2011 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරදෙන ලද මයිලතමඩු සහ මාතාවනයි යන තෘණ බිම්වල අයිතිය තහවුරු කරගැනීම සඳහා වූ නැගෙනහිර පළාතේ සිතන්ඩි ප්‍රදේශයේ දෙමළ එඬේරුන්ගේ සාමකාමී විරෝධතා ව්‍යාපාරය ඇරඹී දින 83කට වඩා ගතවී ඇත. සිදුවෙමින් පවතින අනවසර ඉඩම් අත්පත් කර ගැනීම සහ ඉඩම් කොල්ලය හේතුවෙන් ගවයන් 80 කට වැඩි සංඛ්‍යාවක් සොරකම් කිරීම, කපා කොටා දැමීම, විදුලි සැර වැදීම යන හේතූන් මත මියගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු ඵලදායි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත(පොලිස් ස්ථානවල පැමිණිලි ගොඩගැසීම සහ ඒවායින් සමහරක් ප්‍රතික්ෂේප කිරීම ද හැර). මයිලතමඩු - මාතාවනයි තෘණ භූමි කතාවේ සාරාංශය එයයි. මෙම අසාධාරණ තත්ත්වය ක්‍රියාත්මක වන්නේ, 2023 ඔක්තෝම්බර් 08 වැනි දින ජනාධිපතිවරයාගේ මඩකලපු සංචාරයට පෙර දිනයේ පොලිස් මුරපොළ දෙකක් ස්‌ථාපිත කර තිබියදී සහ එම සංචාරය අතරතුර චෙන්කලඩි හි මෙම ජනතවට සාධාරණය ඉටුකරන ලෙස ඔහු කළ ප්‍රකාශය පැවැතියදී ය. 2013 නොවැම්බර් මාසයේදී එලෙස අනවසරයෙන් ඇතුළු වූවන් 13දෙනකු ඉවත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලද අතර, 2022 ජූලි මාසයේදී අභියාචනාධිකරණය විසින් අනවසරයෙන් ඇතුළු වූ සියලුදෙනා ඉවත් කිරීමට මහවැලි අධිකාරියට නියෝග කරන ලද නමුත් එම නියෝග ක්‍රියාත්මක නොවීය. කිසිවක් ඵලදායි ලෙස ක්‍රියාත්මක වී නොමැති අතර, එය ආණ්ඩුකරණයේ සහ පරිපාලනයේ නොදැනුවත්කම හෝ නොහැකියාව හෝ සුළු ජාතීන්ට යුක්තිය ලබාදීම යටපත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කරයි.
සති දෙකකට, පෙර ගැටුම් පැවැති සමයේ මියගිය අය සැමරූ පුද්ගලයන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට මුළු පොලිසියම සූදානම් වන ආකාරය දැකගත හැකි විය. සුපුරුදු ප්‍රචාරණයක් ලෙස සංකේතීය එල්ටීටීඊවාදය, වෙනම රාජ්‍යය යනාදිය ගැන මැති ඇමැතිවරු කතාකරන නමුත්, මෙම ජනතාවගේ අයිතිය ගැන කතාකිරීමට කිසිවෙක් නැත. එසේ නම් දිස්ත්‍රික්කයෙන් පිට පළාත්වල පුද්ගලයන් තම ඉඩම් ඩැහැගැනීමට නොපැමිණි කාලය ස්වර්ණමය යුගයක් ලෙස ජනතාව දිගින් දිගටම සිතීම පුදුමයට කරුණක් ද? තම රාජකාරිය වන නමුත්, ඉඩම් අල්ලාගෙන ගවයන් මරා දමන ආක්‍රමණිකයන්ගෙන් ජනතාවට ආරක්ෂාව ලබාදීම වත්මන් ආණ්ඩුව විසින් හිතාමතාම ප්‍රතික්ෂේප කරන බව, අවාසනාවන්ත නමුත් සත්‍ය තත්වය වේ.
