විවෘත ආර්ථිකය ලංකාවට ආවොත් හැමෝම කොමිස් ගහවිය හොරකම් කරාවි යයි 77 දී එවකට විපක්ෂය කීවේය. එය එක අතකට හරිය. තව අතකට එය ඔවුන්ට බලය ලබා ගන්නට බැරි තැන කී දුක් ගීයකි.
ලංකාවට විවෘත ආර්ථිකය ගිණි බෝම්බයක් හා හොරුන්ට පාරාදීසයක් වූයේ මේ රටේ නිවැරදි "සිස්ටම්" එකක් නැති නිසාය. එහෙත් අපට පසු එම ක්‍රමය වැළඳගත් ඉන්දියාව පවා අද ලෝකයේ පස්වන බලවතා බවට පත්ව තිබේ. ලංකාවේ එම ක්‍රමය අනුගමනය කළ එවුන් කළේ රටට වඩා තමන් හැදීමය.
77 සිට එය ක්‍රමිකව වර්දනයවී 2009 යුද ජයෙන් පසු ජයටම කෙරිණ. 2015 සිට ද සිටියේ බෝ පැළ නොවේය. එහෙම ආ රට 2022 දී අන්තයටම බංකොලොත්වී නන්නපෝල් විය. ඊට බලපෑ ප්‍රධානම කරුණු වූයේ අකාර්යක්ෂමතාව නාස්තිය හා හොරකම මෙන්ම වසරකට කෝටි 70,000 ක් බදු අතහැරීම හා අදත් රටට නිවැරදි සිස්ටම් එකක් නැතිකමය.
රාජ්‍ය පාලනය කළ එවුන් රට බූදලයක් ලෙස ගසා කන පසුබිමක ක්‍රිකට් කරවූවන් කල්පනා කළේ අප ද ගේමක් ගසා කෙටි පාරෙන් ගොඩයා යුතු බවය. මීට වසර 10 -15 කට පෙර ඇරඹි එම හොරකම මෑතකදී ඔඩු දුවන පසුබිම දක්වා වර්ධනය වූ බව කෝප් කමිටු හා විගණන වාර්තා මෑතකදී කියා පෑවේය.
මෙතෙක් සිටි ක්‍රීඩා ඇමතිවරු කළේ ද එම "ක්‍රිකට් හොරකම" නම් ගඟෙන් ඔවුන්ද හොදට සප්පායම්වීමය. එහෙත් වත්මන් ක්‍රීඩා ඇමති ඊට වඩා වෙනස් බව පෙනී යයි. ඔහු සැබැවින්ම අවංක ද නැති නම් ක්‍රිකට් එවුන් හා හරියට සෙට් වී ගේම ගැහීමේ අවකාශ ඔහුට අහිමි වූයේද යන්න දන්නේ නැත. එහෙත් ඇමති රොෂාන් යනු අකුරැස්සේ පරපුරකින් පැවත එන පොලොන්නරුවේ පැළවූ රූස්ස ගසකි. ඔහු ජපානය හා කළ වාහන බිස්නස්වලින් කෙටි කලකින්ම කෝටිපතියෙකුවී රටවල් රැසක වාහන අංගන තනා ජීවිතය ගොඩගිය අයෙකි. ඒ තුළ ඔහු අවංකව ක්‍රිකට් හොරුන්ගෙන් ගේම ඉල්ලූ බව ට උපකල්පනය කළ හැකිය.
තවද ඉන්දීය සාස්තරකාරයෙකු කී දේශපාලන අනාවැකියක් මත රොෂාන් රාජයෝග උරගා බැලීමට ක්‍රිකට් හොරුන්ගෙන් ගේම ඉල්ලූ බවට ද මතයක් තිබේ. එහෙත් ජනපති හා කැබිනට් එකට ද වංගු ගසා ඔහු රහසේම ගේම ඉල්ලුවේ ගේම එළි වුව හොත් හොරු රැකවරණ ලබා විය යන සැකය තුළ ද නැත හොත් වෙනත් න්‍යාය පත්‍රයක් තුළ ද යන්න පැහැදිලි නැත. ඔහු ගත් පියවරට ජනතාව එකඟය. සමස්ත පාර්ලිමේන්තුවට ද අකමැත්තෙන් හෝ එකඟ වන්නට සිදු විය.
