Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


යහපත් රටක් උදෙසා රජ රට යතිවර දැක්ම


2024-02-05 14354

 
(තුෂාල් විතානගේ)

 

ආගමික, සමාජීය හා දේශපාලනික වශයෙන් අද වන විට රට මුහුණ දෙමින් සිටින අභියෝග පිළිබඳව මහා සංඝරත්නය සමග සාකච්ඡා කිරීම සඳහා හිටපු කතානායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිත පිරිසක්  පසුගිය ජනවාරි 22 හා 23 දෙදින තුළ අටමස්ථානයට අයත් විහාරස්ථාන ගණනාවකම සංචාරයක නිරත විය. ඒ සෑම ආගමික ස්ථානයකදීම කරූ ජයසූරිය මහතා වෙත ආශිර්වාදාත්මක පිළිගැනීමක් හිමිවූ අතර, මේ වන විට ජාතික හා සාමාජීය වශයෙන් සිදුකරන මැදිහත්වීම් පිළිබඳව අගය කිරීමක් ද සිදුවිය.

එහිදී කරූ ජයසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිස අදහස් දක්මින් අද වන විට රට තුළ මතුව ඇති ආගමික, සමාජීය හා දේශපාලන තත්ත්වයන් හි ඇතැම් ගැටලුකාරී ස්වභාවයන් පිළිබඳව මහා සංඝරත්නය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදි.  එහිදි ආගමික වශයෙන් සලකා බැලීමේදී බුද්ධ ශාසනයට එරෙහිව මතුව ඇති සංවිධානාත්මක කුමන්ත්‍රණ පිළිබඳව මෙන්ම ජාතික හා ආගමික සංහිඳියාව උදෙසා ගිහි පැවිදි දෙපාර්ශ්වයම සිදු කළ යුතුව ඇති මැදිහත්වීම් පිළිබඳව ද අවධානය යොමු කළහ. එමෙන් ම අද රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී රටේ අනාගත යහපත උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති වැදගත්කම ද අවධාරණය කළ අතර එම කරුණු පිළිබඳව මහා සංඝරත්නය මැදිහත්වීමෙහි ඇති අවශ්‍යතාවය ද කරූ ජයසූරිය මහතා විසින් පෙන්වා දුන්නේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිස දැක් වූ එම අදහස් කෙරෙහි ඉතාමත්ම සාධනීය ප්‍රතිචාරයක් දැක් වූ මහා සංඝරත්නය රටේ යහපත උදෙසා උන්වහන්සේලාගේ මැදිහත්වීම තහවුරු කරමින් තවත් කරුණු ගණනාවක් පිළිබඳව ද අදහස් පළ කර සිටියහ.    

·      

  දේශපාලනඥයෝ රට සහ සම්බුද්ධ සාසනය විනාශ කළා  

රුවන්වැලි මහාසෑ චෛත්‍යාධිකාරී, පූජ්‍ය ඊතණවැටුනවැව ඥාණරතන නායක හිමියෝ  

 

“මේ රටට මේ විනාශය සිදුවෙලා තිබෙන්නේ දේශපාලනඥයෝ ගත් අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසයි. ඒ වගේම තමයි මේ වන විට ඇතැම් පන්සල්, ‌‌ඓතිහාසික සිද්ධස්ථානවලට නොයෙකුත් කරදර සහ අකටයුතුකම් සිද්ධ වෙනවා. නොයෙකුත් බාධා, කම්කටොළු මැද්දේ තමයි ඇතැම් නායක හිමිවරුන් සහ භික්ෂූන් වහන්සේලා මේ වන විට කටයුතු කරගෙන යන්නේ” මේ නිසා බොහෝ ස්ථාන අද වන විට පරිහානියට පත්වෙලා.

