Sunday 13th of October 2024

English Tamil
Advertiesment


චීනය තායිවාන ආක්‍රමණයකට සූදානම්..?


2023-10-02 14326


යුක්‍රේන - රුසියා යුද්ධය දවසින් දවස දරුණු අතට හැරෙද්දී තවත් යුද්ධයක් ආරම්භ වෙන්න ඔන්න මෙන්න තැනට නැගෙනහිර ආසියාව පත්වෙලා.ඒ චීන  - තායිවාන යුද්ධය.ඇත්තටම මේ යුද්ධ අවුස්සන්නෙත් ඇමරිකාව තමයි.ඇමරිකාව පිලි අරන් තියන එක චීනයක් ප්‍රතිපත්තිය පැත්තකට දාලා ඇමරිකාව දැන් තායිවානයේ ස්වාධීනතාවය වෙනුවෙන් පෙනී ඉන්නවා.මේකත් හරියට ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුක්‍රේන ජනතාව වෙනුවෙන් හලන කිඹුල් කදුළු වගේ.

ඇමරිකාව චීන - තායිවාන යුද්ධය ඇවිලවීමේ අරමුණු කීපයක් තියනවා.නැගී එන ලෝක බලවතා දුර්වල කිරීම එක අරමුණක්.ඒක ආර්ථික,දේශපාලන සහ යුධමය හැම අතින්ම දුර්වල කිරීමේ සැලැස්මක්.ඒ දුර්වලවීම හමුවේ ආසියාව මංකොල්ල කෑම තමයි අවසන් ඉළක්කය.ඒ වෙනුවෙන් ඇමරිකාව පාවිච්චි කරගන්නේ චීනය සහ තායිවානය අතර තියන ඓතිහාසික ප්‍රතිවිරෝධය. ඇත්තටම ඒ සම්බන්ධව චීනයට සහ තායිවානයට සාධාරණ කතා දෙකක් මෙතන තියනවා.

හැබැයි ඉතින් බටහිරමනේ කියන්නේ කවුරුත් ජාත්‍යන්තර නීතියට ගරු කරන්න ඕනි කියලා. එතකොට ජාත්‍යන්තර නීතිය අනුව තායිවානය කියලා රටක් මේ ලෝකේ නෑ.එක්සත් ජාතීන් පවා පිළිගන්නේ එක චීනයක්.ඒ අනුව තායිවානය කියන්නේ චීනයේ කොටසක්.මේ ප්‍රතිපත්තියම තමයි ඇමරිකාවත් මෙච්චර කල් පිලිගත්තේ.දැන් ඒ ප්‍රතිපත්තියෙන් බැහැරව තමයි බටහිර කටයුතු කරන්නේ.ඒ කියන්නේ ජාත්‍යන්තර නීති තියෙන්නේ එයාලගේ උවමනාව සහ වාසිය වෙනුවෙන් විතරයි.කොහොම උනත් එතන චීන - තායිවාන ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්නයක් තියනවා.

ඒ තමයි දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධව තියන ප්‍රශ්නය.චීනය දකුණු චීන මුහුදේ 90% ක කලාපයකට අයිතිවාසිකම් කියනවා.දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධව එක්සත් ජාතින් මැදිහත් වෙලා දුන්න තීන්දුව චීනය පිළිගත්තේ නෑ.එතන චීනයත් එක්ක ගැටුමක රටවල් කීපයක් ඉන්නවා.වියට්නාමය,පිලිපීනය දකුණු චීන මුහුදට අයිතිවාසිකම් කියන තවත් අයිතිකාරයෝ දෙන්නෙක්.ඒ වගේම ජපානය සහ දකුණු කොරියාවත් චීනයත් එක්ක ඉන්නේ ආරෝවක. 

