රනිල් මැතිවරණ ඉතිහාසයේ සදාතනික පරාජිතයාය. දෙවරක්ම බාහිර සාධක විසින් ඔහු පරාජය කළේය. 1999 දී චන්ද්‍රිකාගේ ඇස කොටි බිළි ගත් අනුකම්පාව ඇයට කැරකුණේය. 2005 දී කොටි හා ජවිපෙ රනිල්ගේ නියත ජය වැළැක්වීය. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදීව මහින්ද දිනවන සටනේ සිටියදී කොටි මුදල් ලබා ගෙන උතුරේ ඡන්ද තුවක්කුවෙන් වැළැක්වූ බවට මතවාද පවතී. ඡන්ද ලක්ෂයකින් රනිල් පැරදවීමට කොටි, ජවිපෙ හා රාජපක්ෂලා එකතුව ගේම් නොගැසුවා නම් එදා දිනන්නේ රනිල් ය.
"රනිලා එදා දිනුවා නම් අද ශ්‍රී ලංකාව එක්කෝ සුරපුරයක් බඳු සිංගප්පූරු පන්නයේ රටකි. නැත හොක් ඇමෙරිකාවේ හෝ බටහිර රටවල යටත් කොළණියකි" සමහරු කියන්නේ එහෙමය. ඒ දෙකම අද කැරට් කිළෝව රු 2500 ට තිබෙන බංකොලොත් රටට වඩා හොඳ බවට ද මතවාද පවතී.
රනිල් පරගැති ලෙස ඇමෙරිකාව හා බටහිර රටවල් 27 ට සැලියුට් ගසමින් ලෝකය බැලන්ස් කරන බව විග්‍රහ වේ. එය එක අතකින් චීනයේ රටවල් සූරාකමින් ආර්ථික හා භෞතිකමය ලෙස ආධිපත්‍ය දරමින් නතු කර ගන්නා කෲරත්වයට වඩා හොදය.
කොටි හා ජවිපෙ සහායෙන් 2005 දිනූ රාජපක්ෂලා අත ගැහුවේ ජනතාවගේ කොළ බොක්කටය. යුද්ධය ද ෆොන්සේකා හා ගෝඨා එකමුතුව ජය ගත්තේය. එහෙත් ප්‍රශ්නයට විසදුම් නොදී ජාතිවාදය, ආගම්වාදය හා ඇතැමුන්ට අනුව බොරු දේශීයත්වය ද පෝෂණය කළේය. තවද පවුල්වාදයට පෙර නොවූ බලයක් එක් කළේය.
චීනයෙන් අධික පොලී ණය ගෙන රටට ප්‍රතිලාභ නොඋපදවන එහෙත් කොමිස් ලැබෙන කෘතිම සංවර්ධන බුබුලක් නිර්මාණය කළේය. පවුල්වාදය නොඉවසූ ලිබියාවේ ගඩාපි මැරුව ද ශ්‍රී ලංකාවේ පාලකයන් 2015 දී ජනතාව ගෙදර යැව්වේය. ගෙදර ගිය ද මන්ත්‍රී ලෙස ගේමට බැස්සේය. "අල ළුෑණු කෑවද...දැන් ෂැප ද...ඩාම් වෙනවා ඩූම් වෙනවා" යි කියමින් ජනතාව චූන් කළේය. 2018 පළාත් පාලනය ජය ගත්තේය. පාස්කු ප්‍රහාරය හරහා විනාශයක් කළ බවට ද චෝදනා පවතී.
හොරු අල්ලන්නට ආ මෛත්‍රී හා රනිල් තරඟෙට හොරු රැක්කේය. ඒ 2019 දී ජනාධිපති වෙන්නටය. රාජපක්ෂලා තරම් දක්ෂ දේශපාලන ගේම් රනිල් හා සෙසු අය දන්නේ ද නැත. 2019 දී ආරක්ෂාව පෙන්වා ගෝඨා කප් ගසා දිනුවේය. දිනූ විගස කළේ වියත් මගේ යාළුවන්ට බදු සහන දීමය. රුපියල් බිලියන 700 ක් එනම් කෝටි 70,000 ක් වසරකට දුන් බදු සහන නිසා දැන් වසර 04 කදී රුපියල් කෝටි 2,80,000 ක් රටට අහිමි විය. රට බංකොලොත්වීමේ බලපෑම ආවේ එතනිනි.
ආහාර ඖෂධ තෙල් ගෑස් පෝර නැවක් ගන්නට මුදල් නැති විය. පෝළිම්වල මැරී වැටුණ ජනතාව පාලකයන් එළවා දැම්මේය. පැදුරේ සිටි රනිල්ට පිනා චාන්ස් එක ආවේ ය. රට බාර ගන්නට කයිවාරු ගහන කවුරුවත් ආවේ නැත. 2001දීත් චන්ද්‍රිකා - මහින්ද ආණ්ඩුව ඍණ 1.6% ක අනාථ රටක් තැනු විට එය ගොඩ ගත්තේ ද රනිල් ය. ඒ රට රනිල්ගෙන් උදුරා ගෙන ජනතාව මහින්දට පූජා කළේ 2005 දී ය. 2015 දී රට බාර ගත් රනිල් ආර්ථිකය මෙහෙයවා ජනතාව ජීවන බරින් ද සුවපත් කළේය. ඩොලර් බිලියන 7.9 ක සංචිත ද ඉතිරි කළේය. එහෙත් ජනතාවට 2019 දී "රටක්" ඔිනෑ වුණේ දේශපාලන ලනු හොදට ගිලලා ය.
