පහුගිය ජනවාරි 18 වෙනිදා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කරපු විද්වත් කතිකාවකදී NMSJ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මෙරට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා.ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුද නැද්ද කියන කාරණය සම්බන්ධව තමන්ගේ පක්ෂයේ මතය ඉදිරිපත් කරන ලෙසයි.
ඒ සම්බන්ධව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනවාරි 19 වෙනිදා මාලිමාවේ මහනුවර නීතිඥ සමුළුවේදී ප්‍රතිචාර දක්වලා තිබුණා.අනුර කිව්වේ විධායක ජනාධිපතිධූරය අපේ රටේ පුංචි චින්තනයක් තියන පාලකයන්නට බර වැඩියි කියලයි.තමන්ගේ පාලනයක් යටතේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා කිව්වත් ඒක කරන විදිහ ගැන සහ කරන කාල රාමුවක් ගැන අදහසක් අනුරගෙන් ආවේ නෑ.
ඊට අමතරව අනෙක් ජනාධිපති අපේක්ෂකයන් ගෙන් ඒ සම්බන්ධව තවමත් ප්‍රතිචාර ලැබිලා නෑ.කොහොම උනත් එජාප කතරගම සමුළුවේදී විධායකය ජනාධිපතිධූරය අහෝසි කිරීමට අදාලව ගත්ත තීරණය තවමත් වෙනසක් වෙලා නෑ.ඒ වගේම මේ පාර්ලිමේන්තුවට විපක්ෂ නායකවරයා විදිහට සජිත් විධායක ජනාධිපතිධූරය අහෝසි කළ ව්‍යවස්ථා සංශෝධනයකට අදාල යෝජනාවක් ඉදිරිපත් කරලා තියනවා.
ඒක හින්දා රෙද්දක් ඇඳගෙන විධායකය තවදුරටත් තියාගන්නවා කියන්න රනිල්ටවත්, සජිත්ටවත් බෑ.පුළුවන් එකමදේ ඔය වගේ කටේ පිට්ටු හිර කරගෙන ඉන්න එක විතරයි.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කරූ මතුකරන මේ ඉල්ලීම සියලු දේශපාලන පක්ෂ නැවත සලකා බලන්න ඕනි.අඛණ්ඩව දශක දෙකකටත් වැඩි කාලයක් කරූ පුද්ගලිකවත් සාධාරණය සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සංවිධානයක් විදිහටත් මේ වෙනුවන් සටන් කරලා තියනවා.
ඒ වගේම විධායකය ජනාධිපතිධූරය අහෝසි කරීම වෙනුවෙන් අපේ රටේ ජනතාව අවස්ථා පහකදී සෘජුව ජනවරම් ලබාදීලා තියනවා.අද රටේ රාළට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡාව ටිකක් වෙනස් තලයකට ගෙනියන්න හිතුනා.අපි කවුරුත් දන්නවා අපේ රටට විධායක ජනාධිපතිධූරය පටවන්නේ 1978 ව්‍යවස්ථාවෙන්.
දැනට අපි අවුරුදු 45 ක් අපි මේ විධායක ජනාධිපතිධූරය practice කරලා තියනවා. විධායක ජනාධිපතිධූරයෙන් උන සාධනීය වගේම නිශේධනීය දේවල් තියනවා. හැබැයි අපි සාධනීය සහ නිශේධනීය දේවල් වෙන වෙනම ගොඩ ගැහුවොත් නිශේධනීය දේ ගොඩක් වැඩියි.ඒක නිසයි විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනි,විධායකයේ බලතල කප්පාදු කරන්න ඕනි කියන සංවාදය අපේ රටේ දිගටම මතුවුනේ.
විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සමාජ මතයක් එදත් අදත් මේ සමාජයේ තියනවා.මේ දක්වා අපේ රටේ සිටිය හැම ජනාධිපතිවරයෙකුම මේ බලය අත්තනෝමතිකව පාවිච්චි කළා. විධායකය අහෝසි කරනවා කියලා හතර අතේ දිවුරුම් දීලා ආපු අය තමයි ඒ වැඩේ වැඩිපුරම කළේ.78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනසමාජය හැදිරවීමේ මෙවලම බවට පත් කරලා තිබුණේ විධායකය ජනාධිපතිධූරය.
ඒක සාමූහික එකක් නෙවෙයි.ඒ නිසා හැම වෙලේම විධායක බලය තනි පුද්ගල අත්තනෝමතිකත්වයකට යට වෙනවා.ඇත්තටම ජන සමාජයක මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යන්න විධායකය බලය සහිත ආයතනයක් අවශ්‍ය නැද්ද කියන ප්‍රශ්නයත් මෙතනදී එනවා.රටේ රාළ බළකාය ඉන්නේ එහෙම ආයතනයක් ඕනි කියන ස්ථාවරයේ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරලා අගමැතිධූරයට ගියත් ජන සමාජය මෙහෙයවීමේ විධායක බලය එතෙන්ට හරි තියෙන්න ඕනි.
