Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


සෝහිත හිමි කරූට පැවරූ අත්හල නොහැකි වගකීම


2023-12-01 14324

 

2024 අවුරුද්ද මැතිවරණ වර්ෂයක් කියන එක දැන් කාටත් පැහැදිලියි. සමහරු ජනාධිපතිවරණය ටාගට් කරගෙන දුවනවා.තවත් සමහරු මහ මැතිවරණයක් ටාගට් කරගෙන දුවනවා.මේ මැතිවරණ දෙකෙන් කොයි එක ආවත් ඒක තමයි මේ රටේ දේශපාලනයේ ඊළඟ turning point එක.ඇත්තටම ඒ අවස්ථාව උදාවෙන්න තියෙන්නේ තව මාස කීපයක් විතරයි.මේ කෙටි කාලය ඇතුලේ ආරම්භ වෙන්න ඕනි දේශපාලන සංවාදය තවමත් අපේ සාමාජයේ පටන් අරන් නෑ.

තවමත් දේශපාලන නායකයේ ජනතාවට දේශනා කරන්නේ වැදි බණ.වැටුන රට හදන,රට ගොඩනගන සැලැස්මක් ගැන සාකච්ඡාවක් එන්නෙම නෑ "මට දෙන්න මම කරන්නං " කියන කතාව විතරමයි කොයි පැත්තෙනුත් එන්නේ.හැබැයි ඊළඟ මැතිවරණයත් එක්ක උඩට එන්න ඕනි රට හදන සැලැස්මක් ගැන අදහසක් ඉදිරිපත් වෙන්නේ නෑ.ඒක නිසා කවුරු කවුරුත් කොලේ වහලා ගහන්න හදන බව පේනවා.

රටේ රාළ හිතන්නේ විශේෂ යමක් සිද්ධ උනේ නැත්තං රනිල් ජනාධිපතිවරණයට යන්න තියන ඉඩ වැඩියි.කොහොම හරි ජනාධිපතිවරණයට පුද්ගලයෝ විදිහට රනිල්,සජිත් සහ අනුර ලෑස්ති වෙනවා. "2024 දී පවත්වන්නේ අවසන් ජනාධිපතිවරණයද? " කියන ලිපියෙන් රටේ රාළ රනිල්,සජිත්, අනුර ඇතුළු සියලු වෙන්ඩ ජනාධිපතිලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

ඒ තමයි විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනි කියන ස්ථාවරයේ ඉඳන් දේශපාලන කරපු, පක්ෂ සම්මේලනවල යෝජනා සම්මත කරපු,පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරපු ඔයාලා මේ පාර ජනාධිපතිවරණ තරඟයට එන්නේ මොන මූලධාර්මික පදනමක් මත පිහිටලාද කියලා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ මූලධාර්මික පදනමේ ඉඳන්ද?නැත්තං විධායකය ජනාධිපතිධූරය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනි කියන පදනමේ ඉඳන්ද..?

මොකද මේ රටේ ජනතාව අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඡන්දය පාවිචිචි කරලා තියනවා.ඒ මතය ජයග්‍රහණය කරවලා තියනවා.හැබැයි ඒ ජනමතයට මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් හිස නැමූවේ නෑ.ඒ වගේම කිසිම පාර්ලිමේන්තුවක් ඒ මතයට හිස නැමුවෙත් නෑ.ඒක නිසායි රටේ රාළ බළකාය රනිල්ගෙන් වෙනමත්, සජිත්ගෙන් සහ අනුරගෙන් වෙනමත් අනිත් අපේක්ෂකයින්ගෙන් වෙනමත් ඉල්ලන්නේ එයාලගේ ස්ථාවරය කියන්න කියලා.

තවදුරටත් මේ රටේ ජනතාව ඔය ප්‍රශ්නය සම්බන්ධව රැවට්ටන්න දෙන්න බෑ.එයාලට ඕනි නං කියන්න පුළුවන් අපි විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියන ප්‍රතිපත්තියෙන් අයින් වුනා, අපි දැන් රට හදන්න යන්නේ විධායක ජනාධිපතිධූරයත් තියාගෙන කියලා.එතකොට ජනතාවට හරි ලේසියි එයාලා සම්බන්ධව තීරණයක් ගන්න. එහෙම නැතිව විධායක ජනාධිපතිධූරය ස්ථාපිත කරපු මොහොතේම අනිත් පැත්තට නිර්මාණය උන,අවස්ථා ගනණාවකදී මේ රටේ මහජන මතය බවට පත්වුන විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන් පාඨය අමතක කරලා යන්න නං ලැස්ති වෙන්න එපා.

ඒක මඟ හැරලා,නැත්තං අර ඔයාලගේ කවදාවත් එලියට ගන්නේ නැති හොරකමේ ෆයිල් තියන පෙට්ටියේ අඩියට දාලා වහලා නං යන්න ලෑස්ති වෙන්න එපා.මොකද රටේ රාළ බළකාය ඒ සටන් පාඨය මඟ හාරලා යන්න ඔය කාටවත් ඉඩ දෙන්නේ නෑ. ඉතිහාසයේ සිද්ධ උන වරද නිවැරදි කරන්න ඕනි.ඒවා පවත්වාගෙන ගිහින් තව පරපුරකට බාරදෙන්න ඕනි නෑ.ඒක නිසා විධායක ජනාධිපතිධූරය සම්බන්ධ ඔයාලගේ මතය කියලා ඒක ජනමතය ඉස්සරහා අභියෝගකට ලක් කරමු.

