ශිවඥානම් ශ්‍රීධරන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) සභාපති ලෙස තේරී පත්වීමෙන් දෙමළ ජාතිකවාදය නැවත කරළියට පැමිණීමේ හැකියාව පවතී. ITAK යනු මෙරට විශාලතම දෙමළ දේශපාලන පක්ෂයයි. මේ වන විට බෙදීමට ලක්ව ඇති දෙමළ ජාතික සන්ධානයේ(TNA) පදනම වන්නේ එයයි. TNA යනු එල්ටීටීඊ යුගයේ අවසාන අදියරේදී නිර්මාණය වූ දෙමළ දේශපාලන පක්ෂවල සන්ධානයක් වන අතර, එය ඉන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක විය. කෙසේවෙතත්, ITAK හි නව සභාපතිවරයා, එම තනතුර වෙනුවෙන් පැවැති ඡන්දය විශිෂ්ඨ ලෙස ජයගත්තේ නැත. ප්‍රධාන ධාරාවේ ජාතික දේශපාලනයේ වඩා විශාල කාර්යභාරයක් ඉටුකරන ඔහුගේ ප්‍රතිවාදියා සියයට 43කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. සංවාදයේ සහ නවාතැන් ගැනීමේ මාවත බැහැර නොකළ යුතු බවට දෙමළ ප්‍රජාව තුළ ඇති අවබෝධය මෙයින් පිළිබිඹු වේ. එල්.ටී.ටී.ඊ. යේ සම්පූර්ණ යුදමය පරාජය, ඔවුන්ගේ නොසැලෙන මාවතේ සහ වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ ඉලක්කයට දැඩි ලෙස අනුගතවීම, ඉතා මිල අධික වූවක් මිස, බොහෝ අය නැවත අනුගමනය කිරීමට කැමති මාවතක් නොවන බව මින් ඔප්පු විය.
අලුතින් තේරී පත් වූ ITAK නායකයාගේ මූලික ප්‍රකාශයන් දෙමළ ජාතිකවාදය මත පදනම් වූ දැඩි ස්ථාවරයක් යෝජනා කරයි. එල්ටීටීඊයට පෙරාතුව සහ එහි අවසානයෙන් පසුවද පවතින දෙමළ ජාතිකවාදය, අවශ්‍යයෙන්ම වෙනම රාජ්‍යයක් වෙනුවෙන් නොවන නමුත්, එය ෆෙඩරල්වාදය සහ බලය බෙදාගැනීමේ වෙනත් ප්‍රභේද සමඟ අනුකූල වේ. නායකත්ව තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රීධරන්ගේ පළමු සංචාරය වූයේ, එල්.ටී.ටී.ඊ. සුසාන භූමියකට ගොස් මියගිය සටන්කාමීන්ට ගෞරව දැක්වීමයි. ඉන් ඉක්බිතිව සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසන ලද්දේ, "එල්ටීටීඊයට එරෙහිව අදහස් හෝ වැරදි වැටහීම් ඇති සමහරෙක් අප අතර සිටිය හැකියි. අපේ මහා සභා මන්ත්‍රීවරුන් වැඩිදෙනෙක් මට ඡන්දය දීලා තියෙනවා අඩු වැඩි වශයෙන් 184ක්. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මගේ මතවාදයට සහාය දෙන බවයි. වෙනත් වචනවලින් කිවහොත්, පක්ෂයේ ප්‍රධාන ශක්තිය දෙමළ ජාතිකවාදයයි. එය ආරම්භ විය යුත්තේ, දිවංගත ඊළාම් ජාතික විමුක්ති සටන්කාමීන්ගේ සොහොන් බිමෙන් බව ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත."
