වර්ෂ 1505 දී පෘතුගීසීන් ගාල්ලෙන් බැස රට ආක්‍රමණය කළේය. ඔවුන් ගෙන් පසු ලන්දේසීන් හා ඉංග්‍රීසීන් ද වසර 133 ක් අප යටත් විජිතයක් කර ගත්හ. 48 නිදහස යයි එකක් ලබාදී සුද්දන්ට කීකරුව සිටි මෙරට ප්‍රභූ පවුල් දෙකක කළු සුද්දන්ට රට බාරදී සුද්දෝ ගියහ.
යන විට මෙරට ආර්ථිකය ආසියාවේ දෙවැනි තැනය. 1951 දී අප සතු ඩොලර් සංචිතවලින් බ්‍රිතාන්‍යයටත් "ලෝන්" දුන්නේය. ඒ සුද්දන් ඉතිරි කොට ගිය මුදල්වලිනි. රට බාර ගත් අපේ එවුන්ට මොළයක් , දැක්මක් හෝ ජාත්‍යන්තර සබදතාවක් තිබුණේ නැති නිසා රට ගියේ රුවිතෙටය. 48 තෙක් අවංකව කැපවීමෙන් ක්‍රියා කළ දෙමළ ජාතිකයන් කොන් කිරීම ද සිදුවූ නිසා ඔවුන් තම අයිතිය උදෙසා සියුම් ඉල්ලීම් කරද්දී 56 දී සිංහලයා බෙදන, ඉංග්‍රීසි භාෂාවෙන් හා ලෝකයෙන් දරු පරපුර ඈත් කරන දේශපාලනික හා අවස්ථාවාදී ව්‍යාජ දේශප්‍රේමය උතුරා යමින් අසරණ ජනතාවට අං තට්ටු පැළද විණ. රට අයාලේ යාම ඇරඹිණ. එහෙත් පවුල් කීපයක් බලය හා රටේ සාරය භුක්ති වින්දේය. දහනායක මහතාට අත්වැරදීමකින් මාස 06 ක නායකත්වය ලැබුණ ද වෙනසක් නොවිණ.
ජවිපෙ විජේවීර සමාජවාදය හා ද්‍රරිද්‍රතාවය පෙන්වා 71 හා 88 දී අවියෙන් බලය ඩැහැ ගැනීමට උත්සාහ කළ ද එය ඛේදවාචක ලෙස නිම විය. අනතුරුව මෙරට පාලනයට තෙවැනි පවුල ද පැමිණි අතර රට තව දුරටත් අනාථ වූවා මිසක ඇතිවූ තිරසාර සෙතක් නැත.
පොළොන්නරුවේ ගැමි ගොවියා ජනාධිපති වූයේ ඒ අතරය. ඉන්පසු ඕන එකෙකුට ජනපති විය හැකි බවට මතවාදයක් ද දියත් විය. රට බංකොලොත්වී නන්නපෝල් වූ අද දවසේ ජනාධිපති රේස් එකට දුසිම් බාගයක් අමුඩ ගහන්නේ එහෙයිනි.
"ක්‍රිකට් සුද්ද කර රජ පුටුවට ඉව ඇල්ලීම" යයි මාස දෙකකට පෙර ලිපි ලියවුණේ ඒ තුළය. ඒ හිටපු ඇමති රොෂාන් රණසිංහ ගැනය. රොෂාන් යනු කවුදැයි හදුනා ගැනීම වැදගත්ය. ඔහු පොළොන්නරුවෙන් බිහි වුවද ගගෙන් එහා දකුණේ අකුරැස්සේ මුල් සහිත අයෙකි. ජපානයට ගොස් දුෂ්කර ක්‍රියා කොට තරුණ වයසේම ජීවිතය ගොඩනගා ගත් ධෛර්මත් මිනිසෙකි. ලංකාව තුළ පමණක් නොව ජපානය එංගලන්තය දකුණු අප්‍රිකාව බංගලා දේශය ඇතුළු රටවල් රැසක වාහන අංගන හිමි ඔහු ස්‍රප්‍රකට හා විශ්වාසනීය ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙකි. ඔහු මාසයෙන් බාගයකට වඩා සිටියේ පිටරටය.
රජයේ ප්‍රතිපාදන තමා හෝ පවුල සදහා වැය නොකළ අතලොස්ස අතරට ද රොෂාන් අයත් ය. තම හයියෙන් දේශපාලනයේ අළු ගසා ඉදිරියට පැමිණි ඔහු තාර්කික කතිකත්වයක්, ආකර්ශනීය පෞර්ෂයකින් ද හෙබි අයෙකි. ඒ තුළ ඔහු දෙස බොහෝ නායකයන් බැලුවේ වපර ඇසිනි. විචිකිච්චාවෙනි.
