Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


රාජපක්ෂලා බිලි දීම හැර රනිල්ට වෙනත් විකල්පයක් නැත


2023-10-09 14321

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට සුදානම් වෙන බව දැන් රහසක් නෙවෙයි.දැනට පැහැදිලි ජනාධිපතිවරණ අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉන්නවා.රනිල්,සජිත්,අනුර සහ ෆොන්සේකා.හැබැයි මේක අවසන් එක නෙවෙයි දැනට තියන එක.මේ හතර දෙනා සැලකුවොත් මේ කිසිම කෙනෙක් ජනාධිපතිවරණය දිනන්න ඕනි ඡන්ද රේඛාව පහුකරලා නෑ.

රනිල් ජනාධිපතිවරණයට එන්න හදන්නේ අලුත් සන්ධානයකින්. තවමත් ඒ සන්ධානය හැදිලා නෑ. ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ ඒ සන්ධානය හැදෙන්නෙත් නෑ. මෙතනදී ඉක්මන් සන්ධානයක් හැදීමේ තරඟයක රනිල් පාර්ශවය සහ සඡිත් පාර්ශවය යෙදිලා ඉන්නවා.සමහරවිට ඒ තරඟයෙන් සජිත්ගේ පාර්ශවය රනිල්ගේ පාර්ශවය අභිබවා යන්නත් පුළුවන්.මෙතනදී එකක් මතක තියාගන්න ඕනි.

සන්ධානයක් එලියට දැමීමේදී ඉස්සරවීමේ වාසියක් තියනවා. හැබැයි ඉස්සර වෙලා මුහුණු ටිකක් එළියට දැම්මා කියලා නං වැඩක් නෑ.දැන් මේ රටට ඕනි නායකයෝ නෙවෙයි,රට ගොඩනගන වැඩපිලිවෙලක්.මූනත්තහඩු දේශපාලනය තවදුරටත් මේ රටට දැන් වලංගු නෑ.දැන් මං පොර දේශපාලන චැප්ටර් එක ඉවරයි.දැන් මහින්දවත්,රනිල්වත්,සජිත්වත්, අනුරවත් මේ රටේ ජනතාව පොරවල් නෙවෙයි.

රනිල්ගේ සන්ධානය හැදෙනවා නං හැදෙන්නේ ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී විතර වෙන්න ඕනි. හැබැයි මේ අවුරුද්දේ ඉස්සරහා මාස දෙක තුනේ රනිල් ගන්න තීරණ සියල්ල ඒකට බලපානවා.ඒකක් අයවැය.අයවැයෙන් යම් සාධනීය පාරක් පෙන්නන්න බැරි උනොත් රනිල්ගේ සන්ධාන වෑයම ලත් තැනම ලොප් වෙන්න පුළුවන්.ඒ වගේම රනිල්ගේ වෙනස් වෙන්න ඕනි දෙවල් ගොඩක් තියනවා.

මේ රට රනිල්ට ඕනි විදිහට එජස් වෙන්න ඕනි නෑ.රටේ අවශ්‍යතාවයට අනුව රනිල් එජස් වෙන්න ඕනි.රනිල් සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් ප්‍රශ්න විසදන්නේ නැතිව එක තැන පල් කරන එක. රටේ රාළ හිතන්නේ නෑ රනිල්ගේ ඒ තියරිය තවදුරටත් වලංගු වෙයි කියලා.රනිල් රට බාර අරගෙන රට සන්සුන් කරගන්නකොට රටේ ජනතාව රනිල් දිහා බලා හිටියා. රනිල්ට ඒ අවස්ථාව දෙන්න ඕනි කියන මතයක ජනතාව හිටියා.

හැබැයි දැන් රනිල් එකක් තේරුම් ගන්න ඕනි ජනතාව ඒ මතයෙන් ඈත්වෙමින් ඉන්නවා.රනිල් ජාත්‍යන්තර දේශපාලන වේදිකාව ආක්‍රමණය කරන බව ඇත්ත. හැබැයි ඉතින් මෙහෙන් Loss වෙලා එහේ කප් ගැහුවට වැඩක් නෑ, මොකද මෙහේ ලොස් උන ගමන් ගෙදර යන්න වෙනවා.රටේ රාළ හිතෙන්නේ සමාජයේ නිර්මාණය වෙන මේ උකටලී බව පෙරලා රනිල් හදන්න ඉන්න සන්ධානයේ අයටත් බලපානවා.