එහෙත් රොෂාන් රහසේ ගැසූ ගැසට් එකේ හිල් බව ජනපති කීය. එලෙසම ඇමතිගේ අතුරු පාලනයට පැය කිහිපයකින් අකුලා ගන්නට සිදු විය. අභියාචනාධිකරණය විසින් ඇමති පත් කළ අතුරු කම්ටුව ගෙදර යැවීම නිසා හොරු ලෙස ඇමති හංවඩු ගැසූ පිරිසට තාවකාලිකව හෝ යළි කරළ පැහින. ඇමති රොෂාන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී හතර අතේ නෙලුවේ අනතුරුවය.
එහිදී අභියාචනාධිකරණයේ ප්‍රධාන විනිසුරුගේ රෙදි ගැලවීමට ද ඔහු ක්‍රියා කිරීම ආන්දෝලනාත්මකය. එම ප්‍රහාරයෙන් පසු එම නඩුව ඇසීමෙන් තමා ඉවත්වන බවට එම විනිසුරු තීන්දු කළේය.
ඒ සමගම එක්තරා හෝටලයක තිබූ සාජ්ජයකදී ක්‍රිකට් බලවතුන් බීමතින් ලංකාවේ ක්‍රිකට් ICC හරහා තහනම් කිරීමට කුමන්ත්‍රණ කළ බවට ද ආරංචි ය. එම තහනම ඉන්දීය ජේ ෂා හරහා ඉල්ලා ලබා ගත් තහනමක් බවට ද විග්රහ වේ. ෂා යනු ආසියානු ක්‍රිකට් ප්‍රධානියා මෙන්ම ඉන්දියාවේ ස්වදේශ ඇමති අමිත් ෂාගේ පුත්‍රයා මෙන්ම එරට අගමැති මෝදි ඊළඟ වසරේ යළි දිනවීමට අදාළ ව්‍යාපෘතියේ ප්රබලයෙකු බවට ද විග්රහ වේ. එරට විසින් ලංකාවේ ක්‍රිකට් පමණක් නොව ක්‍රිකට් බලවතුන් මෙන්ම ඇතැම් ක්‍රීඩකයන් ද බිළි ගෙන ඇති බවත් කිය වෙන්නේ එවැනි පසුබිමකය.
ලංකාවට ක්‍රිකට් තහනම ඉල්ලා කැඳවා ගෙන ෂම්මි හා නඩය සල්ලි වෙනුවෙන් රටට පාවා දී දෝහී වූ බව ඇමති රොෂාන්ගේ පාර්ශවයේ චෝදනාවය. අතරමැදි එකඟතා නොමැති බවත් තමාට එකඟතාව ඇත්තේ ජනතාව සමඟ පමණක් බවත් ඇමති කියයි. ජනපති රනිල්ට සෘජු චෝදනා නොනගන ඔහු ජනපතිට සමීපතම හා ඔහු වටා ළඟින්ම සිටින පිරිසකට පෙරපාදයේම දැඩි ප්‍රහාර එල්ල කරයි.
සතුටක් නොමැති බංකොලොත් රටකට මහා විද්‍යාඥයින් මහා ලේඛකයින් මහා ව්‍යාපාරිකයින් හා මහා පරමාදර්ශී චරිත නැති පසුබිමක තිබුණේ ක්‍රිකට් පමණය. දැන් එය ද තහනම්ය. ලෝක කුසලානයේ දී අන්තිමයා වූ අපේ කට්ටිය ගෙවල්වල පැමිණ සැඟව සිටී. එහෙත් මුදල හා බලය මත රැඳුණු ක්‍රිකට් නාඩගම තවම කොහෙන් කෙලවර වෙිදැයි පෙනෙන්නට නැත.
සූදු ෂම්මි ද, රොෂාන් දැයි විමසූ පැනයට තවම පිළිතුරු ලැබී නැත. ගෝඨා නෑවේ පොහොරවලින් වූවාට රනිල් වැනි කපටි නරියෙක් ක්‍රිකට් වැනි දේකින් නාවිදැයි සිතිය නොහැකිය. එසේම රජුගෙන් ගේම ඉල්ලන ඇමති ක්‍රිකට් සුද්ද කරලා බැල්ම දාන්නේ රජ පුටුවට දැයි කියන්නට තවම කල් මදිය. මොන අරමුණෙන් වුවද රට කන හොරු මට්ටු කිරීමට ඉදිරිපත්වීමම මහා පුණ්‍යකර්මයකි.
Lanka Newsweek © 2024