රටේ රාළ විශ්වාස කරන්නේ තවමත් මේ රටේ ජනතාව විධායකය ජනාධිපතිධූරයට විරුද්ධයි කියලයි.විධායකය ජනාධිපති ධූරයෙන් මේ රටට දීලා තියන අයහපත් දේවල් ගොඩක් තියනවා.විධායකය විසින් ව්‍යවස්ථාදායක ඇතුළු සියල්ල යට කරපු තනි පුද්ගල පාලනයක් තවදුරටත් මේ රටට අවශ්‍ය නෑ.ඒ අත්තනෝමතිකත්වය හරහා තමයි රාජපක්ෂලාගේ වගේ තක්කඩි පවුල් පාලනයන් මේ රටේ බිහිවුනේ.දූෂිතයන් රකින පාලනයන් බිහිවුනේ.

නීතියට උඩින් ඉන්න පාලකයන් බිහිවුනේ.ඒක නිසා විධායක ජනාධිපතිධූරය සම්බන්ධව අපේ රටේ ජනතාවගේ තවමත් තියෙන්නේ දැවැන්ත විරෝධයක්. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න විධායකය වගේම ව්‍යවස්ථාදායකයේ මැදිහත්වීමත් රටේ ජනතාවගේ සහභාගීත්වයක් ඕනි.හැබැයි ඒක කරන්න මේ ජනාධිපතිටවත් මේ පාර්ලිමේන්තුවටවත් බෑ.ඒකට මේ ජනාධිපති සුදානම් නෑ වගේම ඒකට මේ පාර්ලිමේන්තුවත් සුදානම් නෑ.

ඇත්තටම මේ පාර්ලිමේන්තුවෙන් ඒක කරගන්න තිබුණ අවස්ථාව අරගලය පවාදීමත් එක්ක විනාශ වෙලා ගියා.නැත්තං අඩුම ගානේ 21 වෙනි සංශෝධනයෙන් එහාට ගිය ජයග්‍රහණයක් මේ රටට දිනාගන්න තිබුණා.ඒ වගේම ඒ වැඩේ කරන්න දැන් කාලයකුත් නෑ.ඒක නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිමේ වගකීම පැවරෙන්නේ ඊළඟට පත්වෙන ජනාධිපතිවරයාට සහ ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුවට.

ඊළඟට එන ජනාධිපතිවරණයේදී පැහැදිලි එක සටන් පාඨය විදිහට විධායකය ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන් පාඨයත් තියනවා.ඒක ගන්න කදවුර මොකද්ද කියලා තවම පැහැදිලි නෑ.ඒ සටන් පාඨය ගන්න කදවුරට හැබැයි ලොකු වගකීමක් තියනවා.මොකද විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන් පාඨය යොදාගෙන තව සැරයක් රැවටෙන්න මේ රටේ ජනතාව ලෑස්ති නෑ.ඒක නිසා එයාලා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම අදාල ක්‍රමවේදය සහ කාල රාමුව රටට කියන්න ඕනි.

ඇත්තටම මෙතනදී වෙන්න ඕනි විධායක ජනාධිපතිධූරය අහෝසි කරපු නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන එකයි.ඒක කරන කදවුරට පුළුවන් තමන් ගේන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ දල ආකෘතියක් රටට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒක කරන කාල රාමුවත් ඉදිරිපත් කරන්න පුළුවන්.මොකද ජනාධිපතිවරණය ඉස්සෙල්ලා තිබ්බොත් ඊළඟ පාර්ලිමේන්තුව පත්වෙන්න යම් කාලයක් යනවා.

හැබැයි ජනාධිපතිවරණය ඇතුලේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියන ජනමතය ගන්න පුළුවන්.ඒක ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට යද්දී මතයක් විදිහට තහවුරු වෙලා තියන එක හොඳයි. මහ මැතිවරණයේ නැවත විධායක ජනාධිපතිධූරය අහොසි කිරීම නැවත ජනවරමකින් තහවුරු කරගන්න පුළුවන්.ඊට පස්සේ මේ ජනවරම් දෙකට පිටුපාන්න නව ජනාධිපතිටවත්,නව පාර්ලිමේන්තුවටවත් බෑ.ඒක නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම කියන එක නව ජනාධිපති පත්වෙලා අවුරැද්දක් ඇතුලත කරන්න පුළුවන්.

ඊට වඩා පහුවෙන්න බෑ.මොකද පහු වෙච්චි ගමන් ඒක තවත් නොකෙරෙන සටන් පාඨයක් බවට පත් වෙනවා.විධායකය ජනාධිපතිධූරය අහෝසි කරපු නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාල කෙටුම්පත් ගණනාවක් දැනට ඉදිරිපත් වෙලා තියනවා.ඒ වගේම ඒ කෙටුම්පත් අධ්‍යයනය කරමින් නව කෙටුම්පතක් නිර්මාණය කිරීම කරූ ජයසූරියගේ සාධාරණ සමාජයක් වන ජාතික ව්‍යාපාරය විසින් මේ වනවිටත් කරමින් ඉන්නවා.

ඒ සමිබන්ධව දේශපාලන පක්ෂ එක්ක එයාලා සාකච්ඡාව කරමින් ඉන්නවා.එදා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඉදිරියට ගෙනාපු විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන තවදුරටත් කරූ ජයසුරියගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනියමින් තියනවා.ඇත්තටම රටක් විදිහට ඒක සතුටු විය හැකි කාරණයක්.සෝහිත හාමුදුරුවන්ගෙන් පස්සේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය කරූට ලැබෙනවාත් එක්කම විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අත්හල නොහැකි වගකීමත් කරූට පැවරිලා තියනවා. 
ඇත්තටම කරූ කියන්නේ අද ඒ සටනේ ප්‍රබල සෙන්නතියෙක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
Advertiesment