ගෝඨා පන්නා වෙනස ඇතිවූ පසුබිමක ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා හා වාරිමාර්ග වගකීම් ඔහු මත පැටවිණ. සල්ලි ලුහු බඳින ඇමතිවරු අතර රොෂාන්ට දූෂණය චංචාව බොරුව හා ඇන්දීම දිරෙව්වේ නැත. දෙන දෙයක් කාලා බැස යන ගගෙන් දිය රැගෙන ජාමෙ බේර ගන්නට බහුතරයක් ක්‍රියා කරද්දී ඔහු අතුර උඩ පිනුම් ගසන්නට ද, දැලිපිහියෙන් කිරි කන්නට ද ක්‍රියා කළේ ජනතාවගේ පැත්තේ ඉද ගෙනය.
එහෙත් ලාංකීය කිළුටු හා අවස්ථාවාදී දේශපාලනය තුළ මුදල, නිලය, බලය මිසක ජනතා මතයට වටිනාකමක් නැති බව පසක් කරමින් රොෂාන්ගේ ඒ අතිශය අවංකත්වයට කණකොකා හඬා ඇමතිකමෙන් විසි විය. "හොරු දිනුවා මල්ලී" යයි කීම හැර ඔහුට කියන්නට දෙයක් ඉතිරි වූයේ නැත. ඔහු දැන් දේශපාලනිකව වෙඩි කෑ ඌරෙකු බවට පත්කොට තිබේ. "ඊළඟ ජනපතිවරණයෙන් හරි හොරු පන්නනවා" ඔහු කීවේය.
ඒ සදහා ප්‍රබල ව්‍යාපෘතියක් දියත් කළ රොෂාන් පසුගිය දා පොළොන්නරුවේ දී ඊට පළමු වෙඩි මුරය පත්තු කළේය."සිව්බිය දුරලන, තිරසර රටක්" නමින් දූෂණ විරෝධී සන්ධානය ඇරඹුණේ එසේය. "මත්පැන් උගුරකට, කෑම පාර්සලයකට අවස්ථාවාදීන්ට රට බිළිදී ලා රටයි අනාගත පරපුරයි වනසන්න එපා" ඔහු ප්‍රවේගකාරී කතාවකට මුල පිරුවේය.
"රට හදනවා කියමින් වෛරය වපුරමින් හොරකමට නාස්තියට හැමෝම ආවැඩුවා. රටම ඇන්දුවා. ක්‍රිකට් ප්‍රශ්නයේදී හොරකමට එරෙහිව හිට ගත්තෙ නැති හැම එකාම හොරෙක්. ජවිපෙත් එතනදී කර ඇරියෙ හොරුන්ගේ සහායටද. 225 ට හොර ලේබලය වැදුණේ ඒ අය අතරත් හොරු සිටින නිසයි. සමහරු අරගලයෙන් බලය ගත්තෙ හොරකම විකුණලයි. දැන් ඔවුන් කරන්නෙත් හොරකම හා හොරුන් රකිමින් උන්ගෙන් ජීවත්වීමයි.හොරු අල්ලපු මාව එළවලා ජනතාව ප්‍රතික්ෂේප කළ අය හොරුන්ට ඔටුණු පැළැන්දුවා. හොරකම නවතන්න විගණකාධිපතිට අධිකරණ බලය දෙන්න. ගේම් ගහන, කුමන්ත්‍රණ කරන තක්කඩි අතුගාන වසර බවට 2024 පත් කරමු. මේ පින්බිම ගොඩගන්න 225 න් අවංක අය ඇතුළු කාටත් මේ මල්වට්ටියට අත ගහන ලෙස ආරාධනා කරනවා" රොෂාන් කෑ ගසා කීවේය. රටේ ආදරය ගිළිහුණේ නැති අර්ජුන රණතුංග ද ඊට එක්විය.
එසේම ඩලස් ප්‍රමුඛ නිදහස ,කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දෑත් පිරිසිදු පිරිසක් මෙම නව සන්ධානයට එක්වීමට නියමිත බව ද කියවේ. රොෂාන්ගේ අඩව්වේ හැඩරුව ගැන රටම බලා සිටින්නේ එකී පසුබිම තුළය.
Lanka Newsweek © 2024