ශ්‍රී ලංකාවට ලැබූ හෙනහුරා තවම අප බදා ගෙනය. රට බංකොලොත්ය. ජීවන බර අහස උසටය. රටේ මෙන්ම මිනිසුන්ගේ ආදායමත් රිම් එකෙන්ය. පොඩි ජොලියකට තිබූ ක්‍රිකට් නන්නපෝල්ය. කණ්ඩායම ලෝකයේ අන්තිමයාය. රටේ ක්‍රිකට් ද දැන් තහනම් වී තිබේ.
ඒ අස්සේ රජුගෙන් ගේම ඉල්ලූ ඇමති රොෂාන්ට ස්වීප් එක ඇදී තිබේ. ජනපති ඔහුගෙන් පැන දෙකක් විමසා තිබේ. විපක්ෂය සමග එකතුව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලයට කතා කළේ හා මහවැලි ඉඩම් දේශපාලන හිතවතුන්ට බෙදා දුන්නේ ඇයිද යන්න ඒවාය. ඒ තුළ ඉවතට විසි කළ ඇමති රොෂාන් වැටුණේ කුණු බක්කියට ද ජනතා ඔඩොක්කුවට දැයි කීමට තවම කල් මදිය.
වහාම ඔහු ඉවත් කරන්නට මීට මසකට පෙර ජනපති ලිපිය පවා සූදානම් කළ ද අයවැය හා කීප දෙනෙකුගේ ඉල්ලීමට එය පමා විය. මුළු පාර්ලිමේන්තුවම ක්‍රිකට් මාෆියාව සුද්ද කළ යුතු බව ඒකමතිකව කියද්දී, ජවිපෙ පමණක් එතන හිට නොගැනීම හා රොෂාන්ට පහරදීම සමාජය කුළ සංවාදයට ලක් වුණා මදිය. රොෂාන්ගේ ඇමතිකමට කෙල හලන අය දුසිමකි. එය ජනපති යටතේම තබා ගැනීමට තීන්දුවී තිබෙන බව මුලදී කියවුන ද පසුව එම වගකීම් හරීන් හා පවිත්‍රා අතර බෙදාදී තිබේ.
96 දී අර්ජුනලා 2014 දි මාළිංගලා ලෝක කුසලාන නොගෙනාවා නම් එක අතකට ක්‍රීකට්වලට මේ විනාශය සිදු වන්නේ නැත. ක්‍රිකට් සල්ලි බෙදා ගැනීමට බැරිව එදා සිට මහ පොරයකි. කාලීන අර්බුදයට පාර්ශව දෙක හේතු දෙකක් පෙන්වති. ක්‍රිකට් ගසා නැති හොරු පිරිසක් ආයතනයට වැදී ක්‍රිකට් කනත්කට ගියද ඔවුහු හොරකම් කරතියි ඇමති පාර්ශවය කියති. ක්‍රිකට් බේරා ගැනීමට හොරු පන්නා අතුරු කමිටුවක් දැමූ බව ද ඇමතිගේ තර්කය වේ.
පැන්නූ පිරිස උසාවි නියෝගයකින් යළි තාවකාලිකව බලය ලබා ගෙන තිබේ. ක්‍රිකට් ආදායමෙන් 20% ක් ක්‍රීඩා අරමුදලට ඉල්ලා එය නොදුන්විට ඇමතිට මල පැන වලිය පටන් ගත් බවත් ඔහුට ඒ වන විටත් රුපියල් මිලියන 290ක් දී ඇති බවත් එය වැය කළ අයුරු ගැන කිහිප වරක් විමසුවද තවම නිසි විගණන වාර්තාවක් ලබා නොදුන් බවත් ක්‍රිකට් ආයතනයේ ප්‍රති තර්කය වේ. කොහොම ගත්තද ක්‍රිකට් වලියේ ගැඔුරුම හේතුව මුදල්වලට මරා ගැනීම බව පැහැදිලි ය.
ඇමති ජාත්‍යන්තර මට්ටමේ හොද බිස්නස්කාරයෙකි. රජයේ මුදලින් කිසිදු පඩියක් රට සවාරියක් හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන බව ඔහු කියයි. එය ඉතා ආදර්ශමත් වැඩකි. තමා ඉපදෙන විට ගෙදර කාර් 04 ක් තිබූ බව සංඝදාස මුදලාලිගේ පුතා ෂම්මි ද කියයි. එහෙත් මේ වලියෙන් ක්‍රිකට්වලට කෙලවී තිබේ.
