන හඳුන්වා දිය හැකි බව රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. 

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ සඳුදා (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී පැවති "උරුමය" ජාතික වැඩ සටහනේ සමාරම්භක අවස්ථාව පිළිබඳ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මූලිකත්වයෙන් දියත් වන උරුමය වැඩ සටහන  කාලෝචිත වගේම ඓතිහාසික මුල පිරීමක් බව කිව යුතුයි. ස්වර්ණ භූමි සහ ජය භුමි ඇතුළු විවිධ නම් යටතේ ඉඩම් බලපත්‍ර ජනතාව වෙත ලබා දී තිබුණත් ඊට විධිමත් ඔප්පුවක් නැති නම් සින්නක්කර ඔප්පුවක් නොමැතිකම හේතුවෙන් විසි ලක්ෂයකට අධික ජනතාවක් දශක ගණනාවක සිට දැඩි පීඩාවට පත්ව සිටියා. ඒ තත්වයෙන් අත්මිදීමට එම ජනතාවට මේ වන විට අවස්ථාව හිමිවී තිබෙනවා.
 
වැට ඉන්නට මිනී මරා ගන්න සහෝදර සහෝදරියන්, අසල්වාසීන් ගැන අප අහලා දැකලා තියෙනවා. භූමිය වෙනුවෙන් රටවල් ආක්‍රමණය කරනවා අප අසා දැක තියෙනවා. ඒ ඉඩමට, බිම් කොටසකට තියෙන වටිනාකම නිසයි. කවුරුත් කැමතියි අඟලක හෝ බිම් කොටසක් තමන්ට තිබෙනවාට. මොකද ඉඩම කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක්. ඒ අර්ථයෙන් එය වත්කමක්ද වනවා. නමුත් එවැන්නක් බලපත්‍රයකට සීමා වී තිබු විට එහි නියම අගය, වටිනාකම අත්විඳින්න ලැබෙන්නේ නෑ.

ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ එය සින්නක්කර ඔප්පුවක් වශයෙන් තිබියදීයි. ඒ හරහා ජනතාවගේ පෞද්ගලික වත්කම වැඩි වෙනවා. මෙතෙක් යම් ගෙවීමක් සිදු කිරීමට වුණා නම් ඒ මුදල් ඉතුරු වෙනවා. ඉඩම වෙනුවෙන් බැංකු ණයක් ගෙන, එය තවදුරටත් වත්කම් උපයන ආයෝජනයක් බවට පත්කර ගැනීමේ සිට ඕනෑම ආර්ථික කටයුත්තක් වෙනුවෙන් භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ උරුමය හරහා බිලියන ගණනක වටිනාකමක් ආර්ථිකයට උරුම වෙනවා. එය ඉතාම වැදගත් කාරණයක්. 

එක් පසෙකින් ලක්ෂ 20 කට අධික ජනතාවක් දශක ගණනාවක් තිස්සේ මුහුණ දුන් ගැටලුවකට ස්ථිරසාර විසඳුමක් ලැබෙනවා වගේම, අනෙක් පසින් මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

වැදගත්ම කාරණය තමයි නිදහසින් පසු මෙරට ජනතාවට ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබාදීමේ විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා නොතිබීම. ජනතාවට ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල හිමිකම පිළිබඳ තිබුණේ සිහිනයක් පමණයි. ඉතිහාසය මතක් කර දුන්නොත්, යටත් විජිත සමයෙන් පසු රජය සතු ඉඩම් පිළිබඳ අයිතිය වෙනස් කිරීමේ මුල් පියවර තබන ලද්දේ 1933 වසරේ දී යි. ඒ එවකට කෘෂිකර්ම ඇමති ඩී.එස්. සේනානායක මහතා විසින්. 

රජයේ ඉඩම් අයිතිය ජනතා සන්තක කිරීමේ වැඩ සටහන පුළුල් කරමින් ඒ මහතා 1934 මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළා. ඒ වගේම තමයි, ‍2002 වර්ෂයේත් එක්සත් ජාතික පක්ෂ රජය බලයට පැමිණි විට ගොවි ජනපද සහ දිළිදු පවුල් සඳහා ලබාදුන් ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ඔවුන්ට ලබාදීමට සැලසුම් කළා. නමුත් ඒ ආණ්ඩුවේ ආයුෂ පැවතියේ වසර දෙකක් පමණයි. 

අනතුරුව 2015 වසරේදී බලය ලැබුණු විගස අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. අයවැය යෝජනා වලට ඇතුළත් කළා. නමුත් එවරද විපක්ෂය ඊට විරෝධය දැක්වූයේ මෙරට ඉඩම් බහු ජාතික සමාගම් වෙත පවරන බවට ජාතික මුසාවක් සමාජ ගත කරමින්. ඒ නිසා ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලැබීමේ ඒ අයිතිවාසිකම උල්ලංඝනය වුණා. ඇත්ත වශයෙන් කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සැළකුවද එය වැරදි ක්‍රියාවක්.
 
ඒ අනුව තමයි, නැවත බලය ලැබුණු මොහොතේ ක්‍රියාත්මකවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා සඳහා “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේකෂා කර ඇත” යන්න ඇතුළත් කළේ. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන වෙන්කොට තියෙනවා .

අපේ රටේ මෙතෙක් තිබුණේ, දෙන්නම් කාසි දේශපාලනයක් සහ හැමදේම නිකං දෙන්න පොරොන්දු පිට ජන්දය ගන්න අල්ලස් සංස්කෘතියක්. ඒ නිසා තමයි රට මූලිකවම ආර්ථික අගාධයකට ගියේ. ඒ වෙනුවට ජනතාවට දෙපයින් නැගී සිටීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. තමන්ගේ වත්කම සමඟ ආර්ථිකයට බද්ධ වීමට අවස්ථාව හිමිව තිබෙනවා. දැන් ඒ ඉඩම ආයෝජනයක් බවට පත්කර ගන්නවාද ? පරිභෝජනය කරන්නේ කොහොමද යන්න ගැන තීන්දුව ගන්න ජනතාවට අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව මෙය රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක, එම තත්වයෙන් අමාරුවෙන් මිදෙමින් සිටින මොහොතක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගීම සඳහා ගෙන යන දැවැන්ත වැඩ පිළිවෙළට ජනතාවද තමන්ට හැකි අයුරින් සහභාගී වෙමින් ඊට දායක වීමක් මේ හරහා සිදු වෙනවා. එසේම ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනියි. ඒ අනුව මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් ලෙස දැක්විය හැකියි.

Advertiesment