තායිවාන - චීන යුද්ධය ඇවිළුනොත් චීනයට අඩුම ගානේ තායිවානය හැරුණහම තව රටවල් දෙක තුනක් එක්ක යුද්ධ කරන්න වෙන්න පුඵවන්.විශේෂයෙන්ම පිලිපීනය වගේ රටක් චීනයත් එක්ක යුද්ධයකට පැටලෙන්න තියන ඉඩ වැඩියි.ඒ අනතුරු ඇඟවීම දැනටමත් පිලිපීනයෙන් චීනයට කරලා තියෙන්නේ.ඔයාලා දන්නවා ඇති පහුගිය දවස්‌වල චීනය එකපාරට තමන්ගේ මුහුදු කලාපය සලකුණු කරලා පාවෙන මුහුදු බාධකයක් දකුණු චීන මුහුදේ එලුවා.ඒකට පිලිපීනයේ මුහුදු කලාපයත් අහුවුනා.

කොහොම උනත් මේ පාවෙන මුහුදු බාධකය පිළිගන්න පිලිපීනය එකඟවුනේ නෑ.පිලිපීන නාවික හමුදාව ධීවරයෝ විදිහටම වෙස්වළාගෙන ගිහින් ඒ මුහුදු බාධකය කපලා දැම්මා.අන්තිමට මුහුදු බාධකයේ සුන්බුන් ටික චීන වෙරළට ගහගෙන ගියා.ඇත්තටම මේ ගැන චීනය පැත්තෙන් තවම ප්‍රතිචාර දක්වලා නෑ.ප්‍රතිචාර දැක්වුවත් නැතත් ඒක චීනයට වෙච්චි ලොකු අවමානයක් වගේම අභියෝගයක්.ඒකෙන් චීනයට තේරෙන්න ඇති දකුණු චීන මුහුදේ යුද්ධයක් ලේසි වෙන්නේ නෑ කියලා.

කොහොම උනත් තායිවාන ප්‍රශ්නය උණුසූම් වෙන්නේ ඊට වෙනස් විදිහකට.තායිවානය ස්වාධීනත්වය පැත්තට ගමන් කරන බව චීනය දන්නවා.ඒ වගේම දැන් ඒ ගමන වේගවත් වෙලා කියලත් චීනය දන්නවා.ප්‍රශ්නය ඕනෑවට වැඩිය ජාත්‍යන්තරීකරණය වෙලා කියලත් චීනය දන්නවා. තායිවාන ප්‍රශ්නයට ලොකු ජාත්‍යන්තර අවධානයක් අරන් දුන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුවේ කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය.ඒ වෙලාවේ චීනය පවා හිතුවේ නෑ නැන්සි තායිවානයට ගොඩ බහී කියලා. 

කොහොම හරි චීන විරෝධය නොතකා නැන්සි තායිවානයට ආවා. චීනය කියපු කිසි ක්‍රියා මාර්ගයක් ගන්න චීනයට බැරිවුනා.මේ ඉඩ පාවිච්චි කර ගනිමින් ඇමරිකාව තායිවාන මෙහෙයුම පහුගිය කාලේ වේගවත් කලා.ඇමරිකාව තායිවානයට දියුණු අවි දීලා තායිවානය අධි සන්නද්ධ කරලා තියෙන්නේ.තායිවානය කියන්නේ බොහොම දියුණු කලාපයක්.දැන් තමයි ඇමරිකානු දේශපාලන මෙහෙයුම පටන් අරන් තියෙන්නේ. ඇත්තටම ඒක කුමන්ත්‍රණයක්.

ඒක කරන තැන බවට 78 වෙනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පත් කරගන්න ඇමරිකාව සහ තායිවානය උත්සහ කළා.ඇමරිකාව එක්ක රටවල් 11 ක් ඒ මෙහෙයුමට සහය වෙලා තිබූණා.එයාලා හැදුවේ එක්සත් ජාතින්ගේ සමුළුවේදී තායිවානයේ ස්වාධීනතාවය පිලිගිමින් යෝජනාවක් සම්මත කරන්න.හැබැයි චීනයේ දැඩි විරෝධය නිසා වැඩේ සිද්ධවුනේ නෑ. ඒත් ඇමරිකාව මේ වැඩේ කොයි වෙලේ හරි කරනවා.කොහොම උනත් චීන ඔත්තු සේවා මේ බව දැනගෙන හිටිය බව පැහැදිලියි.