පක්ෂ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ශ්‍රීධරන් සිදුකළ කතා අතරතුර, ෆෙඩරල්වාදය සහ උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් අනාගත දැක්ම සකස් කර, දෙමළ අභිලාෂයන් සපුරාලීමට 13 වැනි සංශෝධනය ප්‍රමාණවත් නොවන බවට වන සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. මෙම හැඟීම් සිංහල බහුතරය සමග ගැටුමක් අවුළුවාලීමේ හැකියාව පවතින අතර, ITAK නායකයාගේ දැක්ම දෙමළ දේශපාලනය තුළද කම්පනයක් නිර්මාණය කර ඇත. වත්මන් නායකත්වය ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍යය සහ එහි දේශපාලන නායකයන් විසින් ජනතාව පීඩාවට හා නොසළකා හැරීමට ලක්කෙරෙන බවට ප්‍රබල හැඟීමක් ඇත. අරගලය විරෝධතා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනපේක්ෂිත ලෙස බලයට පත්වීම හරහා වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළේය. දේශපාලනයේ කිසිදා ජාතිවාදය ප්‍රකාශ නොකළ දේශපාලන නායකයෙකු ලෙස, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් වසර (මේ සතියේ අවසන් වන) වන විට දේශපාලන විසඳුමක් තුළින් ජනවාර්ගික ගැටුම විසඳන බවට ජනාධිපතිවරයා ලබාදී ඇති නිර්භීත පොරොන්දුව ධණාත්මක අදහසක් ලෙස සැළකේ. අවම වශයෙන්, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි බවට ජනාධිපතිවරයා කළ යෝජනාවේ අවංක බවක් පෙනෙන්නට තිබිණි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් කරනු ලබන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යය පළාත්වලට බලතල බෙදාහැරීමේ දී ඉදිරියට ගොස් ඇති බවයි. එවැන්නක් යෝජනා වූයේ එවකට රජයට එල්ල වූ දැඩි ඉන්දීය පීඩනයට වඩා, ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් එය විශ්වාස කළ නිසාය. ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ මෙන් කිසි දිනෙක එහි පූර්ණ ශක්‍යතාවට ළඟා වී නැත. මෙම ක්‍රමයම විශාල පරිමාණයෙන් වුවද ඉන්දියාව විවිධත්වයේ එකමුතුකම ඇති, ලෝකයේ මහා ආර්ථික බලවතකු බවට පත්කිරීමට උපකාරී වී ඇත. ආර්ථික කාර්යක්ෂමතාවය මත 13 වැනි සංශෝධනය සාධාරණීකරණය කළයුතු බවට පොදු වැරදි වැටහීමක් පවතී. එබැවින් මධ්‍යම රජය තුළ සිටින ඉදිරි පෙළ රාජ්‍ය බලධාරීන්ට බලය විමධ්‍යගත කළයුතු බව හෝ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වැනි කුඩා පළාත් පාලන ආයතනවලට පමණක් බලය විමධ්‍යගත කළ යුතු බව පෙනීයයි. කෙසේවෙතත්, ආර්ථික අකාර්යක්ෂමතාවය මත පළාත් සභා ක්‍රමය ඉවත් කිරීමේ ලංසුව වලංගු නැත.
විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු, හිටපු ජනාධිපති ලේකම්වරයකු සහ ආරක්ෂක ලේකම්වරයකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මෙසේ ලියා ඇත. “2023 දී සියලුම පළාත් සභා සඳහා මුළු පුනරාවර්තන වියදම් අවශ්‍යතාවය රුපියල් බිලියන 485.25 ක් වන අතර, ඉන් රුපියල් බිලියන 391.75ක් ලබාදී ඇත. මුළු ප්‍රාග්ධන වියදම් අවශ්‍යතාවය රුපියල් බිලියන 167 ක් වන අතර, ඉන් රුපියල් බිලියන 37ක් ලබාදී තිබේ. පළාත් සභාවල මුළු ප්‍රාග්ධන වියදම් අවශ්‍යතාවයෙන් 22.1% ක සැපයුමක් පමණක් මෙලෙස ලබාදීමෙන් පළාත් සංවර්ධනය කාර්යක්‍ෂම හා ඵලදායී බවට පත්කරනු ඇතැයි සිතීම විකාරයකි." ශ්‍රී ලංකාව තුළ බලය බෙදීමට අවශ්‍ය මූලික හේතුව මෙයින් ඉස්මතු වේ. බලය බෙදීමකින් තොරව, රටේ සෑම ප්‍රදේශයකම වාර්ගික හා ආගමික සුළුතරය, එම ප්‍රදේශවල ජනවාර්ගික බහුතරයේ අනුකම්පාව යටතේ වාසය කරති. මූල්‍ය බලය බෙදීම ඇතුළත් බලය බෙදීමක් සිදුවුවහොත් දෙමළ සහ මුස්ලිම් සුළු ජාතීන්ට ඔවුන් බහුතරයක් සිටින ප්‍රදේශවල තීරණ ගැනීමේ බලය හිමිවේ. එසේ වුවහොත් ඔවුන් ද රට පාලනයේ කොටස්කරුවන් බවට පත් වනු ඇත.
වර්තමානයේ පවතින අවාසනාවන්ත ලක්ෂණයක් වන්නේ, පසුගිය වසර පහක් හෝ ඊට වැඩි කාලයක සිට සමස්ත පළාත් සභා ක්‍රමයම අත්හිටුවා තිබීමයි. කිසිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු නොකළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හැරුණු විට, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ක්‍රියාත්මක වන්නේ ආකෘතියක් ලෙස මිස සැබෑ ලෙසකින් නොවේ. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කිසිදා සිදුනොවීය. පළාත් සභා මැතිවරණ කල්දැමීම නිසා 13 වැනි සංශෝධනය පළාත් සභා හරහා ක්‍රියාත්මක වී නැත. මෙවැන්නක් සිදුව ඇත්තේ, සුළුතර වාර්ගික සහ ආගමික කොටස්වලට බලය බෙදාහැරීමට කිසිදු සම්බන්ධයක් නැති පටු සහ පක්ෂග්‍රාහී දේශපාලන අවශ්‍යතා වෙනුවෙනි. 2018 දී, එවකට පැවැති ආණ්ඩුව, තමන් පරාජය විය හැකි යැයි හැඟෙන විට, ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම බලහත්කාරයෙන් රඳවා තබාගෙන, ඔවුන්ගේ දුර්වලකම හෙළිකරන කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට සරලව තීරණය කළේය. මේ වන විටත් එවැනිම තත්ත්වයක් පවතින අතර, පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව අවලංගු කිරීමටද කටයුතු කරමින් ආණ්ඩුව පියවරක් ඉදිරියට ගොස් ඇත.
මෙම තත්ත්වය යටතේ අලුතින් තේරී පත් වූ ITAK නායකයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දිගටම පවත්වාගෙන යෑමට කැමැත්තක් නොදක්වා, ඒ වෙනුවට ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටීම පුදුමයක් නොවේ. එහෙත් දෙමළ ජාතිකවාදය හිස ඔසවන්නේ වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම නිසා පමණක් නොවේ. අතුරුදන්වූවන්, මානව හිමිකම් විරෝධී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් සහ දෙමළ ජනයාට අයත් ඉඩම් පවරාගැනීම මෙන්ම ආපසු ලබානොදීම යන අතිශය සංවේදී මානුෂික ප්‍රශ්න විසඳීමට රජය අසමත් වීම ද ඊට හේතුවී ඇත. එසේම නැගෙනහිර පළාතේ දෙමළ ජනයාගේ සාම්ප්‍රදායිකව වගාකරන ලද ඉඩම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටද රජය අසමත් වීම ද තිබේ. මයිලතාමඩු - මාතවනෙයි කිරි ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකවද සහතිකයක් ලබාදී, නියම අයිතිකරුවන්ට ඉඩම් ආපසු ලබාදීමට උපදෙස් ලබාදී ඇතත් කිසිවක් සිදුව නැත. මහේස්ත්‍රාත් උසාවිය, අභියාචනාධිකරණය ඇතුළු අධිකරණය සිංහල ගොවීන් නැවත සිය මුල් ස්ථානයට පැමිණිය යුතු බවට තීන්දු දෙන විට පවා, ඉහත කාරණය සම්බන්ධයෙන් කිසිවක් සිදුනොවේ.
