පහුගියදා ජනාධිපති රනිල් සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ අතර සිදුවු හමුවක් ගැන මාධ්‍ය වාර්තා කරලා තිබුණා " විධායකය ආහෝසි කිරීමට රනිල් - බැසිල් රහස් කතා " කියන සිරස්තලය යටතේ තමයි ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා පලවෙලා තිබුණේ.
එතනදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සදහා ජනමතවිචාරණයක් කැදවන්න කියලා බැසිල් රනිල්ට කිව්වා කියලත් සදහන් වෙලා තිබුණා. පොහොට්ටුවද ඇතුළත් සන්ධානයකින් සහ ජනාධිපතිවරයාට වාසි සහගත වාතාවරණයක් යටතේ ජනාධිපතිවරණයකට යන්න බැරිනං විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ජනමත විචාරණයක් කැඳවලා පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට යමු කියලයි බැසිල් කියන්නේ.
දැන් මෙතනදී ප්‍රශ්නයක් එනවා රනිල්ට දිනන්න පුළුවන්නම් විධායක ජනාධිපති ක්‍රමය හොඳයි. දිනන්න බැරි නං විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනි. බැසිල්ලා විධායකය වෙන කෙනෙක් අතේ තියනවට හරි බයයි වගේ. රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ කතරගම සමුළුවේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කරලා තියනවා.හැබැයි පොදුජන පෙරමුණ පහුගිය කාලේ කිව්වේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවට විරුද්ධයි කියලා.
රටේ රාළ බැසිල්ගෙන් අහන්නේ කවදාද ඒ තීරණය වෙනස් කළේ. ඒකෙන් එකක් පැහැදිලි වෙනවා. පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂලාට හිතෙන හිතෙන විදිහට නමන්න පුළුවන් දේශපාලන වශයෙන් පිට කොදු කඩපු අවතැන්වූන දේශපාලන සරනාගත කදවුරක් කියලා.මේ රටේ ජනතාව විධායකය ජනාධිපතිධූරය අහෝසි කරන්න ජනවරම් ගණනාවක් දීලා තියනවා.ඒ එක ජනවරමක්වත් හරියට ක්‍රියාත්මක කළේ නෑ.
යන්තම් හරි ක්‍රියාත්මක උනේ 2015 රනිල් - මෛත්‍රි යහපාලන ආණ්ඩුව යටතේ සිද්ධවුන විධායක බලතල කප්පාදු කිරීමේ 19 වෙනි සංශෝධනය විතරයි.හැබැයි 2019 බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ නඩයට මාර කඩිකුලප්පුවක් තමයි තිබුණේ පරණ තිබුණ විධායකයටත් වැඩිය බලතල තියන එකක් ගේන්න. රාජපක්ෂලා කළේ විධායකය බලතල කප්පාදු කරපු 19 වෙනි සංශෝධනය අහෝසි කරලා ආයෙත් තිබුණටත් වැඩිය බලතල තියෙන අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය සහිත 20 වෙනි සංශෝධනය ගේන එකයි.
ඒ විතරක් නෙවෙයි දිත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැනගන්න ව්‍යවස්ථාවේ තිබුණ සියලු බාධක ඉවත් කරගත්තා. යන්තම් ගෝල්ෆේස් අරගලයට පින් සිද්ධ වෙන්න රාජපක්ෂලා එලවලා 20 අයින් කරලා 21 ක ගෙනාවා. බැසිල් ඔව්චර විධායක ජනාධිපතිධූරයට විරුද්ධ නම් එදා බැසිල්ට කරන්න තිබුණේ 19 වෙනි සංශෝධනයේ තිබුණු අඩුපාඩු හදලා විධායක ජනාධිපති බලය තවදුරටත් ශූන්‍ය කරන එකනේ.
එහෙම නොකර තක්කඩි රාජපක්ෂලාට කරේ ජේආර් පන්නයේම විධායක ජනාධිපතිධූරයක් ආයෙත් ස්ථාපිත කිරීමයි.දැන් රටේ රාළට බැසිල්ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි ඔය යෝජනාව කරන්න ගියේ රෙදි ඇදගෙනද කියලයි.රනිල් මහ ලොකුවට ලෝකෙ වටේ ගිහින් බටහිරට ගහනවා.ආසියානු අනන්‍යතාවය ගැන කතා කරනවා. හැබැයි මේ කොහේද යන Third class ඇමරිකන් පුරවැසියෙක්ගේ පදයට නටනවා.