කෘෂිකාර්මික ඉඩම්වල තණකොළ වැවීම වැළැක්වීම සඳහා ගවයන් මෙම ඉඩම්වලට යැවිය යුතු බවත්, එසේ නොකළහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කරන දිස්ත්‍රික්කයේ නිලධාරීන් (දිස්ත්‍රික් ලේකම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වෙනත් අය) මේ වන විට සිදුවෙමින් පවතින දේ ඉතා පහසුවෙන් නොසළකා හරින බව පෙනේ. තවත් අතකින්, මේ වන විට නීත්‍යානුකූලව තණබිම් භාවිත කිරීම සඳහා ගොවීන්ට ලබාදී ඇති අයිතිය බැහැර කර, රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ නඩු පවරා ඇත. මෙම ඉඩම් මහවැලියට අයත් බවත්, දැනට මෙම ඉඩම් සම්බන්ධයෙන් තමන්ට අධිකරණ බලයක් නොමැති බවත්, තවත් වන සංරක්ෂණ කාර්යාලයක් ප්‍රකාශ කර තිබිණි. වචනයේ සහ ක්‍රියාවේ ප්‍රහේලිකාව තුළ මේ මිනිසුන්ගේ (එඬේරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල) ජීවිතය මීදුමක ගිලී යන අතර, රටේ අනෙක් සියල්ල කිසිවක් සිදු නොවූවාක් මෙන් ඉදිරියට දිවයයි.
එක්සත් ජාතීන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ තවත් බොහෝ තැන්වල ජාතික සංහිඳියාවේ වැදගත්කම සහ ඒ සඳහා රජයේ කැපවීම ගැන 'මී පැණි'වන් වදන් කතාකරන නමුත් බිම් මට්ටමින්
සුළු ජාතික ප්‍රජාවන් මුහුණදෙන ප්‍රශ්න විසඳීමට කිසිවකු පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැත. අධිකරණය ක්‍රියාකාරීත්වයෙන් අඩු වී ඇති බව පෙනෙන්නට ඇති අතර (මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණ සහ අභියාචනාධිකරණය) තවමත් සිය ඇතැම් විනිශ්චයන් / නියෝග ලබාදීම් ප්‍රමාද කෙරෙන බවක් දැකගත හැකිය. කෙසේවෙතත්, නීතිමය ක්‍රියාත්මක කිරීම්වලදී ඔවුන් සමත් වී ඇති බව පෙනේ; දිසාපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා දක්වා විධායක බලය දරන්නන්, ඉදිරි මැතිවරණයත් සමඟ එතෙර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැනි වඩා වැදගත් සිදුවීම් රාශියක් අතරතුර අතරමංව සිටින බවක් දැකගත හැකිය.
මෙම සන්දර්භය තුළ ඉතිරිව ඇති සහ වඩාත් පැහැදිළි වන එකම ප්‍රශ්නය වන්නේ ‘ඔවුන් මේ රටේ පුරවැසියන් ද’ යන්නයි. පුද්ගලයෙකු පුරවැසියකු බවට පත්කරන්නේ කුමක් විසින්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ‘රාජ්‍යයට පැවරී ඇත්තේ ජනතා බලයයි’ ලෙස සටහන් වන නමුත්, ඊට අදාළව රාජ්‍යය පවතින්නේ කොතනකද? තම විෂයපථයෙන් ඉවත්ව ගොස් ඇති බව පෙනෙන මෙම ගව පාලකයන්ගේ දුක්ඛිත තත්වයට රජය වගකිව යුතු බව පැහැදිලිය. මේ මිනිසුන්ගේ ජීවිත ශක්තිය, විශ්වාසය නැති වූ විට ඔවුන් බලාසිටින්නේ මහා අවමංගල්‍යයක් දෙසද? දශකයක් ඉක්මවූ වූ අතුරුදහන්වූවන් පිළිබඳව සකච්ඡා මේ වනවිට තුනිවී ගොස් ඇත. ඊට අදාළ යාපනයේ විරෝධතාවට දින 2000ක් ඉක්ම ගොස් තිබේ. පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශන, කමිටු සහ කොමිෂන් සභාවලට සීමාවී ඇති අතර, එම විමර්ශනද යම් දිනක ‘අතුරුදහන්වූවන්ගේ’ ඉරණම කරාම ළඟාවනු ඇත.
