Monday 26th of February 2024

English Tamil
Advertiesment


නීත්‍යනුකූලභාවයකින් තොරව රජය ගෙන එන නව නීති සඳහා වැඩි එකඟතාවක් අවශ්‍ය වේ 


2024-01-15 1208

 

(ආචාර්ය ජෙහාන් පෙරේරා)

 

ආර්ථීකය, සංහිඳියාව සහ ආරක්ෂාව යන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ව්‍යවස්ථාදායක ක්‍රියාකාරීත්වය වේගවත් කරමින් සිටී. ඒ සඳහා ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙනි. 2020 මහ මැතිවරණයෙන් ලද පාර්ලිමේන්තු බහුතරයත් සමගින්, වත්මන් ආණ්‌ඩුව පසුවන්නේ තමන්ගේම ගමනක නිරත වෙමිනි. කෙසේවෙතත්, පසුගිය ආණ්ඩුවේ නිවැරදි නොවූ ප්‍රතිපත්ති හේතුවෙන් 2021 දී ආර්ථිකය දණ ගැස්වීමෙන් පසු, ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය සහ නව ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ඇති සදාචාරාත්මක අයිතිය ප්‍රශ්නගතවී ඇති අතර, එම ආණ්ඩුවේ නායකයන්ට තනතුරුවලින් ඉල්ලා අස්වීමට හෝ නිවෙස්වලින් පළායෑමට සිදුවූ බවද සිහි තබාගත යුතුය. දෙවැනි ලෝක යුද්ධය වකවානුවේ, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් විසින් පාප් වහන්සේට 'බෙදීම් කීයක් තිබේදැයි' විමසූ බව කියනු ලැබේ. යථාර්ථය නම්, වත්මන් ආණ්ඩුවේ බලය රඳාපවතින්නේ එහි නෛතික බලය මත මිස සදාචාර බලය මත නොවන බවයි. ලෝකයේ සෑම තැනකම පාහේ පවතින වර්තමාන ප්‍රවණතාවය වන්නේ කඩුව පෑනට වඩා බලවත් බවයි.

මේ දිනවල සදාචාරය සහ බලය බොහෝ විට ප්‍රතිවිරුද්ධ ලෙස සළකනු ලබන අතර, සදාචාරය පොදු යහපත මත පදනම් වී ඇති අතර, බලය ආත්මාර්ථකාමී ලෙස පිහිටා ඇති බව පෙනේ. බොහෝ විට අනුමාන කරන පරිදි, මැතිවරණ පවත්වා ඇති හෝ නොපැවැත්වූ පරිදි කල්දමන තාක් කල්, රාජ්‍යය පාලනය කිරීමට ආණ්ඩුවට ඇති නෛතික බලය අභියෝගාත්මකව පවතිනු ඇත. ආණ්ඩුව පාර්ලිමේන්තුව හරහා කඩිමුඩියේ ගෙනඑන නව නීති අතර, රාජ්‍යයේ බලහත්කාරී ආයුධ ශක්තිමත් කරන සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීමට මිනිසුන්ට හැකියාව සීමාකෙරෙන නීති පවතින බව දැකගත හැකිය. මෙම නීති ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත වන අතර, එය ජනමාධ්‍ය නිදහස සහ වැඩවර්ජන ක්‍රියා ඇතුළු පුළුල් පරාසයක ක්‍රියා ත්‍රස්තවාදයේ අර්ථනිරුපණය තුළට ඇදදමා තිබේ. ආක්‍රමණශීලී සමාජ මාධ්‍ය භාවිතාවලින් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන එන බවට ආණ්ඩුවේ නායකයන් විසින් යුක්ති සහගත කරන, එහෙත්, සමාජ මාධ්‍යවල භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බලපාන මාර්ගගත ආරක්ෂණ පනත වැනි මර්දනකාරී නීතිද ඒ හා සමාන වේගයකින් කරළියට පැමිණෙමින් තිබේ.