ඒ ක්‍රමයට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්.මේ ක්‍රමයට අනුව ජනාධිපති තෝරන්නේ සෘජු ජනතා ඡන්දයෙන්.බැලූ බැල්මට වඩා ප්රජාතන්ත්රවාදී වෙන්නේ සෘජු ජනතා ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරන එක කියලා කාට හරි තර්ක කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකේදීම අකටයුතුකම් ගොඩක් වෙනවා.ඒ තත්වය යටතේ තමයි අපි බලන්න ඕනි විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ කරූ කරන මේ යෝජනාව සාධාරණද කියලා.
රටක් ගත්තොත් ඒ රටේ ජනසමාජයට හෝ ලෝකයට තීන්දු තීරණ,අවසන් නිවේදන නිකුත් කරන්න අවසන් තීරකයෙක් ඉන්න ඕනි.නැත්තං සාමුහිකව ගත්ත තීරණයක් ප්‍රකාශයට පත් කරන කෙනෙක් හරි ඉන්න ඕනි.උදාහරණයක් ගත්තොත් ඕනිම රටක ව්‍යවස්ථාවේ යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය. සාමය ප්‍රකාශ කිරීමේ බලය නිශ්චිත කරලා තියනවා.ඒකෙන් පේනවා එහෙම ධූරයක් රටකට අත්‍යවශ්‍යයි කියලා.
විධායක ජනාධිපති ක්‍රමය නැතිව අගමැති ක්‍රමයට ආවත් ඒ කාරණය රටට අත්‍යවශ්‍යයි. එතකොට රාජ්‍යයට අත්‍යවශ්‍ය මේ කටයුත්ත සම්පුර්ණ වෙන්නේ විධායක බලය හිමි කෙනාගෙන්ම තමයි.අපේ රටේ ව්‍යවස්ථාවට අනුව එයා තමයි ජනාධිපති. හැබැයි එයාට අත්තනෝමතික තීරණ අරගෙන වැඩ කරන්න ඉඩක් ව්‍යවස්ථාවෙන්ම නිර්මාණය කරලා දීලා තියෙනවා.ඇත්තට ඒක අයින් කරන්න ඕනි බලයක්.ඒක අගමැති දක්වා මාරු වෙනකොට ඒ ක්‍රියාවලිය වෙනස් පරාසයකට ගමන් කරනවා.
ඊළඟට මෙතන අගමැති සහ ජනාධිපති පත්කර ගැනීමේ ක්‍රමවේද දෙකක් තියෙන්නේ.අගමැති පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්,ජනාධිපති සෘජුව ජනතාව විසින් පත්කරනවා. පාර්ලිමේන්තුව පත් කරන්නේ ජනතාව විසින්,ඒ පත්කරන අයගෙන් බහුතර කැමැත්ත දිනා ගන්න කෙනා අගමැති වෙනවා.මේ තත්ත්වය යටතේ තමයි අපි විධායක ජනාධිපතිධූරය අහෝසි කරීම ගැන සලකා බලන්න වෙන්නේ.
මෙතනදී විධායක ජනාධිපතිධූරය යටතේ තනි ආධිපත්‍යයකින් මේ විධායක බලය ක්‍රියාත්මක කිරීම රටට හිතකර නෑ.යම් හෝ කණ්ඩායමක් හරහා සිද්ධ වෙනවා නං අනතුර අවම කරගන්න පුළුවන්ද.ඒ නිසා විධායක අගමැති ධූරය විධායක ජනාධිපතිධූරයට වඩා යෝග්‍යයි කියලා අපට පිලිගන්න වෙනවා.මේතනදි ඒ බලතල අගමැති ධූරය දක්වා මාරු වෙනවා වගේම අගමැතිධූරය කැබිනට් මණ්ඩලයකින්,පාර්ලිමේන්තුවෙන් සහ ජනවරමින් බැඳලා තියනවා.
ඒක නිසා රට ඉදිරීයට යෑමේදී වඩාත් ප්රගතිශීලී වෙන්නේ විධායක අගමැති ක්‍රමය කියන එකයි රටේ රාළ බලකායේ මතයයි.ඒ අර්ථයෙන් කරූ ජයසුරිය ගේන විධායක අහෝසි කිරීමේ යෝජනාවට රටේ රාළ බළකායේ පුර්ණ සහය හම්බ වෙනවා.ඒ වගේ දේශපාලන පක්ෂත් තමන්ගේම විග්‍රහයක් සහිතව කරූගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනි.
මම ආවම අහෝසි කරනවා කියන පොර ටෝක් දෙන්නේ නැතිව අහෝසි කරන විදිහ සහ කාල රාමුවත් එක් කියන්න ඕනි.ඡන්ද ගුණ්ඩු හැටියට වචන දාන්නේ නැතිව දේශපාලන වශයෙන් සද්භාවයෙන් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කියලා සියලු දේශපාලන පක්ෂවලින් රටේ රාළත් ඉල්ලීමක් කරනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
Lanka Newsweek © 2024