Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


ජන සභාවලට කුඩම්මාගේ සැළකිලිද..?


2023-11-21 14318


රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විදිහට පත්වීමෙන් පස්සේ ජාතිය අමතමින් කිව්වේ මේ රටේ ආර්ථිකය හදනවා.රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලයි.තුන් වේල කන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලත් කිව්වා.රනිල්ගේ ඒ ජනප්‍රිය සටන් පාඨ ඇතුලේ තිබුණ තවත් සටන් පාඨයක් උනේ "ජනසභා " නම් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ලංකාවේ දේශපාලන දේහයට එකතු කරනවා කියලයි.

ජනසහා සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ (NMSJ) හිටපු සභාපති මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ.කොහොම උනත් ජනසභා යථර්යක් කරගන්න එදා NMSJ එකට බැරිවුනා.සෝභිත හාමුදුවන්ගේ අපවත්වීමත් ඒකට බලපාන්න ඇති.ආය සැරයක් ජනසභා සංකල්පය ඉදිරිපත් වෙන්නේ ලාංකීය සමාජය ඇතුලේ නිර්මාණය උන වෙනස්ම දේශපාලන සන්දර්භයක් ඇතුලේ සිටයි.මේ පාර ජනසභා සංකල්පය කරලියට එන්නේ ගෝල්ෆේස් අරගලයත් එක්ක.

ගෝල්ෆේස් අරගලකරුවා විසින් ඉල්ලා සිටිය system change එකත් එක්ක එකට ගැට ගැහුණු ජාතික මතවාදයක හැඩයෙන්.මේ පාරත් ජනසභා සංකල්පය ඉදිරිපත් කරන්න මූලික වෙලා කටයුතු කළේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයම තමයි.හිටපු කතානායක කරූ ජයසූරියගේ සභාපතිත්වයෙන් යුක්ත  සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අරගල කණ්ඩායම්වල මතවාද සම්බන්ධව රටේ උගතුන්,බුද්ධිමතුන්,ව්‍යාපාරිකයන්,රාජ්‍ය සේවකයන්,පීඩිත සමාජ කොටස් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සමාජ බලවේග එක්ක කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි නවීකරණය කරන ලද ජනසභා සංකල්පය නැවත උපදින්නේ.

ඇත්තටම ජනසහා කියන්නේ සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක්.සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ සංකල්පය කියන්නේ ඉතා  දිගු ඉතිහාසයක් සහ දිගු අනාගතයක් තියන දියුණු සංකල්පයක්. අසල්වැසි ඉන්දියාවේ පංචායත් සභා කියන්නේ ප්‍රාන්ත ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක්. ඉන්දියාව ඒ තුලින් මේ වෙනකොට මහා ආර්ථිකය පිම්මක් සහ දේශපාලන පිම්මක් පැනලා තියනවා.ලෝකයත් එක්ක තරඟ කරන්න ඉන්දියාවට හයිය දෙන එක ආයතනික ව්‍යුහයක් තමයි පංචායත් සභා කියලා කියන්නේ.

ඉන්දියාවේ විතරක් නෙවෙයි නැගෙනහිර ආසියාවේ බොහෝ රටවල සහ බටහිර දියුණු රටවලත් සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති විවිධ හැඩයෙන් විකාශණය වෙලා තියනවා.එයාලා ඒවා තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යමින් ඉන්නවා. ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීම හරහා තමයි යුක්ති සහගත ආණ්ඩුකරණ ක්‍රියාවලියක් නිර්මාණය වෙන්නේ.ඒ වගේම ජනතාව ආර්ථික ක්‍රියාවලියට ගැට ගසා ගැනීම ඇතුලේ තමයි ශක්තිමත් ආර්ථික පදනමක් දාගෙන ඒ මත ඉදින් නැගිටින්න පුළුවන් වෙන්නේ.

