Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ මානව ඛේදවාචකය නතර කිරීමට අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතුය


2023-10-23 14342

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය ද දශක එකහමාරකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ දෙයට සමාන තීරණාත්මක තත්වයකි. ත්‍රස්තවාදය, ගාසාවේ රෝහලකට බෝම්බ හෙළීම හා ඊශ්‍රායලයේ සංගීත උළෙලකදී සමූල ඝාතනයක් ඇතුළුව, සිතාගත නොහැකි ම්ලේච්ඡ ක්‍රියා, ගොඩබිම, මුහුදේ හා ගුවනේ හමුදා ගැටුම්, වැඩි තීව්‍රතාවක් හා ම්ලේච්ඡත්වයක් මෙන්ම විශාල භූ දේශපාලනික හා අන්තර්ජාතික මැදිහත්වීම් සහ යුධ පිටියේ සිරවී සිටින සිවිල් වැසියන් මෙහි අවසාන අදියරේදී ගැටලු ලෙස දැකිය හැක්කේ ඒ අනුවය.

ගාසා තීරයේ මිලියන දෙකකට වඩා වැඩි ජනගහණයක් සිටින අතර, ඊශ්‍රායලය ඔවුන්ට පිටවීමේ නියෝගයක් නිකුත් කර ඇත. එල්ටීටීඊය මෙන් හමාස් සංවිධානයද එම මිනිසුන්ට අවශ්‍ය වුවද, ඔවුන්ට යුද පිටියෙන් ඉවත්වීමට ඉඩ නොදේ. ශ්‍රී ලංකාවේ මෙන් නොව, ලෝක අවධානය ගාසා තීරය වෙත යොමුවීමත් සමඟ, දෙපාර්ශ්වයටම පොදු බලවේග අසමානුපාතික ලෙස භාවිත කිරීම පිළිබඳ ප්‍රශ්නය සහ සිවිල් ජනාවාස ඇති ප්‍රදේශවලට බෝම්බ හෙළීමේ බිහිසුණුකම විසින් ගැටලුව තවත් තීව්‍ර කරනු ලැබ ඇත. එසේම ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ සටන්කාමීන් නැති කළ ආකාරයට හමාස් සටන්කාමීන් භෞතිකව නැති කිරීමට ඊශ්‍රායලයට නොහැකි වනු ඇත. සංඛ්‍යාත්මකව විශාල ශ්‍රී ලංකා හමුදාව විසින් වටකළ පසු එල්ටීටීඊ සටන්කාමීන්ට යෑමට තැනක් තිබුණේ නැත. එහෙත් යාහැකි අසල්වැසි අරාබි ප්‍රදේශ ඇති හමාස් සටන්කාමීන්ව, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට වටකළ නොහැක.

වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් වූ එල්ටීටීඊයේ සටනට බොහෝ දෙමළ ජනයා සහාය ලබාදුන් ආකාරයටම බොහෝ පලස්තීනුවන් හමාස් සංවිධානයට සහාය දක්වනු ඇතැයි සිතිය හැක. එල්ටීටීඊයට සහාය දුන් අය සියල්ලන් සටන්කාමීන් නොවූ අතර ඔවුන්ට සිවිල් වැසියන් ලෙස සැළකිව යුතු විය. පලස්තීනුවන්ට ද එය අදාළ වේ. අන්තර්ජාතික ප්‍රජාව සහ මානුෂීය සංවිධාන පසුගිය දින කිහිපය තුළ දෙපාර්ශ්වය විසින් සිදුකරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට, තමන්ද දායකත්වය ලබා නොදී, ඊශ්‍රායලය සහ හමාස් යන දෙඅංශයෙන්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහතික කිරීමට උපරිමයෙන් ක්‍රියාකළ යුතුය.

ජාතික සාම මණ්ඩලය ගැටුමේ තීව්‍රතාව අඩු කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස සළකයි. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පැවැත්මේ අයිතිය තහවුරු කළ යුතුය. ඊශ්‍රායල-පලස්තීනය අර්බුදයේ දේශපාලන ප්‍රශ්න, දේශපාලන ක්‍රම මගින් විසඳන තුරු ගැටුම පවතිනු ඇති අතර, විසඳුම තවත් සංකීර්ණ කිරීම සඳහා අන්තර්ජාතික මානව හිමිකම් සම්බාධක එකතු කිරීමත් සමඟ ගැටුම උත්සන්න වනු ඇත. වහාම කළ යුත්තේ, යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පියවර ගැනීම සහ දීර්ඝ කාලීනව සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණීමයි. මේ සඳහා ශ්‍රී ලංකා රජය සිය නොමඳ සහාය ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

 
පාලක සභාව

 

ජාතික සාම මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන ස්වාධීන හා පක්ෂග්‍රාහී නොවන සංවිධානයකි. සියලු ජනකොටස්වල නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්රවාදී අයිතීන්ට ගරු කරන, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ දැක්මක් ජාතික සාම මණ්ඩලයට ඇත. ජාතික සාම මණ්ඩලයේ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ විවිධ ජීවන තරාතිරම්වලට අයත් සහ රටේ සියලුම ප්‍රධාන වාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් සාමාජිකයන් විසිදෙනකුගෙන් යුත් එහි පාලක සභාව මගිනි.

Advertiesment