රනිල් හැගීම් දැනීම් ඇති මිනිසෙකු නොවේය. ඇතැම් රළු තීන්දු ගන්නට ඔහු බිය නොවන්නේ එහෙයිනි. 2001 දී රාජ්‍ය සේවය අඩු කොට රට නිවැරදිව ගෙන යාමට පසුබිම තැනූව ද 2005 දිනූ රාජපක්ෂ - ජවිපෙ ආණ්ඩුව යළි රජයේ රැකියා දී ආර්ථිකය අස්ථාවර කළේය. මේ රාජ්‍ය සේවය රටට බරක් යයි බැසිල් මෑතක කීවේ තමන්ටම දොස් පවරා ගනිමින්දැයි දන්නේ නැත.
රනිල්ට ලිබරල් මතවාද හා බැදුණු දැක්මක් තිබේ. ඇතැම් විට ඒවා ඇනිලා මඥං වන්නේය. තවත් විටෙක හොදින් ක්‍රියා කරන්නේය. රනිල් වටින්නේ රටට කෙළ වුණ විටය. 2001 හා 2021 දී ඔහු එය හොදින් සනාථ කළේය. ගෝඨා රට බංකොළොත් කර පැන ගිය වෙලේ රනිල් බදු පනවා රට ගොඩ ගත්තා පමණක් නොව පෝලිම් හා භාණ්ඩ හිගයට ද තිත තැබුවේය.
රටට කෙලවී ඇති විටක රනිල් රට යාම ජවිපෙට ඇලජික්ය. ඔවුන් පහර ගසන්නේ බ්‍රෑන්ඩඩ් ඇදුම් බෙල්ට් ඔරලෝසු පැළද බිස්නස් ක්ලාස් එකේ රට යන හා මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල අරින්නට ඉඩ නොදී තම දරුවන් විදේශ අධ්‍යාපනයට යැවූ අමුතු දේශහිතෛශීන් ලෙස ය..
ජවිපෙට අනුව රනිල් පිටරට මල ගෙවල් මගුල් ගෙවල්වලට ද යන්නේය. ස්ව්ස් හි ඩාවෝස් ආර්ථික සමුළුව නිමවා උගන්ඩාවේ නොබැදි සමුළුවට ද දැන් පැමිණ තිබේ. ස්විස් හි දී ඇමෙරිකාවේ හිටපු උප ජනපති අල් ගෝ රනිල් හමු විය. ඔහු ලෝක දේශගුණ ක්‍රියාවලියට අදාළ නොබෙල් ත්‍යාගය පවා දිනූවෙකි. 2005 රනිල්ට මෙන් ජනපතිකම නූලෙන් ගහලා ගිය අයෙකි. එම හමුව සංවිධානය වූයේ වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ හරහාය.
තවද තානාපති මහින්දගේ මෙහෙයවීමෙන් වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට රුපියල් කෝටි 1730 ක ඖෂධ ශ්‍රී ලංකාවට යවා තිබේ. ඊට අමතරව මේ සතියේ තවත් ඩොලර් මිලියන 7. 8 ක එනම් රුපියල් කෝටි 240 ක ඖෂධ යැවීමට සූදානම් කර තිබේ. අදාළ ලියකියවිලි ඇමති රමේෂ් පුමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කර තිබේ. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රමුඛ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ප්‍රමාදයකින් තොරව ලැබෙනු ඇති බවට තානාපති මහින්ද හා ඇමෙරිකාවේ හාටි ටු හාට් සංවිධානය අපේක්ෂා කරයි.
රට අමාරුවේ වැටුණ විට ඉන්දියාව ඇමෙරිකාව ජපානය ඇතුළු ලෝකයෙන්ම උදව් ලැබුණේ කපටි නරියාගේ සබදතා හා ජවිපෙට ඇලජික් මෙවැනි ට්‍රිප් නිසාය. ජනපතිවරණය අත ළඟ තිබියදීත් ඔහු ට්‍රිප් යන්නේය. ජනතාවගේ බෙල්ල යන ආර්ථික තීන්දු ගන්නේය.
"අද බනින අය හෙට මට ස්තුති කරාවි. කවුරු හරි අමාරු තීන්දු අරන් රට නිවැරදි මඟට ගන්න ඔින" ජනපති, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්නට කීවේ රට වැනසූ ඉඩි අමින් සිටි උගන්ඩාවේ කම්පාලා හි දීය.
"මටයි පොලිස්පතිටයි නැති වෙන්න දෙයක් නැති නිසා යුක්තිය දිගටම යනවා. ඔළුව ඇති කෙනෙක් මේකට විරුද්ධ නෑ. ඇමෙරිකානු තානාපතිනිය කිව්වෙත් එයා කියපු දේ නෙවෙයි වෙන එකක් ප්‍රචාරය වූ බවයි. හියුමන් රයිට්ස් එවපු ලියුම මම ගණන් ගන්නෙ නෑ" ඇමති ටිරාන් කීය.
"කුඩු හා පාතාලයෙන් 62% ක් කොටු කළා.ඉතිරි ටිකත් කරනවා" දේශබන්ධු කීය. මාළිමාව ඔහුට විරුද්ධව උසාවි ගියේ ඒ අතරය. "යුක්තියේ" යටි තලය දේශපාලනික වුවද එය රටට හොදකි.
Lanka Newsweek © 2024