රනිල් එකක් මතක තියාගන්න ඕනි.රනිල්ගේ ඉතිහාසය මේ රටේ ජනතාව පිලිගන්න ඉතිහාසයක් නෙවෙයි.පෞද්ගලිකව රටේ රාළත් එහෙමයි.ඒ ඉතිහාසයට සුබ පතන්න මේ රටේ කෝටි එකහමාරකට කිට්ටු ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ දෙක හමාරක්වත් ඉතිරි වුනේ නෑ.ඒක නිසා රනිල්ගේ ඉතිහාසය කියන්නේ රිජෙක්ට් කරපු ඉතිහාසයක්.රනිල්ට ආයෙත් දොරක් ඇරෙන්නේ මේ රටේ නිර්මාණය උන අර්බුදය ඇතුලෙයි.
ඒ අර්බුදය උත්තර නැති රාජපක්ෂලාව ජනතාව පන්නලා දාද්දී අභියෝග බාරගන්න කිසි කෙනෙක් හිටියේ නෑ.රනිල් තමයි ඉදිරිපත් වුනේ.ඊට පස්සේ තමයි මේ රටේ ජනතාව රනිල් දිහා ටිකක් වෙනස් විදිහකට බලන්න පටන් ගත්තේ.රනිල් රට සන්සුන් කලාට පස්සේ තමයි ජනතාව හිතුවේ රනිල්ට මේ අවුරුදු දෙක කරගෙන යන්න දීලා බලා ඉන්න ඕනි කියලා. රනිල් කිව්වේ මේ අවුරුදු දෙකට රට බාරගත්තේ දේශපාලන කරන්න නෙවෙයි රටේ ආර්ථිකය හදන්න කියලා.
තුන්වේල කන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලයි. හැබැයි දැන් අනුප්‍රාප්තික ජනාධිපති වෙලා යන්තං අවුරුද්ද සම්පුර්ණ උනා විතරයි රනිල් බැසිල් එක්ක දේශපාලන කරන්න පටන් අරන්. රටේ රාළ කියන්නේ රනිල්ගේ දේශපාලන ජීවිතය කොටස් දෙකක් තියනවා.එකක් තමයි අනුප්‍රාප්තික ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා දේශපාලන ජීවිතය.අනික තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවීමෙන් පස්සේ දේශපාලන ජීවිතය.
මේ රටේ ජනතාව ඒ දෙක දිහා බලන්නේ දෙවිදිහකට.ඇත්තටම රටේ රාළත් බලන්නේ දෙවිදිහකට. මොකද රට ඉස්සරහා ආපු අභියෝග බාරගත්ත රනිල් ඉතිහාසය ඇතුලේ තියලා පට්ට ගහන්න රටේ රාළට උවමනාවක් තිබුණේ නෑ.අර්බුදයෙන් පස්සේ විවෘත උනේ පොදු ගමනක් යන්න ඕනි කාලයක්.රනිල් ඒ ආරාධනය කළා.ඒ වෙලාවේ රටේ රාළ විපක්ෂයට කිව්වේ දැන් රනිල් එක්ක හරි සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කියලා.
හදලා රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුව පත්වෙන්න දෙන්න එපා කියලා.කොහොම උනත් ජාතික එකඟතා වැඩපිලිවෙලක් යටතේ ඒ වැඩේ කරගන්න පක්ෂ විපක්ෂ සියලු දෙනා අසමත් වුනා. දැන් නැවතත් රාජපක්ෂලා රනිල් යටත් කරගනිමින් ඉන්නවා.රනිල්ටත් තමන්ගේ දේශපාලන ජීවිතයේ පරිච්ඡේද දෙක හරියට වෙන් කරලා තේරුම් ගන්න බැරි වෙලා තියනවා. රනිල් ඇත්තටම පොදු මිනිහෙක් වෙන්නයි උවමනාව තිබුණේ.
