Monday 26th of February 2024

English Tamil
Advertiesment


රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය කතා නායක හමු වෙයි


2024-01-24 1412

 

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය සම්බඳත තව දුරටත් තහවුරු කෙරේ 

 

රෝහිත බෝගොල්ලාගමගේ භූ දේශපාලනය පිළිබඳව බ්‍රිතාන්‍ය පැහැදෙයි 

 

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කතා නායක ඇල්ක්ලුයිත්හි මැක්ෆෝල් සාමිවරයා අතර නිල හමුවක් ලන්ඩන් නුවර දී පැවැත් විණ.  

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ අනාගත ගමන් මඟ පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කාලීන ජාත්‍යන්තර සබඳතා, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සේම ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම ඇතුළු පුළුල් ජාත්‍යන්තර දේශපාලන මාතෘකා රැසක් ගැන ද සාකච්ඡා කෙරිණ.   

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ චීනයේ කාර්යභාරය පිළිබඳව ද මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා මෙහිදී කතා නායකවරයාට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.  

ශ්‍රී ලංකා-එක්සත් රාජධානි සබඳතාවයේ වැඩි අවබෝධයක් සහ සහයෝගීතාවයක් වර්ධනය කිරීම අරමුණු කර ගත් අදහස් සේම ඉදිරි කටයුතු ගැන ද එහිදී අවධාරණය කෙරිණ.

දෙරටේ ඓතිහාසික සබඳතාව සමාලෝචනය කරමින් පාර්ලිමේන්තු සබඳතා වඩාත් ගැඹුරු කිරීමට අවශ්‍ය මත දෙපාර්ශවයෙන්ම ඉදිරිපත්වීම විශේෂත්වයක් වූ අතර හවුල් අභියෝග කළමණාකරණය කිරීමේදී ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් ගොඩනගා ගැනීමට අදාළව නිර්මාණාත්මක සංවාදයක අවශ්‍යතාව ද අවධාරණය කෙරිණ.

තමා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිවරයා ලෙස කටයුතු කරන කාලයේ දී එක්සත් රාජධානිය සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීම සඳහා තමා ප්‍රමුඛතාවය දී කටයුතු කරන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද රෝහිත බෝගොල්ලාගම මහතා විසින් කතා නායකවරයා දැනුම්වත් කරනු ලැබීය.

බහු පාර්ශ්වික සංසද හරහා එවැනි කරුණු ආමන්ත්‍රණය කරනවාට වඩා දේශීය ප්‍රශ්න පිළිබඳව වැඩි අවබෝධයක් ලබා දෙන ශ්‍රී ලංකාවට අදාළ කරුණු සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ද්විපාර්ශ්විකව කටයුතු කළ යුතු බව ද රෝහිත බෝගොල්ලාගම මහතා එහිදී අවධාරණය කර සිටියේය. 

මෙම හමුව ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පවතින සෘජු සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ගෙන යන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයේ කොටසක් බවට පත් කරන බවට ද රෝහිත බෝගොල්ලාගම මහතා සහතික විය. 

Advertiesment