ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (09) චෝදනා කළේය.
ක්‍රිකට් සල්ලිවලට පොකට් ගහන යුගය නිමා කිරීමට පාර්ලිමේන්තුවේ 225 ම එකා වගේ පෙරමුණ ගත යුතු බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ගජ මිතුරු කල්ලි, පාතාලය සහ කුඩු කුඩුකාරයන් එකතු කර ගෙන යන ක්‍රිකට් ක්‍රීඩාව වහාම නතර කළ යුතු බව ද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදී මේ බව කියා සිටී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙනම පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් නිර්මාණය කර ගත යුතු බවය.
මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන සහ අනාගත අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා වගේ අත්වැල් බැද ගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතා ගෙන සිටින ආකාරයට ආණ්ඩුව සහ විපක්ෂය මත දෙකක සිටියත් මෙම ප්රශ්නයේදී එක් මතයක සිටින බැවින් ඔවුන්ට නම්බුවක් ඇත්නම් අද දවස තුළ ස්ව කැමැත්තෙන් ඉවත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දූෂණය වි ඇති ක්‍රිකට් පරිපාලනය ඉවත් වී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත වැඩ පිළිවෙළ උදෙසා පැහැදිලි නිවැරදි වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත් ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන බලපෑමෙන් ඉවත් කර ගජ මිතුරු කණ්ඩායම් කල්ලි ගැසී පාතාල කාරයෝ, කුඩු කාරයෝ සහ ලිංගික අපචාරකරුවන් ඉවත් කර නිවැරදි ක්‍රමවේදයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එසේ ම ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ඇති කර ඔවුන්ගේ යෝජනා සහ බලධාරින්ගේ අදහස් පවා විමසා ක්‍රිකට් ආරක්ෂා කිරීමේ ගමනේ කොටස්කරුවන් කළ යුතු බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ක්‍රිකට් ක්‍රීඩාව යනු නිල් කොළ රතු භේදයකින් තොරව ලක්ෂ 220ටම අයිති ක්‍රීඩාවක් බව ද සඳහන් කළේය.
Lanka Newsweek © 2024