රනිල් කිව්වේ තමන් නිර්පාක්ෂිකයි කියලයි.හැබැයි එහෙම කියන රනිල් බැසිල් එක්ක පාක්ෂික ගේම් ගහනවා.ඇත්තටම රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිකමෙන් ඉදිරියට යනකොට රනිල් තමන්ගේ ඉතිහාසය ගේම් දේශපාලනය නවත්තලා එන්න ඕනි.රනිල් කියන්නේ ප්රජාතන්ත්රවාදයට වඩා දේශපාලන ගේම් විශ්වාස කරන කෙනෙක්.හැබැයි රනිල්ගේ සුක්ෂම මොලය මේ රට ගොඩනගන්න පාවිචි කරගන්න කිසිම බාධාවක් පහුගිය අවුරුද්ද ඇතුලේ තිබුණේ නෑ.
අපි අහලා තියෙනවා ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා කියලා. ඒ වගේ ඔන්න බැසිලුයි - රනිලුයි කොළඹදී හම්බ වෙලා.දෙන්නම හොඳ ගේම් කාරයෝ දෙන්නෙක් තමයි.හැබැයි රටේ රාළ වගකීමෙන් කිරනවා ඔය ගේම් එක නම් මේ රටේ ජනතාව පරාද කරනවා.මේ රටේ ජනතාව කවදාවත් රාජපක්ෂලාට සමාව දෙන්නේ නෑ.ඒ ගොඩට රනිලුත් ස්වේච්ඡාවෙන් වැටීම ගැන අපට කරන්න දෙයක් නෑ.
එහෙම වැටෙන රනිල් ගොඩනගන්න අපට අවශ්‍යතාවයක් නෑ.ඇත්තටම විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනි.ඒ වගේම විධායක අහෝසි කරපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට ඕනි.ඒක හදන්න ඕනි මහජන අදහස් අනුව,රටේ අවශ්‍යතාවයට මිසක් කොහේවත් යන ඇමරිකන් පුරවැසි බැසිල්ට ඕනි විදිහට කෑලි ගලවලා නෙවෙයි. රනිල්ට ජනාධිපතිවරණය දිනන්න බැරි වෙන හින්දා විධායකය අහෝසි කරලා නෙවෙයි.කෑලි ගලවන ව්‍යවස්ථාවක් වෙනුවට මේ රටට නව ව්‍යවස්ථාව ඕනි.
මොකද්ද මේ බැසිල් දාන අමන මරිය මෝඩ තර්කය.ඔය කරන්න හදන වැඩේ රටේ රාළ කිරිගහට ඇන්න වගේ කියන්නම්.ජනමත විචාරණය දිනාගෙන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න යම් කාලයක් යනවා. ඒක මෙයාලා ටාගට් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවලා ඊලග පාර්ලිමේන්තුව පත්වීම දක්වා කාලය වෙන්න ඕනි.එතකන් මේ ඉන්න ජනාධිපතිවරයාටම ඉන්න පොඩි සංශෝධනයක් කරගන්නවා. පනත කාරක සභා අවස්ථාවට ආවහම අපි නොසිතන සංශෝධන ඕකට එනවා.
රනිල්ට ඒ සම්බන්ධව හොඳ පුහුණුවක් තියනවා.19 වෙනි සංශෝධනය කාරක සභා අවස්ථාවේ තියනකොට රනිල් දාපු සෙල්ලම් අපි දන්නවා.මෛත්‍රිත් එක්ක එකඟ නොවුන සංශෝධන කාරක සභා අවස්ථාවේ ඇතුලත් කළා.මෙතනදීත් බැසිල් - රනිල් ගහන්න හදන්නේ එහෙම ගේමක්. එහෙම ගහලා ආයෙත් අන්තිමට පෙරහැරේ යන්නේ රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා තමයි.ඒක පරාජය කරන්න ඕනි.
ඒ වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා නව සන්ධානයක් වටේට එකතු වෙන්න ඕනි.බැසිල්ගේ ලණුව රනිල් කෑවොත් නම් රනිල්ට ඒ සන්ධානයේ ඉඩක් තියෙන්න විදිහක් නෑ.ඉඩක් තියනවා නම් රනිල් බැසිල් වෙන ගේමක් ගහලා ඒ සන්ධානයත් අල්ලලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
Lanka Newsweek © 2024