පළපුරුදු සහ ප්‍රඥාවන්ත දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන සාමයට සහ සංහිඳියාවට අභියෝග මතුවන්නේ මේ අඳුරු තත්ත්වය තුළයි. ඇත්ත වශයෙන්ම බලාපොරොත්තුවේ සලකුණු තිබේ. එකක් නම්, රටට සහ ජනතාවට සිදුවන හානිය නොතකා, ජනතාව දිනාගැනීමටත්, එමගින් මැතිවරණ දිනාගැනීමටත්
සිංහල දේශපාලකයන් ජාතිකවාදය භාවිත කරන බවට, දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී ජන කොටස් අතර වර්ධනයවී ඇති වැඩි අවබෝධයයි. ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වීම, රටේ වඩාත්ම ජාතිකවාදී රාජ්‍ය නායක කුලකයක පාලන සමය තුළ සිදුවීම අහම්බයක් නොවේ. 'අරගලය' විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තරුණියන් මෙය තේරුම්ගත් බවක් පෙනෙන්නට තිබුණේ, ඔවුන් නැවත වරක් නොරැවටෙන බව ඔවුන්ගේ සටන් පාඨවලින් පැහැදිලි වූ බැවිනි.
ආර්ථික පරිහානිය ආරම්භ වී, ගෙවීගිය පසුගිය දෙවසර තුළ රටේ බහුතර සිංහල ප්‍රදේශයන්හි පටු වාර්ගික පදනම් වූ ජාතිකවාදය පිරිහෙමින් පවතින බවට දිරිගන්වන ලකුණු පහළ වී තිබේ. ජනවාර්ගික ගැටුම, මිලිටරිකරණය, දණ්ඩමුක්තිය, දුෂණය සහ ආර්ථික හා සමාජීය බිඳවැටීම අතර අන්තර් සම්බන්ධය වැඩි වැඩියෙන් මිනිසුන්ට දැකගත හැකිය. මෙම වර්ධනය වන හැඟීම, බලගතු බෞද්ධ පූජක පක්ෂයද සාම ව්‍යාපාරයට සහාය වීමට හේතු වී තිබේ. දෙමළ ඩයස්පෝරාවේ කොටසක් සමඟ ප්‍රමුඛ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ගත් මූලිකත්වය නිසා, ඔවුන් එක්ව නිර්මාණය කළ හිමාල ප්‍රකාශනය එළිදැක්විණි. මෙම මුලපිරීම සඳහා සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් වන මහාචාර්ය පල්ලෙකන්ද රතනසාර හිමි සහ ආචාර්ය මාදම්පාගම අස්සජි හිමි නවදිල්ලි නුවරදී අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ නායකත්ව තනතුරු ලබාගැනීම වෙනුවෙන් පසුගියදා උපහාරයට ලක්කෙරිණි. මේ උදාවී ඇති සාමයේ සහ සංහිඳියාවේ විවරයන්, අතලොස්සකට පමණක් ප්‍රතිලාභ ලැබෙන දූෂණය සහ බලය අවභාවිතය පිටුදැක, රට එක්සේසත් කර, සියලු දෙනාගේම සුබසිද්ධිය සඳහා රට ගෙන යන පළපුරුදු බුද්ධිමත් දේශපාලන නායකයන් විසින් නිරීක්ෂණය කරනු ඇත.
Lanka Newsweek © 2024