‘අපගේ ජීවිත කාලය තුළ බෙදුම්වාදයට ඉඩදෙන්නේ නැතැයි’ කියන ඇමැතිවරුන් කොතැනකද? ඔබ දැනටමත් වෙන්වීමට හේතුවක් බවට පත්වී ඇත. වෙන්වීම යනු භූමිය භෞතික වශයෙන් වෙන්කිරීම නොව, ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සහ නොසළකා හැරීම තුළ දැනටමත් ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන තත්වයයි. දික්කසාදය යන්නෙන් පුද්ගලයන් වෙනම නිවාසවල ජීවත්වීම යන්න පමණක් අදහස් නොවේ. දික්කසාදයකදී, එකම නිවසේ එකම කාමරයක වුවද, බොහෝ දුරස්වී වාසය කළ හැකිය.
ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත්(පුරවැසි බලය අහිමි කිරීම) සමඟ ආරම්භවී, 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම, වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල ප්‍රවේශය, තනතුරු සඳහා පත්වීම් ඇතුළු තවත් බොහෝ දේ සඳහා ප්‍රමිතිකරණය(මෑතකදී, පාර්ලිමේන්තුවේ තුන්වන විශාලතම පක්ෂය ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් සුදුසු අපේක්ෂකයෙකු නම් කර තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සුළු ජාතික අපේක්ෂකයකු ඇතුළත් නොකිරීම) ආදී වශයෙන්, නිදහස ලැබුණු දිනයේ සිට රට දික්කසාද වීමට උත්සාහ ගනිමින් සිටීම ගැන ඇත්තේ කණගාටුවකි. ගරු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නය වන්නේ, "පළාත් සභා මැතිවරණයට පවතින හදිස්සියේ මොකක්දකඩිමුඩිය කුමක්ද" යන්නයි, පළාත් සභා යනු ආණ්ඩුකරණයේ දක්නට ලැබෙන අසමාන ක්‍රියාවන්හි වේදනාවන් පිටකිරීමේ වැඩපිළිවෙලක් බව අවබෝධ කරගෙන නැත. "රටේ පවතින ප්‍රශ්නය කුමක්දැ"යි විමසූ විට පාර්ලිමේන්තුව ඊට පිළිතුරක් නොදන්නා අතර, "ජනතාවට ආර්ථික ප්‍රශ්න තිබේද?" යන ප්‍රශ්නයට ඇති පිළිතුර වන්නේද එයමය. ඔවුන් තෘප්තිමත් කිරීම සඳහා සලාක නිකුත් කිරීමෙන් ඔබ්බට ගොස් බලන විට, ගොවීන්, එඬේරුන් සහ නිෂ්පාදකයන් ඉන් ඔබ්බට ගිය දුෂ්කරතා රැසකට මුහුණදෙන බව දැකගත හැකිය.
මයිලතාමඩු - මාතවනෙයි ප්‍රශ්නය තණබිම් පිළිබඳව වන්නක් පමණක් නොවන අතර, එය, පාලනය, මිනිසුන්ගේ අයිතිය (විශේෂයෙන් සුළු ජාතීන්) සහ සමාජය තුළ සමානාත්මතාව ලබාදීමට රජයට ඇති හැකියාව සහ කැමැත්ත පිළිබඳ දර්ශකයකි. අවාසනාවකට මෙන්, ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණුවලට (අධිකරණය, විධායකය සහ ව්‍යවස්ථාදායකය) පවතින, පුරවැසියන්ට සමානව සළකමින්, ඔවුනට යුක්තිය සහ සාධාරණත්වය සහතික කරමින් ගැටලු විසඳීමට හැකිවන පරිදි ඒවා හැසිරවීමට ඇති හැකියාව, දවසින් දවස ඛාදනය වන බව පෙනෙන්නට තිබේ. එහෙත් මම අපේක්ෂා කරන්නේ මා නිවැරදි නොවේවායි කියාය.
Lanka Newsweek © 2024