දඔුල්ලේ රාත්‍රී ක්‍රිකට් ගැසීමට කණුවල ලයිට් දැමීමට පමණක් ලක්ෂ 15,000 ක් වැය කොට ඇති බවත් T-20 ලෝක කුසලානෙට ගොස් එම බිල් ICC එකෙන් මෙන්ම ලංකාවෙන් ද ගත් බවත් කාන්තාවන් හා තව අය එහි ගෙන ගොස් මුදල් වැනසූ බවත් තවද ක්‍රිකට් තහනම හොර ලියුම් ලියා බලෙන් ලබා ගත් බවට ද ඇමති එල්ල කරන චෝදනා අතර මූලිකය. ක්‍රිකට් අය ඒවාට තාම පැහැදිලි උත්තර දුන් බවක් පෙනෙන්නට නැත.
අර්ජුන ක්‍රිකට් ආයතනයේ බලය ලබා ගැනීමට ඇති කෑදරකමෙන් ඇමතිට දුන් ලනු කෑම තුළ සියල්ල සිදුවී තිබෙන බවත් ඉන්දීය පාලක මණ්ඩලය සෙසු ක්‍රීඩාවලට තම ආදායමෙන් 20% ක් නොදෙන බවත් ඡන්දයෙන් පත්වූ ලංකාවේ ක්‍රිකට් අයට දේශපාලන බලපෑම් කිරීම ගැන ICC දැනුවත් කරන්නට ලියුම් ලීවා මිසක ලියුම් ලියා තහනම බලෙන් ලබා නොගත් බවත් ෂම්මිගේ කඳවුර කියයි.
කෙසේ නමුත් දකුණු අප්‍රිකාවේ පකිස්ථානයේ අතුරු කම්ටු හා ඇෆ්ගනිස්ථානයේ ගැටලු ලංකාවට ගැලපීමට ඇමති පාර්ශවය උත්සාහ කළ ද ඒවා මෙරට අර්බුදය සමග ගැලපිය නොහැකි බව ඇමති හා අර්ජුන තේරුම් ගත යුතුය. මන්ද එම අතුරු පාලන ඇති වූයේ එම රටවල සිදුවූ ජාතික දේශපාලන පරිවර්ථන හේතුවෙනි.
හොරු එළවීම වැදගත්ය. එහෙත් ක්‍රිකට් පිළ ලෝක කුසලානයේදී සාර්ථක වූවා නම් ඇමති මෙසේ හොරු එළවන්නට ඉදිරි පාදයේ ක්‍රියා කරාවිදැයි සැකයකි. ඒ තුළ ක්‍රිකට් පිළේ අසාර්ථක බව ගොස් ඇත්තේ ක්‍රීඩකයන් පිටින් නොව නිලධාරීන්ගේ පිටිනි. නාකි නිලධාරීන් ක්‍රිකට් මුදල් කාබාසිනියා කරමින් නාමර ගැහැණුන් සමඟ ආතල් ගනිද්දී ක්‍රිකට් පිළ ද කළේ ක්‍රිකට් ගැසීමට වඩා ආතල් ගැනීම බවට පොදු තර්කයක් ගොඩ නැගී තිබේ. ක්‍රීඩකයන් මත්පැන් හා සිගරැට් බිබී රෑ 12 ට විදෙස් වීදි වල සැරිසැරීමත් කාන්තාවන්ට බලහත්කාරකම් කරමින් හිරේ වැටීමට හේතුවත් නිලධාරීන් දුන් වැරදි ආදර්ශ බවට ද සමාජයේ මත ගොඩනැගී තිබේ. ඒවා බැහැර කළ නොහැකි බව ද පෙනේ.