ගැසට් කර ඇති සහ ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවේ කැඳවීමට නියමිත තවත් නව නීතියක් පිළිබඳ කෙටුම්පතක් වන්නේ, සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදනයයි. මෙම ආයතනයේ අරමුණ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමයි. සංහිඳියාව සම්බන්ධයෙන් විරුද්ධ දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම වාර්ගික හා ආගමික සුළුතර පක්ෂවල සහභාගීත්වය අතිශයින් වැදගත් ය. නැතිනම් එය එක් අතකින් අත්පුඩි ගැසීමක් වැනි වේ. සත්‍යය, ඒකීයභාවය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (TURC) සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සකස්කර ගැසට් කර ඇත්තේ, පෙර පැවැති කමිටුවල සොයාගැනීම් විමර්ශනය කිරීම සඳහා පත්කළ, විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කිරීමටත් පෙර වීමද අවධානයට ලක්විය යුතු කරුණකි.

 
අවම උපදේශන

 

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද නවාස් කොමිෂන් සභා වාර්තාවේ සාරාංශයේ පවසා අත්තේ, කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් වෙත යොමුකළ යුතු අවසන් වාර්තාව නියමිත වේලාවට සකස් කරන බවයි. නවාස් කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කරන තෙක්වත් බලා නොසිට, විරුද්ධ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය සමඟ අවම උපදේශනයකින් පමණක්, සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට පවතින හදිසි අවශ්‍යතාව, සංහිඳියාවෙන් ඔබ්බට ගිය පෙළඹවීමක් හේතුවෙන් සිදුවන්නක් බව අනුමාන කළ හැකිය.  මෙම නව නීතිය ඉදිරිපත් කිරීමෙන් අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය බවක් පෙනෙන්නට ඇති නමුත්, ඉන් ඉලක්ක කෙරෙන අගතියට පත් ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ගේ සහාය ඊට නොලැබී යාහැකිය.

මේ සතියේ රජය ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල(ONUR) පනත් කෙටුම්පත විවාදයට ගන්නා අතර පසුව එය නීතියක් ලෙස බලාත්මක කරනු ඇත. රජය විසින් ගනු ලබන සියලුම ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කාර්යභාරයක් ඉටුකළ හැකි ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට පනත් කෙටුම්පත යෝජනා කරයි. ONUR පනත් කෙටුම්පතෙහි ජාතික සමගිය සහ සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම වැනි ප්‍රශංසනීය අරමුණු ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සහ දේශපාලන සමාජවල විවිධ ප්‍රජාවන්ගේ නියෝජිතයන් අතර සංවාදය සහ සාකච්ඡා අවශ්‍ය වේ. අවාසනාවකට මෙන්, සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (TURC) මෙන්ම එහි අන්තර්ගතය සම්බන්ධයෙන් මහජන සංවාදයක යෙදීමට හෝ එහි අවශ්‍යතාව පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට හෝ උත්සාහයක් ගෙන නොතිබිණි.

ONUR පනත් කෙටුම්පතේ ආමන්ත්‍රණය කළ යුතු ගැටළු සහිත ක්ෂේත්‍ර තුනක් තිබේ. ONUR අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම් සිදුකිරීම විෂය භාර ඇමැතිවරයාගේ කාර්යභාරයක් වේ. ආයතනයේ සභාපතිවරයාගේ ධුරයට කාල සීමාවක් නොමැති අතර, වසර 03 ක ධුර කාලයක් ඇති සාමාජිකයන් 11 දෙනකු පත්කිරීම නිර්දේශ කිරීමට ඇමැතිවරයාට බලය ඇති නමුත් එය නුසුදුසු ය. මේ සඳහා පත්කෙරෙන්නන් වාර්ගික සහ ආගමික කණ්ඩායම්වල විවිධත්වය හා සමාජ සංස්කෘතික අවශ්‍යතා නියෝජනය කරන බව සහතික කිරීම සඳහා වඩාත් බහු-පාක්ෂික පත්වීම් ක්‍රමයක් අවශ්‍ය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයන් පත්කිරීම සඳහා කාරක සභා අවස්ථා සංශෝධනයක් යෝජනා කර ඇති බව වාර්තා වේ.

