2022 අප්‍රේල් 12 වැනි දින මහා බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නීති විරෝධී, අවාසනාවන්ත සහ අවවාදාත්මක රාජ්‍ය ණය පැහැර හැරීමේ නිවේදනය නිකුත් කරන ලදී. ඉන් පසු, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ බලධාරීන් විසින් අසත්‍ය ප්‍රකාශ රාශියක් දිගින් දිගටම කර ගෙන ගොස් ඇති බව දැන් හෙළි වනවා.
රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බාහිර ණය සඳහා පමණක් වන බවත්, එය තරමක් සරල ක්‍රියාවලියක් බවත්, 2022 සැප්තැම්බර් වන විට එය අවසන් කරන බවත්, 2022 අප්‍රේල්වල දී ප්‍රකාශ විය. එමෙන්ම, දේශීය ණය මත අත නොතබන බව ද විශේෂයෙන් අවධාරණය කෙරිණි.
එහෙත්, 2022 සැප්තැම්බර් වන විට, ණය ප්‍රති-ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුළු හා අනපේක්ෂිත ප්‍රමාදයකට මුහුණ දී ඇති නිසා, 2022 දෙසැම්බර් වන විට, එය අවසන් වනු ඇතැයි කියන ලදී.
ඉන් පසු, සියලුම ණය හිමියන් සමානාත්මතාවයෙන් සැලකීමේ මූලධර්මය පිළිපැදීමේ අවශ්‍යතාවය හේතුවෙන් දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වන බව 2023 ජනවාරි වන විට පළමු වරට නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. ඒ සමඟම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2023 සැප්තැම්බර් වන විට අවසන් කරන බව ද පවසන ලදී.
කෙසේ වෙතත්, 2023 සැප්තැම්බර් වන විට, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සතුව තිබූ රජයේ සුරැකුම්පත් මත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන ලද අතර, ඔවුන්ගේ කැමැත්තට පටහැනිව, ඔවුන්ගේ ශේෂයෙන් 20% ක පමණ දැවැන්ත "කැපීමක්" සිදු කරන ලදී. එම "කැපීම" මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ අනෙකුත් ඉහළ නිලධාරීන් විසින් ඉතා පහසුවෙන් අනුමත කරන ලද අතර, බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් සතුව තිබූ ඊට සමාන සුරැකුම්පත්වලට නම් අත නොතැබූ අතර, ඒ ක්‍රියාවලිය හරහා විශාල ලබැඳියාවේ ගැටුමක් ද (Conflict of interest) ඇති විය. ඒ සමගම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 දෙසැම්බර් දක්වා ප්‍රමාද වනු ඇතැයි ද, බලධාරීන් විසින් පවසන ලදී.
දැන්, 2024 ජනවාරි වන විට මහා බැංකු අධිපති නන්ද ලාල් වීරසිංහ පවසන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම "මාස දෙකකින් පමණ" අවසන් කළ හැකි වනු බවයි. ඒ සමගම, රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ "3 වන IMF අදියරය ලබා ගැනීමට නියමිත කාලය වන විට" එය සිදු කරන බවයි. එනම්, 2024 ජුනි පමණ වන විට බවයි.
Lanka Newsweek © 2024