විශේෂයෙන් ම රුවන්වැලි මහා සෑයට නාගරික සංවර්ධන අධිකාරිය කර ඇති හානිය කිව යුතුමයි. ඒහි සංවර්ධනය සඳහා ප්‍රංශ රජයෙන් කෝටි හයසීයයක ආධාරයක් ලැබුණා. එයට වූ දේ මේ රටේ බලධාරින් සොයා බැලිය යුතුයි. රටේම ගෞරවයට ලක් වන රුවන්වැලි සෑයට එහෙම කළා නම් සාමාාන්‍ය ජනතාවගේ වැඩවලදි කොහොම ගසා කනවා ඇතිද”

මෙහිදී කරු ජයසූරිය මහතා තමන් බුද්ධ ශාසන අමාත්‍යවරයාව සිටියදී කෙටුම්පත් කිරීමට පියවර ගත් ‘භික්ෂු කතිකාවත’ ඇතුළු ආගමික හා ශාසනික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නා හිමියන්ව දැනුවත් කළ අතර එහිදී අදහස් දක්වමින් ඥාණරතන ස්වාමින් වහන්සේ පවසා සිටියේ වර්තමානය වන විට බෞද්ධ ශාසනය මුහුණ දී සිටින විවිධාකාර අභියෝග සහ ගැටලු හමුවේ මල්වතු - අස්ගිරි නා හිමිවරු ප්‍රමුඛ මහනායක හිමිවරුන් ගන්නා තීන්දු තීරණවලට තමන් වහන්සේලා උපරිම ශක්තියක් ලබාදීමට  කටයුතු කරන බවයි.

·        

වත්මන් සමාජයට මානසික සුඛය අහිමි වෙලා

ඉසුරුමුණිය රජමහා විහාරාධිපති, මතව ශ්‍රී සුමංගල නායක මාහිමියෝ

 

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ චීවරයට සිදුවන අපහාස සම්බන්ධයෙන් ඉසුරුමුණිය රජමහා විහාරාධිපති, මතව ශ්‍රී සුංමගල  නායක ස්වාමින් වහන්සේ වෙත කරුණු දැක් වූ  කරූ ජයසූරිය මහතා, පසුගිය රජය සමයේ මෙවැනි අපහාස කිරීම් පාලනයට සහ ඊට අදාළ පියවර ගැනීමට නෛතික ව්‍යුහයන් සකස් කිරීමට නීති ගෙනා නමුත් මේ දක්වා ඒවා ක්‍රියාත්මක නොවීම ගැටලු සහගත බව කීයා සිටියේය. 

මෙහිදී නාහිමියෝ කියා සිටියේ විවිධාකාරයේ ලාභ සත්කාර සහ තම තමන්ගේ යූ ටියුබ් නාලිකා ජනප්‍රිය කරවා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාට සහ චීවරයට ගැරහීමේ උප සංස්කෘතියක් බිහිවීමේ තත්ත්වයක් දැකගත හැකි බවයි.

නා හිමියෝ මෙසේද පැවසූහ, “මාධ්‍ය  මගින් බිහිකරන පාරිභෝජන සංස්කෘතිය නිසා මිනිස්සුන්ට ‘අණන සුඛය’ ඒ කියන්නේ ‘ණය නැති සැපය’ අහිමි වෙලා තිබෙනවා. ඊට සමගාමීව ආධ්‍යාත්මික සුවයත් අහිමි වෙලා තිබෙනවා. මේ තත්ත්වය වත්මන් සමාජයේ සෑම අංශයකම අඩුවක් නැතිව තිබෙනවා. වර්තමානයේ සෑම ගැටලුවකටම පදනම වෙන්නේ මේ ආධ්‍යාත්මික  සුවය අහිමි වීමේ ඛේදවාචකය තමයි”

මෙහිදී කෘෂිකර්මාන්තය සහ ස්වභාවික පරිසරයට අත්ව ඇති ඉරණම ගැන සිය කනස්සල්ල පළ කළ නා හිමියෝ කියා සිටියේ ස්වභාවිකත්වයෙන් දුරස්වීම ගැටලු රැසකට මූලික හේතුව වූ බවයි.

එහිදී කරු ජයසූරිය මහතා නා හිමියන් හමුවේ කියා සිටියේ ජංගම දුරකථනය ද වත්මන් සමාජයට විනාශය කැඳවා ඇති බවයි. පවුල් සංස්ථාව තුළ මේ හේතුවෙන් ඇති වී ඇති අර්බුදය පෙන්වා දුන් ජයසූරිය මහතා මෙම ව්‍යසනයෙන් සමාජය ගළවා ගැනීම කාලීන අවශ්‍යතාවක් බව ද පෙන්වා දුන්නේය.

මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය කාලයේ ඇති වූවා වැනි  බිහිසුණු යුගයක්  ඕනෑම අවස්ථාවක යළි බිහිවිය හැකි බව පෙන්වා දුන් නාහිමියෝ සිංහල - දෙමළ සහ මුස්ලිම් සාමාන්‍යය  ජනතාව අතර ජාති භේද, ආගම් භේද නැති බව ද පෙන්වා දුන්හ.

·        

පුද්ගලයා වැදගත් නෑ - ප්‍රතිපත්තියයි වැදගත්

ශ්‍රී  ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය  කනත්තගොඩ සද්ධාරතන නායක මාහිමි

 

කරූ ජයූරිය මහතාගේ අනුරාධපුර සංචාරයේ දෙවැනි දිනයෙහි විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය  කනත්තගොඩ සද්ධාරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු පාලක මණ්ඩලයේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග සිදුකරන ලද විශේෂ සාකච්ඡාවයි. එහිදි රට මේ වන විට මුහුණපා ඇති තත්ත්වය පිළිබඳ දෙපාර්ශ්වයම ගැඹුරින් අවධානය යොමුකරමින් කරුණු දැක්වූ අතර, රටේ අනාගතය යහපත් කරගැනීමට නම් ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාවය ද පෙන්වා  දුන්හ.

මෙහිදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ආරම්භය සහ එහි අරමුණු ගැන කරූ ජයසූරිය මහතා විසින් ශ්‍රී  ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ නායක භික්ෂූන් වහන්සේලා දැනුවත් කළ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් කනත්තගොඩ සද්ධාරතන නායක ස්වාමින් වහන්සේ අවධාරණය කළේ සාධාරණ සමාජයක් බිහි කිරීමට නම් දේශපාලන සංස්කෘතිය ද වෙනස් විය යුතු බවයි.

“මේ රටේ සියල්ලම වෙනස් කිරීමේ බලය තිබෙන්නේ දේශපාලනඥයින් අතේ. කිසිම දේශපාලන පක්ෂයක් තුළ ඔය කියන සාධාරණ සමාජය නැහැ. ඒ වගේම මේ රටේ ජාතිවාදය නිර්මාණය කරන්නේ සාමාන්‍ය මිනිස්සු නොවෙයි. ඊට අදාළ මූලික පසුබිම හදන්නේ දේශපාලනඥයෝ. ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ එතැන. ඒ වගේම තමයි මේ රටේ ආධ්‍යාත්මික වශයෙන් බරපතළ පිරිහීමක් තිබෙනවා. ඒකත් නිර්මාණය කළේ දේශපාලනඥයෝ” යැයි කී නා හිමියෝ සියල්ලට පෙර මිනිස්සුන්ට ජීවත් වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කළ යුතු බව ද අවධාරණය කළහ.

මෙහිදී වත්මන් දේශපාලන සංස්කෘතිය සහ ක්‍රියාකාරීත්ව පිලිබඳව  අදහස් දැක්වූ සද්ධාරතන නායක ස්වාමින් වහන්සේ මෙසේද කීහ, “ අපි කියන දේ මිනිස්සු අහන්නේ ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තිබුණොත් විතරයි. ඒ වගේම තමයි සියල්ලම විනාශ කරලා ගොඩනගන ආර්ථිකයකින් අපිට වැඩක් නැහැ. මිනිස්සු ජීවත් වුණත් එකයි - මැරුණත් එකයි කියලා හිතන ආර්ථිකයක් රටට වැඩක් නැහැ. ඒදා සෝහිත හිමියන්ට අත්වුණ ඉරණ අප හොදින් තේරුම් ගත යුතුව තිබෙනවා. මේ රටේ අංක එක විය යුත්තේ පුද්ගලයා නොව ප්‍රතිපත්තිය බවයි මගේ විශ්වාසයි. ඒත් එහෙම ප්‍රතිපත්තියක් මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට නැහැ”

·        

මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය ලබාදිය යුතුයි

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක මාහිමි

 

