Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


රනිල් සහ රොෂාන් සටනේ වැඩි වාසිය සජිත්ට


2023-12-01 14328

 

මේ දවස්වල පාර්ලිමේන්තුවේ 2024 අයවැය විවාදය පැවැත්වෙනවා. හැබැයි අයවැයට වඩා වැඩි අවධානයක් රොෂාන් රණසිංහ දිනාගෙන තියනවා.තවමත් රටේ ප්‍රධාන මාතෘකාව රොෂාන් රණසිංහ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණවලට එරෙහිව පටන් ගත්ත රොෂාන්  -  ෂම්මි සටන දැන් අපේ රටේ ප්‍රමුඛතම දේශපාලන සටන බවට පත්වෙලා. ෂම්මිගෙන් සාගලටත් සාගලගෙන් රනිල් දක්වාත් ප්‍රශ්නය ඇවිත්.

ප්‍රශ්නයට උත්තරය විදිහට රනිල් කළේ රොෂාන් සියලු තනතුරු වලින් අයින් කරලා ඇමති රොෂාන් මන්ත්‍රී රොෂාන් බවට පත්කිරීමයි.රොෂාන් කියන විදිහට රනිල් රොෂාන්ව ඝාතන කළේ නැත්තං රනිල්ට රොෂාන්ට කරන්න ඔයිට වැඩිය දෙයක් දේශපාලනික වශයෙන් නං නෑ.ඕනි නං මොනවා හරි සිද්ධියකට නීතිය පැත්තෙන් හිර කිරීමක් කරන්න පුළුවන්.හැබැයි ඒ හැම අවස්ථාවකදීම සමාජ අනුකම්පාව යන්නේ රොෂාන්ට.

ක්‍රිකට් ආයතනයට විරුද්ධව රොෂාන් ආරම්භ කරපු සටනත් එක්ක මුළු පාර්ලිමේන්තුවම හිටියා. ඒ වගේම රටේ ජනතාවත් හිටියා.ඒ වගේම රොෂාන් පිටිපස්සේ අදිසි හස්තයකුත් හිටියා.එයා අන්තිමට ප්‍රශ්නය ක්‍රිකට්වලින් ගලවලා සෘජු දේශපාලනයට ගෙනාවා.ඇත්තටම ඒක තමයි එයාගේ ඉලක්කය වෙන්නත් ඇත්තේ.දැන් රොෂාන් කැබිනට් එකෙන් දොට්ට දාලා ඉවරයි.රොෂාන්ට දැන් ඒ අදිසි හස්තයත් එක්ක නැතිව වෙන ගමනක් නෑ.රොෂාන්ව පොහොට්ටුවෙන් දොට්ට දාන්න රාජපක්ෂලා එච්චරම කළබල වෙන එකක් නෑ.කොහොමත් රොෂාන් පොහොට්ටුවත් එක්ක ලොකු ගනුදෙනුවක් පහුගිය කාලේ කළේ නෑ.

රොෂාන් සහ සජිත් අතර ගනුදෙනුවක් තියන බව දැන් රහසක් නෙවෙයි.ඒ සමිබන්ධය ක්‍රිකට්වලට එහා ගිය දේශපාලන සම්බන්ධයක්.ඒ දේශපාලන සම්බන්ධය තවත් පරිවර්තනවලට ලක්වෙන්න පුළුවන්.දැනටමත් සජිත් ජනපති - රොෂාන් අගමැති කියලා කැම්පේන් එකක් සෝෂල් මීඩියාවල යනවා.ඒ කියන්නේ සජිත් - රොෂාන් සම්බන්ධය ජනාධිපතිවරණ කැම්පේන් එකක් දක්වා දුරදිග යන්න පුළුවන්.

ඇත්තටම අපි සාධාරණ තක්සේරුවක් කළොත් මේ ගැටුමේ වැඩිම අවාසිය සිද්ධ වෙලා තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට.රනිල්ගේ තියන මහන්තත්තකම හින්දා ඒ හානියේ ප්‍රමාණය හරියට මැනගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.රටේ පොදු මතය හැදිලා තියෙන්නේ රනිල්  - සාගල - ෂම්මිලා කියන්නේ එක කණ්ඩායමක් විදිහටයි.ඒක තහවුරු වෙන ගොඩක් වැඩ පහුගිය කාලේ සිද්ධ වුනා.ඒ චෝදනාවෙන් බේරෙන්න රනිල්ට ලේසියෙන් බෑ.ඒකට රනිල්ට තව සෑහෙන කාලයක් ගතවෙයි.

ඒකට ක්‍රිකට් තහනම අනිවාර්යයෙන්ම ඉවත් කරගන්න ඕනි.රනිල්ට ඒ ගැන සැලසුමක් ඇති.ඒකට තමයි රනිල් ක්‍රිඩා ඇමතිකම හරින්ට දෙන්න ඇත්තේ.හරීන් කියන්නේ රනිල්ගේ කිට්ටුම ගෝලයෙක්.රනිල්ට හරීන් හරහා රනීල්ගේම වෙච්චි plan එකකට වැඩේ handle කරන්න පුළුවන්.හැබැයි මොනවා කළත් රනිල්ට ගොඩයන්න වෙන්නේ ක්‍රිකට් තහනම ඉවත් කරගෙන ෂම්මිලත් පැත්තකින් තියලා යන ගමනක් ඇතුලේ විතරයි.

මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජනතාවගෙන් නං කිසිම excuses එකක් නෑ.රනිල් සමහරවිට හිතනවා ඇති රනිල් දිනුම් කියලා. හැබැයි රටේ රාළට කියන්න තියෙන්නේ ක්‍රිකට් සටනෙදී රනිල් රොෂාන්ට පරාදයි කියලයි.රටේ රාළ කිව්ව විදිහට රොෂාන් runout වුනා. රනිල් hit wicket වුනා.රොෂාන් runout උනේ සැහෙන ලකුණු සංඛ්‍යාවක් ගහලා තියෙද්දී.රනිල් hit wicket වෙනකොට රනිල් මේ මැච් එකේ ලකුණු රැස් කරලා තිබ්බේ නෑ.

මේ මැච් එකේ තව ඉනිමක් තියනවා.ශතක ගහපු අය හිටපු ටීම් උනත් පැරදුණු අවස්ථා ඕනි තරම් තියනවා.නායකයා බින්දුවට ගියත් මැච් එක දිනපු අවස්ථාත් ඕනි තරම් තියනවා.බලමු රොෂාන් වෙනුවට රනිල් පිටියට එවපු හරීන් කොහොම bat කරයිද කියලා.ක්‍රිකට් වලින් ගත්ත වාසියත් පාවිචිචි කරගෙන සජිත්  - රොෂාන් හවුල ඉස්සරහට යන්න හදන බව ෂුවර්.

හැබැයි එයාලට ක්‍රිකට් ඉෂූ එක වැඩි දුරක් අරන් යන්න බෑ.ඒක එයාලත් දන්න බව පේනවා.ක්‍රිකට් ඉෂු එක ඉස්සෙල්ලා සාගලට හරවලා ඊළඟට රනිල්ට හැරෙව්වේ ඒකට වෙන්න පුළුවන්.දැනට නං එයාලා සාර්ථකයි.රටේ රාළ කියන්නේ සජබ  - රොෂාන් හවුල මේක මාලිමාව පැත්තටත් හරවන එක හරිනවාම තමයි.ඒකෙන් පහුගිය කාලේ යම් තරමකට හරි යට ගිහින් තිබුණ අනුර - සජිත් දේශපාලන බලු පොරය ආයෙත් උඩට එන්න පුළුවන්.

මොකද ක්‍රිකට් ප්‍රශ්නයේදී ජවිපෙ අනූගමනය කළේ සෑහෙන ගන්ධබ්බ ප්‍රතිපත්තියක්.ඒකෙන් උනේ ජවිපෙ අතේ තිබුණ දුෂණ විරෝධී සටන් පාඨයේ සැලකිය යුතු පංගුවක් රොෂාන් රණසිංහ කඩා ගැනීමයි.ඇත්තටම රටේ ජනතාව බලාපොරොත්තු උනේ රොෂාන්ට වඩා ඉස්සරහට ඇවිත් ජවිපෙ ක්‍රිකට් ආයතනයේ දූෂණ,වංචා හෙලි කරයි කියලා.හැබැයි පාර්ලිමේන්තු විවාදයේදී ජවිපෙ ඒ වගකීම ඉෂ්ඨ කළේ නෑ,ඒ වගේම ක්‍රිකට් ආයතනයට එරෙහි පනත ඒකමතිකව සම්මත වෙද්දී ජවිපෙ එතන නොහිට හොරෙන් පැනලා ගියා.

එතනදී රටට එකක් පැහැදිලි වුනා.ජවිපෙ ළඟ තියන දුෂණ ෆයිල් තොගය ඇතුලේ ධම්මික පෙරේරාගේ ෆයිල් එක නෑ වගේම ෂම්මි සිල්වාගේ ෆයිල් එකත් නෑ. අදත් ක්‍රිකට් ප්‍රශ්නය සම්බන්ධව ජවිපෙට ස්ථාවර මතයක් නෑ.ක්‍රිකට් සම්බන්ධව ජවිපෙ මතය විදිහට එලියට ආවේ " අර්ජුන ක්‍රිකට් ගැන දන්නේ නෑ " කියලා තියන විජිත හේරත් අඥකොරොස් මතය විතරයි.මේ සියල්ල සජිත් - රොෂාන් හවුල විසින් පාව්චි කරගැනීම අනිවාර්යයි.

ඇත්තටම එතන තර්කයකුත් තියනවා.හෙට සජබ වේදිකාවෙන් අනුර - රනිල් ඩීල් එකක විතරක් නෙවෙයි අනුර - ෂම්මි ඩීල්,අනුර - රාජපක්ෂ ඩීල් ගැනත් කතා ඇහෙන්න පුළුවන්.ඒවට උත්තර දෙන්න ගියහම ආයෙත් අනුර - සජිත් දේශපාලන බලු පොරය ඇවිස්සෙන එක නවත්තන්න බෑ. පහුගිය සතිය දෙක,තුන ඇතුලේ අනුර - ටිල්වින් හවුලට වැඩිය ජනප්‍රියත්වයක් සජිත් - රොෂාන් හවුලට හම්බ වෙලා තියනවා.