 
සුදු අලි

 

සියලු ස්වාධීන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයන් එකට එක්කරන ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට ONUR විසින් අපේක්ෂා කෙරේ. එබැවින්, ONUR අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම් සඳහා අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සහ ළඟදීම ස්ථාපිත කිරීමට නියමිත සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධාන කොමිසම යන ආයතනවල නිල නියෝජිතයන් ඇතුළත් විය යුතුය. මෙමගින් සියලුම ප්‍රතිසන්ධාන ආයතන පොදු දැක්මක් ඇති කර ගැනීම සහ ඒ ඒ ආයතන විසින් සිදුකරනු ලබන කාර්යයන් පිළිබඳව දැනුවත් කිරීම සහතික කරනු ඇත. බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ සහ වින්දිතයින්ගේ ඉදිරි අවශ්‍යතා සලකා බලා ක්‍රියාකිරීම සහතික කිරීම සඳහා සිවිල් සමාජයේ නියෝජනය සහතික කිරීමේ අවශ්‍යතාව ද පවතී.

"ප්‍රජා මූලික සංවිධාන ඇතුළු ප්‍රාදේශීය සංවිධාන විසින් මෙහෙයවනු ලබන සාමය සහ ප්‍රතිසන්ධාන වැඩසටහන් මෙහෙයවීමට සහ පහසුකම් සැලසීමට" ඇති බලය මගින් සිවිල් සමාජ කණ්ඩායම් පිළිබඳව සොයාබැලීමට ONUR වෙත ලබා දී ඇති කාර්යභාරය තුන්වැනි සැළකිල්ල වේ. ජාතික සංහිඳියා ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේදී, පටු හා පක්ෂග්‍රාහී අරමුණු සඳහා ඒවා දේශපාලනීකරණය විය හැකිය සන්දර්භය තුළ, සිවිල් සමාජයේ ක්‍රියාකාරකම් අධීක්ෂණය හා සමාලෝචනය කිරීමේ මෙම අධිකාරිය, රජය විසින් එය දැඩි ලෙස හැසිරවීමේ අපේක්ෂාව පිළිබඳ කනස්සල්ල මතුකරයි. එමනිසා, රජය විසින් සිවිල් සමාජයට එහි මාර්ගෝපදේශ අනුගමනය කිරීමට යොමුනොකරන බවත්, ඒ සඳහා ඔවුන්ට “සහාය සහ පහසුකම්” ලබාදිය හැකි බවත් නව නීතිය ඔස්සේ පැහැදිලි විය යුතුය. ජාතික සංහිඳියාව ඉහළ සිට පහළට ක්‍රියාත්මක කළ නොහැක. එය සියලුම වාර්ගික සහ ආගමික ප්‍රජාවන් සම්බන්ධ කරගනිමින් ස්වේච්ඡා ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක විය යුතුය.

සංහිඳියාව පිළිබඳ නව ආයතන පිළිබඳ සාකච්ඡාවට සිවිල් සමාජය සහ දේශපාලන නියෝජිතයන් මැදිහත් කරගැනීමේ අවශ්‍යතාවක් පවතී. මෙය ජාතික සමගිය සඳහා සැබෑ සංහිඳියා ක්‍රියාවලියක් බවට පත්වීමට නම්, නව නීති සම්මත කිරීමට පෙර, රජය විසින් බහුවිධ සාරධර්ම ඇතුළත් බහු-පක්ෂ සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා, විශේෂයෙන් සුළු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් නියෝජනය කරන විරුද්ධ දේශපාලන පක්ෂ සමඟ මෙන්ම සිවිල් සමාජය සමඟ සම්බන්ධ විය යුතුය. නව සංහිඳියා ආයතන පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පිහිටුවනවාට වඩා සම්මුතියක් මත පදනම් නොවන්නේ නම්, ඒවා සුදු අලින්ට සමාන, ක්‍රියාකාරී නොවන, රජයේ මුදල්වලට බරක් එක්කරමින් සහ සංහිඳියා ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් පළුදු කරවන ආයතන බවට පත්වීම වැලැක්විය නොහැකිය.

 


 

Advertiesment