මේ ආකාර දෙක රටේ සමාජ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගත්ත රටවල් තමයි ලෝකය ජයගත්තේ.ඒක කරගන්න ධෛර්යය තිබ්බ නැති අපි වගේ රටවල් තමයි තවමත් හොම්බ බිම ඇණගෙන ඉන්නේ.නිදහසින් පස්සේ අපිට හිමිවුණ ධනවාදය ඇතුලේ අපට හිමිවුන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව පටන් ගත්ත සාකච්ඡාව තවමත් ඉවරවෙලා නෑ.අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න යෝජනා ඉරිපත් කරන්න විවිධ කාලවකවානුවලදී පත්කරපු විද්වත් කමිටුවලින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක අවශ්‍යතාවය ගැන කතා කරලා තියනවා සහ ඊට ක්‍රමවේද යෝජනා කරලා තියනවා.

හැබැයි මේ යෝජනාවලින් ඉතාමත් අල්ප කොටසක් විතරයි ක්‍රියාවට නැංවිලා තියෙන්නේ.පලාත් පාලන ක්‍රියාවලියට සීමිත කොටසක් එකතු වෙලා තියනවා.තවමත් අපේ රටේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ නිම නොවුන කාර්යභාරය ගොඩක් වැඩියි.ඒ අරමුණ මත පදනම්ව තමයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ජනසභා සංකල්ප නැවතත් කරලියට ගේන්නේ.මුලින්ම ජනසභා සම්බන්ධ සංකල්ප පත්‍රිකාවක් ජනාධිපති රනිල්ට ඉදිරිපත් කරලා තිබුණා. ඒක පදනම් කරගෙන වෙන්න ඕනි රනිල් පාර්ලිමේන්තුවේදී ජනසහා ස්ථාපිත කරනවා කියලා කියන්නේ.කොහොම උනත් ජනසභා පනත දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අගමැති දිනේෂ්ගේ මූලිකත්වයෙන් කැබිනට් අනු කාරක සභාවකට යොමු කරලා තියනවා.දිනේෂ්ලටත් ඉතින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගැන අමුතුවෙන් උගන්නන්න ඕනි නෑ.කරනවා නං,උවමනාව තියනවා නං, සද්භාවය තියනවා නං කරන්න පුළුවන්.

ඇත්තටම රනිල් ඒකේ ඉදිරි පියවරයක් තියලා ජනසභා ලේකම් කාර්යාලය ස්ථාපිත කළා.මේ දක්වා ජනසභා වැඩපිලිවෙල සම්බන්ධව සියලු කටයුතු සිද්ධ වුනේ ජනසභා ලේකම් කාර්යාලය හරහා.දිස්ත්‍රික්ක මට්ටමින් නිලධාරින් සහ ප්‍රජාව දැනුවත් කිරීම පහුගිය කාලේ සිද්ධ වුනා.ඒ වගේම දැනටත් දිස්ත්‍රික්කයකට එක බැගින් ආදර්ශ ජනසහා පිහිටවලා ක්‍රියාවලිය ඉස්සරහට යමින් තියනවා.මේ පාර අයවැයෙන් ජනසහා ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 700 ක මුදලක් වෙන් කරලත් තියනවා.

ඇත්තටම ඒක හොඳ ආරම්භක පියවරයක්. දැන් කරන්න තියෙන්නේ ජනසභා ලේකම් කාර්යාලය හරහා මේ සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ශක්තිමත් කිරීම සහ රට ඇතුලේ කඩිනමින් ස්ථාපිත කිරීමයි. ලංකාවේ ග්‍රාම නිළධාරි වසම් සියල්ල ආවරණය වෙන විදිහට ජනසහා ස්ථාපිත කිරීමයි.ඒ හරහා ගම තුල ඉන්න තරුණ, කාන්තා,වැඩිහිටියන් සහ රාජ්‍ය නිලධාරීන් සංවිධිත ඒකකයක් ඇතුලට ගේනවා.සංවිධිත ගමක් සහ සංවර්ධිත ගමක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගමේ හැකියාවන් යොදා ගැනීම ජනසභා හරහා කරන්න පුළුවන්.

ජනසහා සංකල්පය ඇතුලේ ගමේ හැම ප්‍රශ්නයකටම විසදුම් තියෙනවා.ජනසභා සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයකට සහභාගී වෙන්න රටේ රාළටත් අවස්ථාව ලැබුණා.නිර්දේශපාලනිකව ක්‍රියාත්මක ව්‍යාපෘතියක් නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සියලුම නිළධාරීන් ජනසභාවලට එකඟතාවය පළ කලා.ඒ වගේම ගමේ සිවිල් සංවිධානවල සහයෝගයත් මහ ඉහලින් තිබුණා.