මිහින්තාලා රජමහා විහාරාධිපති පූජ්‍ය  වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දුටු කරූ ජයූරිය මහතා ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේ සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වූවේ ය. එහිදී නාහිමියන් අවධාරණයෙන් කියා සිටියේ  බලය අතහැරීමට දේශපාලනඥයින් පුරුදු විය යුතු බවයි. තරුණයින් විසින් සිදුකළ අරගලය හේතුවෙන් වැරදි පුද්ගලයෙකු අතට බලය හිමි වූ බව පෙන්වා දුන් නා හිමියෝ  කුඩු මාෆියාවට එරෙහිව මෙන්ම පාතාල කණ්ඩායම්වලට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති බව ද අවධාරණය කළහ.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඇතැම් සැලසුම් දැඩිව විවේචනය කළ නා හිමියෝ මෙසේ ද පැවසූහ, “මේ රටේ වෙන්නේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් සිදුවිය යුතු දේවල් නෙමෙයිනේ. එයාලාට අවශ්‍ය  දේවල්නේ දැන් කරන්නේ. මිනිස්සුන්ට කැලේ කොළේ කෑමක්වත් කන්න බැහැ. මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය ලබාදිය යුතුයි. ඇයි පාතාලේ අතේ තියෙන අවි ආයුධ ටික අල්ලන්න බැරි‍ දේශපාලනඥයින් වගේම ඇතැම් රාජ්‍ය  නිලධාරීන් හවුලේ අපරාධ, දූෂණ කරනවා. ඔවුන්ගේ වත්කම් ගැන සොයා බැලිය යුතුයි. මේ රටට තව දුරටත් ඇට්ටකුණා වුණ නායකයෝ අවශ්‍යම  නැහැ. ඔවුන්ගෙන් අපට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ”

·        

නිකාය කතිකාවත් පනත සම්මත නොකළහොත් නැවත ගණින්නාන්සේලාගේ යුගයක් ඒවි

ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤඤානන්ද නායක මාහිමි

 

ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැදුටු කරු ජයසූරිය මහතා උන්වහන්සේ සමඟ ද දීර්ඝ කතාබහක නිරත විය.

මෙහිදී කරූ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් කෙටුම්පත් කරන ලද ‘භික්ෂු කතිකාවත’ සම්බන්ධයෙන් ප්‍රශංසා මුඛයෙන් කතා කළ පඤ්ඤානන්ද නා හිමියෝ කියා සිටියේ ‘කඩිනමින් භික්ෂු කතිකාවත සම්මත කර නොගතහොත් හා  ඒ මත පදනම් වී නීතිරීති සම්මත නොකළහොත් නොබෝ දිනකින් ගණින්නාන්සේලා ද බිහිවනු ඇති බවට’ මල්වතු මහ නායක හිමියෝ අනාවැකියක් ද පළ කළ බවයි.

ජාත්‍යන්තර වශයෙන් මේ වන විට බෞද්ධ දර්ශනයට හිමිව ඇති වටිනාකම ගැන උදාහරණ දක්වමින් සිය අදහස් ඉදිරිපත් කළ කරූ ජයසූරිය මහතා බෞද්ධ දර්ශනය ගැන ලෝකයේම අවධානය යොමුව ඇති බව පෙන්වා දුන්නේය.

“බුද්ධාගම සහ භික්ෂූන් වහන්සේලා ගැන ඇතිව ඇති ගැටලු සම්බන්ධ ප්‍රකාශ නිකුත් කරන්න කියලා බොහෝ අය මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒත් උන් වහන්සේලා එවැනි ප්‍රකාශ නොකරන්නේ ඒවා කරලා පළක් නැති නිසා. එමගින් උන් වහන්සේලාගේ ගරුත්වය නැති වෙන නිසා” යැයි ද පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්හ.

කරූ ජයසූරිය මහතාගේ මෙම සංචාරයේදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක මාහිමි, ජේතවනරාම විහාරයේ විහාරාධිකාරි ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක මාහිමි , තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නායක මාහිමි, සාරානන්ද පිරිවෙන් විහාරාධිපති උඩගබ්බල ඥාණාලෝක නායක මාහිමි, අනුරාධපුර සිරිසඟබෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අළුත්බෝගමුව සද්ධාරතන නායක මාහිමි, එප්පාවල කෙත්තාරාමාධිපති මහමන්කඩවල පියරතන නායක මාහිමි, කැකිරාවේ සුමංගලාරාමාධිපති කොස්වින්නේ රතනජෝති නාහිමි ඇතුළු අනුරාධපුර පූජනීය නගරයේ නායක ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් බැහැදකිමින් ආශිර්වාදාත්මක අනුශාසනා ලබාගත්හ.

 

Advertiesment