එහෙත් ඊට විකල්ප ලෙස පැමිණෙන්නේ බෝ පැළ ද යන පැනයද පැන නගී. ඔවුන් කුඩා කල රටේ බඩු හිගයක් තිබූ සමයක සමූපකාරවලින් එම නිවසට හොර පාරෙන් ගෙනා ආහාර ගෝනි දේශපාලන හේතු මත එම නිවෙස ගිණි තැබූ විට ගිණි ගත් අයුරු ගැන අදද සමහරු කතා කරති. තවද ක්‍රිකට් ප්‍රවීණයා රටේ පළමු කෝටිපතියන් 10 අතර සිටින්නේ කවර බිස්නස් කරලාදැයි අහන අයද එමටය. එසේම ඔහු ක්‍රිකට් ආයතනයට පැමිණි විගස එම සහෝදරයන් රොත්තම ආයතනය ආක්‍රමණය කරාවි යයි ද තර්ක පවතී. එම එක් සහෝදරයෙක් එකල ක්‍රිකට් ආයතන ලේකම් ලෙස සිටියදී කල කී වියදම් මෙන්ම ආයතනය බංකොලොත්වීම ගැනද පවතින්නේ අදුරු අතීතයකි. තවද විකල්ප ක්‍රිකට් බෝ පැළය හා එම සොයුරන් වරාය අධිකාරියේ තනතුරු දරද්දී රජයේ මුදලින් වාජීකරණ බෙහෙත් ලක්ෂ ගණනක ගෙනැත් මාට්ටුවූ බව ද නොරහසකි. තවද එම පාර්ශවයේ දේශපාලන බලවතාට වාහන ගේම්වලට චෝදනා එල්ල වන පසුබිමක් ද පවතී. මෑතකදීද දඔුල්ලේ දී ඇල්ලූ වාහනයක් ගැන විශාල ගැටලු පවතින බව ද කියවේ. තවද ක්‍රිකට් ගේම පටන් ගත්තේ හොරු පන්නා ක්‍රිකට් ගොඩ දැමීමට වඩා ඉන්දීය සාස්තරකාරයෙකු විසින් ක්‍රීඩා දේශපාලන බලවතාට රජ වීමට තිබෙන බවට කී අනාවැකියක් නිසා බවට ද මතවාද පැතිරේ.
තවද මීට කලෙකට පෙර ක්‍රිකට් ප්‍රධානීන් කීවේ ණය කන්දක් සමඟ බංකොලොත් ආයතනය බාර ගත්තද දැන් ඩොලර් මිලියන 45 ක් පමණ තිබෙන බවය. අර්බුදය පැමිණිවිට මෑතකදී කීවේ ඩොලර් මිලියන 23 ක් තිබෙන බවය. ඊට සති දෙකකට පසු කීවේ ඩොලර් මිලියන 30 ක් තිබෙන බවය. එසේම අතුරු පාළක මණ්ඩලය පිහිටවූ සැනින් ඩොලර් මිලියන 03 ක එනමි රුපියල් කෝටි 97 ක හදිසි චෙක්පත් ලියා ඇති බවටද චෝදනා පවතී. මෙම පසුබිම ද දැඩි අවධානයට බදුන් විය යුතු බව නොරහසකි.
ක්‍රිකට් මුදල් එකට රසවිදි සියලු දෙනා තවම එක පොදියට එය අල්ලා ගෙන සිටියද ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ගින්න පත්තු වෙන විටම ඉවත්වී ඔස්ට්‍රේලියාවට පැන ගත්තේය. එම ආයතනය තුළ සිදුවූ බොහෝ දේ ගැන කලකිරී සිටි බවත් සියල්ල එළි කරන බවත් ඔහු තමාට ඇමතුමක් දී කියා සිටි බවත් ඇමති කීය. මේ ගැන ක්‍රිකට් ප්‍රධානීන්ගෙන් විමසූ විට කීවේ වැරැදි සිදුවූ බව ඔහු කියයි නම් ඒ සියල්ලටම ඔහු ද චූදිතයෙකු බවය. ඔහු විදේශ ගත වූයේ ක්‍රිකට් අර්බුදය නිසා නොව අසනීප තත්වයක් නිසා යයි ද එම ප්‍රධානීන් කියයි.
ක්‍රිකට් අර්බුදයද ආර්ථික අර්බුදය මෙන් දිගට ඇදී යා යුතු දෙයක් නොව වහා විසදිය යුත්තකි. එය එසේ වෙන බවක් නොපෙනේ. ක්‍රිකට් වෙතින් පාලක පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ඇතැමුන්ට ඊළග මැතිවරණවලදී කෝටි සිය ගණනක කප්පමක් දීමට පොරොන්දුවීම අර්බුදය එක තැන පල්වීමට තවත් හේතුවක් බවට තර්ක කරන අය ද සිටිති. එහෙත් පටු අරමුණු වෙනුවෙන් කවුරුන් හෝ ක්‍රිකට් ආරවුල විසඳීම කාලයට බාරදී ගේම් ගැසුව හොත් එය ආර්ථික අර්බුදයට එහා ගිය ගිණියම් ජනතා ප්‍රතිචාරයක ඉලක්කයක්වීමේ ඉඩකඩ වැඩි බව මුදලට මරා ගන්නා සියලු දෙනා තේරුම් ගැනීම වැදගත්ය. ඇමති ඉවත් කිරීමේ වේගයට වැඩි වේගයකින් ක්‍රිකට් බේරා ගැනීමට ප්‍රමුඛත්වය දිම අත්‍යවශ්‍ය බව ද බලවතුන් දැන් තේරුම් ගත යුතුව තිබෙන්නේ එහෙයිනි.
Lanka Newsweek © 2024