ඊළගට ජනාධිපතිවරණයේදී ආර්ථික සටන් පාඨය උඩට එන එක නවත්තන්න බෑ.ආර්ථික සටන් පාඨයට සමාන්තර අපේක්ෂකයෝ හතර දෙනා දිහා බැදුවොත් ආර්ථික දර්ශනයක් සහිතව ඉන්නේ රනිල් විතරයි.සජිත්,අනුර,ෆොන්සේකාට එහෙම එකක් නෑ.පාඨළීට ආර්ථික දර්ශනයක් තියනවා.ඒත් පාඨළීට 2024 දී ජනාධිපතිවරණ තරඟ බිමේ ඉඩක් හැදෙන්න තියන ඉඩ අඩුයි. හැබැයි රටේ රාළ ඒක නෑ කියන්නෙම නෑ.

ඒක වෙන්න පුළුවන් එක අවස්ථාවක් තියනවා.ඒත් ඒක කතාව කියන්න දැන්ම ඉක්මන් වෙන්න ඕනි නෑ.එතකොට ආර්ථික සටන් පාඨයත් එක්ක රනිල්ට පුද්ගලයෙක් විදිහට මතු වෙන්න අවස්ථාවක් තියනවා.ඒකට රනිල් මේ අයවැය ඇතුලේ ජයග්‍රහණයක් පෙන්නන්න ඕනි.මේ යන පාර හරි කියලා පෙන්නන්න ඕනි.මේ ආර්ථික සටන් පාඨයත් එක්ක එන තරඟයේදී රනිල්ට ලොකුම අභියෝගය දෙන්නේ අනුර.

මොකද අනුර මුළු ආර්ථික බිඳ වැටීම ලඝු කරන්නේ හොරකමට. හොරකම නැති කළොත් අපි ගොඩ කියන එකයි අනුරගේ ආර්ථික කන්ෂෙප්ට් එක.ඇත්තටම හොරකම නතර කරන්න ඕනි.ඒ ගැන කතා දෙකක් නෑ.ඒක කරන්න ජවිපෙටත් බෑ.ඒකෙත් කතා දෙකක් නෑ.හැබැයි හොරකම නැති කරපු පමණින් රටේ ආර්ථිකය හැදෙන්නේ නෑ.අනුරත් ඒක දන්නවා.

හැබැයි අනුරගේ හොරු අල්ලනවා කියන සටන් පාඨය රටේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක සටන් පාඨයක් විදිහට ගැට ගහන්න හොඳ එකක්. අනුරගේ වේදිකාවේ අනුරට තියන වාසිදායකම සටන් පාඨවලින් එකක් තමයි ඒක.රනිල්ට දිනන්න නං, දිනන්න නෙවෙයි ජනාධිපතිවරණයට එන්න අවශ්‍ය සන්ධානය හදා ගන්න නං රනිල් මාලිමාව අතේ තියන මේ සටන්පාඨ උදුර ගන්න ඕනි.

එහෙම නැත්තං ඒක අහෝසි කරන්න ඕනි.රනිල්ට රාජපක්ෂලා තියාගන්න මාලිමාවෙන් ඒ සටන් පාඨ උදුර ගන්න බෑ.ඒ වගේම රනිල් රාජපක්ෂලාගේ කරට අතදාගෙන ඉන්නකං මාලිමා වේදිකාවේ ඒ සටන් පාඨයට තියන බලය අහෝසි වෙන්නේ නෑ.රනිල් රාජපක්ෂලා කියපු විදිහට කැබිනට් එක පත් කළේ නෑ තමයි.රාජපක්ෂලා කියන තවතව පොඩි පොඩි දේවල් ටිකක් නොකර හිටියා තමයි.

ඒවට අවශ්‍ය ඇඟයිම රටේ රාළ ඒ ඒ අවස්ථාවලදී දුන්නා.හැබැයි දැන් රනිල්ට ලොකු වැරදීමක් වෙලා තියෙන බවත් කියන්න ඕනි.රනිල් බෙල්ලේ දාගෙන ඉන්න මේ රාජපක්ෂලා කියන උර චක්‍ර මාලය ගලවන්න රනිල් ලෑස්ති නැති බව පේනවා.රනිල් හිතන්නේ ඒකත් දාගෙන අනිත් අයත් කූල් ඩවුන් කරගෙන යන්න.ඒක නං රනිල්ගේ උපාය රනිල් හිතන ඔය සන්ධානය හැදෙන්නේ නෑ.රනිල් මොකක් හරි අටවගෙන ආවත් පරදීනවා.