ඒක යට කරගෙන උඩට එන්න ජවිපෙට උපක්‍රම තෝරන්න වෙයි. ඇත්තටම ජවිපෙ මේ ප්‍රශ්නය ගන්නේ නැති එක ගැන උභතෝකෝටිකයක් සමාජය ඇතුලේ තියනවා.ජවිපෙ කොහොමත් ඔය ප්‍රශ්න මඟහරිනවා.ඒ ක්‍රිකට් හින්දා නෙවෙයි.මේකත් එක්ක තියන ව්‍යාපාරික සම්බන්ධය හින්දා. ජවිපෙ ඔය හැම ව්‍යාපාරිකයෙක් එක්කම ගනුදෙනු කරලා තියෙන්නේ පක්ෂයක් විදිහට නෙවෙයි.

පක්ෂයක් විදිහට කරපු ගනුදෙනු සෝමවංශ ජවිපෙ ඇතුලේ දුර්වල කිරීමෙන් හතර දෙනාගේ කල්ලිය අවසන් කළා.දැන් ඔය සම්බන්ධකම් සියල්ල යන්නේ පෞද්ගලික හැඩයෙන්.අනුර ඇතුළු කණ්ඩායම වෙන වෙනම එයාලත් එක්ක කරන්නේ පෞද්ගලික ගනුදෙනු.අද එයාලගේ ප්‍රධාන යැපුම් මාධ්‍යය වෙලා තියෙන්නේ මේ රටේ ව්‍යාපාරික ජාලය.ආධාර වගේම කප්පම් හැටියටත් ඒ ගනුදෙනු සිද්ධ වෙනවා.දැන් ඒ සමහරක් පෞද්ගලික ගනුදෙනු පුපුරන්නත් පටන් අරන්.

සමහර ව්‍යාපාරිකයන් ඒ සම්බන්ධව රටේ ඉහළම තැන්වලට හෙලි කිරීම් පවා කරලා තියනවා. ඒක නිසා දැන් ජවිපෙ ව්‍යාපාරිකයන්ගේ දුෂණ ගැන සෝමවංශයේ කාලේ වගේ ඉදිරි පාදයේ පහරවල්වලට යන්නේ නෑ.ජවිපෙ දූෂණ වංචා සම්බන්ධව ඉන්නේ පසුපස පාදයේ ආරක්ෂිත පහරවල්වල.ක්‍රිකට් ප්‍රශ්නය රනිල්ට වගේම ජවිපෙටත් අවාසිදායකයි. සජිත් - රොෂාන් හවුල මේක සැලසුම් සහගතව කරපු බවට සාක්ෂි දැන් තියනවා.

ඒකට රාජපක්ෂලාගේ වක්‍ර සහයත් දැන හෝ නොදැන අරගෙන තියනවා.ඉක්මන් මේ තත්වය කළමණාකරණ කරන්න රනිල්ට සහ අනුරට බැරි උනොත් සජබය පිම්මක් ගන්න පුළුවන්.මෙතනදී රනිල් රොෂාන් සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාමාර්ගත් තීරණාත්මකයි.යම් විදිහකින් රනිල් රොෂාන්ගේ මොනවා හරි ක්‍රමයකට හිර කලොත්,සමහරවිට රොෂාන් කරපු දූෂණයක් අල්ලලා වෙන්නත් පුළුවන්,දැන් රොෂාන්ව කොනිත්තන්න කොනිත්තන්න රොෂාන් වීරයා වෙන එක නවත්වන්න බෑ.

මොකද රොෂාන්ගේ දුෂණ එලියට එන්නේ ෂම්මිගේ දුෂණ ගැන කතා කරපු හින්දයි.ඒ ගැන පරීක්ෂණ නොකර රනිල් රොෂාන් කොටු කරන්න හදනවා නං රනිල් හොරු රකින බව රනිල්ම රටට ඔප්පු කරලා පෙන්නවා.රොෂාන් දූෂිතයෙක් කියනවාට වඩා රනිල්ට ඒක භයානකයි.ඇත්තටම දැන් මේ රට හොරුන්ටම ගිය රටක් බව පැහැදිලියි.හොරු අතේ තමයි ෆයිල් තියෙන්නේ.මගේ හොරකම් ඇල්ලුවොත් උඹේ හොරකමත් අල්ලනවා කියන තියරියට අනුව සියල්ල සිද්ධ වෙනවා.
හොරු විතරක් නෙවෙයි හොරු අල්ලන්න එන අයත් හොරු.එයාලා හොරුන්ගෙන් පගාව අරගෙන කට පියාගෙන ඉන්නවා.හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලනේ කියන්නේ.අපේ රටේ සමස්ථ දේශපාලනයම වගේ දැන් හොරු සමඟ හෙළුවෙන්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
 
Advertiesment