ගොඩක් දෙනෙක් කිව්වේ ඉක්මනින් ජනසභා ක්‍රියාත්මක කරන්න කියලයි.මුලදී ජනසභා සම්බන්ධව ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ බයක් තිබුණාත් ඡනසභාවලින් සිද්ධ වෙන්නේ මහජන නියෝජිතයන් සහ ගමේ ජනතාව සහයෝගයෙන් කටයුතු කිරීම බව වැටහීමත් එක්ක ඒ බය තුරන්වෙලා ගියා.ගමේ ජනතාව එක්ක එකතු වෙලා ගමේ සංවර්ධන සැලැස්ම හදලා තමන් නියෝජනය කරන මහජන නියෝජිත ආයතනය හරහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම මහජන නියෝජිතයන්ට තියනවා.

හැබැයි මේ ව්‍යාපෘතිය ගැන නොදන්න අය අහන ප්‍රශ්නයක් තමයි පලාත් පාලන ආයතන සක්‍රීයව නැති තත්වයක් යටතේ ඇයි ජනසභා ලේකම් කාර්යාලයට මිලියන 700 ක මුදලක් වෙන් කරලා තියෙන්නේ කියලා.ඇත්තටම පලාත් පාලන ආයතනය සහ ජනසභා කියන්නේ ව්‍යුහයන් දෙකක්.මේ ව්‍යුහයන් දෙක එකිනෙකට සහයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා.පලාත් පාලන ඡන්දය තියලා මන්ත්‍රී පත්වෙනකං ජනසභා පිහිටවන්න ඉන්න ඕනි නෑ.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල තියනවා.ඒ වගේම කොමසාරිස් යටතේ ක්‍රියාත්මක වෙන ප්‍රාදේශීය සභාවත් තියනවා.

ඇත්තටම හරියට මේ මුදල පාවිච්චි කරලා ලබන අවුරුද්ද ඇතුලේ ජනසභා ඉලක්කයට ගෙනියන්න පුළුවන් නම් ඒක අපේ රටේ අනාගත සමාජ සංවර්ධනය වෙනුවෙන් කරන දැවැන්ත ආයෝජනයක් වේවි.ජනසභා හරහා ග්‍රාම්ය ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ජනසභා ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 700ක් වෙන් කළේ ඇයි කියලා අහන අයට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියන දැනුම ගැන රටේ රාළටත් ප්‍රශ්නයක් තියනවා. 
හැබැයි ඔය කාගෙ කාගෙත් පෞද්ගලික, ජාවාරම්කාරී සහ ප්‍රචාරක ව්‍යාපෘතිවලට නං ජනසභා යොදා ගන්න බෑ.

අපේ රටේ දේශපාලනය ඇතුලේ තියෙන්නේ මන්ත්‍රී වන්දනාව කියන පරණ system එක change කරන්න ජනසභා කියන්නේ ඉතාමත් හොඳ ව්‍යුහයක්.වන්දනාව වෙනුවට ජනසභා ඇතුලේ තියෙන්නේ සහයෝගය සහ විවෘතභාවය.ජනසභා හරහා වෙන්නේ මන්ත්‍රී ගෙනත් දෙනකං බලා ඉන්නේ නැතිව ජනතාව තමන්ගේ ස්වශක්තිය මත පිහිටලා කටයුතු කිරීමයි.රජයේ නොවන ව්‍යාපෘතිය උනත් ක්‍රියාත්මක කරන්න හොඳම ආයතනය තමයි මේ යෝජිත ජනසභාව.ඒක නිසා ජනසභා ඉක්මනින් සක්‍රීය කිරීම රනිල් ඇතුළු කැබිනට් මණ්ඩලයේ වගකීමක්.

ඉක්මනින් ජනසභා පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරදීම අගමැති දිනේෂ් ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කාගේත් යුතුකමක් සහ වගකීමක්.ජනසභා සම්බන්ධව කාටහරි නිශ්චිත අදහසක් නැත්තං හොඳම වැඩේ නොදන්න ජනසහාවලට ගල් ගහන එක නෙවෙයි,ජනසභා ලේකම් කාර්යාලයට කතා කරලා ඒ ගැන දැනුවත්වීමයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
 
Advertiesment