රනිල් Mr Clean නං ඇයි මේ Dirty Family එකක් කරේ එල්ලගෙන ඉන්නේ.එහෙම උනොත් හෙම සජබය ඇතුලේ ඉන්න ටීම් එක එන්නේ නෑ.සජබ මන්ත්‍රීලා 48 ක් ඉන්නවා.ඒතනින් 20 ක් ඉන්නේ එන්න බලාගෙන.ඉතිරි 28 ඇතුලේ මුස්ලිම් මන්ත්‍රීලත් ඉන්නවා. ඇත්තටම මුස්ලිම් මන්ත්‍රීවරු එයිද රාජපක්ෂලා ඉන්න කදවුරකට. රනිල් සජබය බහුතරය නැතිව දිනන්න හිතනවා නං රනිල්ට ලොකු වැරදීමක් වෙලා.

ඇත්තටම රනිල්ගේ එජාපයට තවමත් ඡන්ද පදනමක් නෑ.ඕනිනං තියන ඡන්ද ලක්ෂ දෙක හමාර උපරිම පහක් වෙලා ඇති.මොකද දැන් එජාපය කියලා එකක් මහ පොලොවේ දේශපාලනය කරන්නේ නෑ.දැනට පොලොවේ ඉන්නේ සජබය සහ මාලිමාව විතරයි. රනිල්ට දිනන්න ඕනි කරන බේස් එක හැදෙන්නේ සන්ධානයක් ඇතුලේ විතරයි.රනිල් දැන් මේ රාජපක්ෂලාට කරේ තියාගෙන කරන්නේ ඒ පාර වහගන්න එකයි.

දැන් පොහොට්ටුව කැඩිලා තියනවා. දැනට පොහොට්ටුවේ ලොකුම කෑල්ල තියෙන්නේ අනුර ප්‍රියදර්ශන සහ ලන්සා අතේ.රාජපක්ෂලාට ඕනි නං පවුලේ අය හැරුණහම තවත් අන්ත දූෂිතයෝ ටික ඉතිරිවෙලා ඇති.ගල්කාරයෝ,ඉස්සන් කොටුකාරයෝ,වැලිකාරයෝ,තැබෑරුම්කාරයෝ.පින්ට ලයිස්තුවෙන් ආපු අය හෙම ඇති.ඒ ටිකත් එක්ක නං රනිල් හිටගන්නේ ඇයි ලන්සලා, අනුර යාපලා රනිල් එක්ක හිටගන්නේ.

අනික රාජපක්ෂලා එක්ක ආවොත් ඒ සන්ධානයට ගොඩක් අයට පාර්ලිමේන්තු එන්න බෑ.රනිල් මේ කරන්නේ රාජපක්ෂලා එක්ක හිටගෙන එයාලගේ මන්ත්‍රීකම බිලි දෙන වැඩක් කියලා එයාලට හිතෙන්න පුළුවන්.ඉතින් ඕකට ලන්සලා කැමති වෙයිද?එහෙම උනොත් ලන්සලා සන්ධානයක් හදයි හැබැයි ඒ රනිල් හිතන ජාතියේ සන්ධානයක් නෙවෙයි.අනික ශ්‍රිලනිපයේ බහුතරය රනිල් හදන සන්ධානයකට ගන්න පුළුවන්.

ඒත් රාජපක්ෂලා පුද්ගලයෝ විදිහට වැජඹෙන සන්ධානයකට ශ්‍රිලනිපය රෙද්දක් ඇදගෙන එන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියනවා.දැනටත් රෙදි නැතිව ඉන්න අයට නං යන්න බාධාවක් නැතිව ඇති.ඒක නිසා රනිල් පොදු සන්ධානයේ අපේක්ෂකයා වෙන්න හිතනවා නං රනිල් කරන්න ඕනි රාජපක්ෂ අතහැර දැමීමයි.එහෙම නොවුනොත් වෙන්නේ රනිල් රාජපක්ෂලා එක්ක තනිවීම විතරයි.

රනිල්ගේ ඇඟට රාජපක්ෂලා ඇලිලා නං තියෙන්නේ දැන්මම පොඩි Operation එකක් කරලා ඒක අයින් කරන්න රනිල්ට පුළුවන්.රනිල්ට ඒක කරන්න බැරි උනොත් කට්ටිය ලොකු Operation එකක් කරලා රනිල්ව අයින් කරලා වෙන අපේක්ෂකයෙක් දාගනී.රනිල් අයින් කලහම රනිල්ගේ ඇඟේ ඇලිලා තියන රාජපක්ෂ පිළිලයත් ඉබේම අයින්වෙයි.එතකොට රනිල්ට වෙන්නේ මහා මැතිවරණය තියලා. අනුප්‍රාප්තික ජනාධිපති ඉතුරු කාලයත් සම්පුර්ණ කරලා ගෙදර ගිහින් ඉන්න.ආත්තටම රනිල් දැන ගන්න ඕනි ඊළඟ ජනාධිපතිවරණය කියන්නේ වම සහ දකුණ අතර සටනක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

Advertiesment