ඒක නිසාම චීනය මුල ඉදන්ම එක්සත් ජාතීන්ගේ මේපාර සමුළුවට ලොකු වටිනාකමක් දුන්නේ නෑ.චීන ජනාධිපති ෂී ජින් පින් සමුළුවට සහභාගී උනෙත් නෑ. මේ යෝජනාව එන බව දැනගෙන චීනය තායිවානයත් එකතු කරගත්ත ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් එක්සත්ව ජාතින්ගේ සමුළුවට ඉස්සෙල්ලා තායිවානයට ඉදිරිපත් කළා.ඇත්තටම ඒ සැලැස්මේ තියෙන්නේ සාමකාමීව තායිවානය චීනයට ඈදෙන හැටි. හැබැයි ඒ යෝජනාව හැරෙන තැපෑලෙන් තායිවානය ප්‍රතික්ෂේප කලා. 

ප්‍රතික්ෂේප කලා විතරක් නෙවෙයි අපි සංවර්ධිත රටක්,අපි ගැන බලන්න ඕනි නෑ,චීනය තමන්ගේ කඩා වැටිලා තියන ආර්ථිකය හදා ගන්න කියලා චීනයට නෝන්ඩියකුත් දැම්මා.චීනයත් ඒ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කළේ අනතුරු ඇඟවීමකුත් එක්ක.චීනය කිව්වේ තායිවානයේ දෙන අවසන් අවස්ථාව මේක කියලයි.ඒ එක්කම එක්සත් ජාතීන් යොදාගෙන කරන්න හැදුව කුමන්ත්‍රණය හෙලිවුනා.ඒකත් එක්ක තමයි චීනයට මළ පනින්නේ.

දැන් චීනය දන්නවා කවදාවත් තායිවානය චීනයට සාමකාමීව ඈදා ගන්න බෑ කියලා.චීනයට දැන් තියෙන්නේ උත්තර දෙකයි.එක්කෝ තායිවානය අතාරින්න ඕනි.නැත්තං ගහලා අල්ලන්න ඕනි.චීනයට කවදාවත් තායිවානය අතාරින්න බෑ. ඒක නිසා දැන් චීනයට තියෙන්නේ දෙවෙනි පියවරට යන්න.ඒ කියන්නේ ගහලා අල්ලන්න.දැන් චීන ජනාධිපති ෂී ජින් පින් චීන හමුදාවට නියෝග දීලා ඉවරයි.ඒ තායිවානයට එක්ක යුද්ධයකට සුදානම් වෙන්න කියලා.මේ දවස්වල චීනය තායිවානය මැදි කරගෙන දැවැන්ත යුධ අභ්‍යාසයක් කරනවා.

ඒක නම් කරලා තියෙන්නේ බෙදුම්වාදයට පරදවන මෙහෙයුමක් විදිහට.චීනය සතු ලොකුම යුධ නැවත් එක්ක නැව් 50 ක් විතර තායිවානය වටේට රදවලා තමයි මේ අභ්‍යාසය කරන්නේ. තායිවානයෙන් එන ආරංචිවලින් කියන්නේ මේ යුධ අභ්‍යාස මුලදී කරපු චීන යුධ අභ්‍යාසවලට වඩා ගොඩක් වෙනස් කියලා.මේ යුධ අභයාසවලින් නීතරම තායිවානයට තර්ජනයක් එල්ල කරනවලු.එක වෙලාවක චීන ප්‍රහාරක යානා සීයකට වඩා තායිවාන ගුවන් සීමා උල්ලංඝනය කරලා තිබුණා.
රටේ රාළ කියන්නේ මේ පියවරේදී චීනය යුද්ධය තෝරන්න ඉඩක් තියනවා.පෙන්ටගනය නම් කියන්නේ චීනය යුද්දෙකට මේ වෙලාවේ එන්නේ නෑ කියලයි. මොකද ඒ තරමට චීන ආර්ථිකය කඩා වැටිලා කියලා.රටේ රාළ හිතන්නේ ඊට වෙනස් විදිහට.එක පැත්තකින් තායිවානයට දවසින් දවස ජාත්‍යන්තර පිලිගැනීමක් හම්බ වෙනවා.ඒකට අභියෝග කරන්න චීනයට සිද්ධ වෙනවා. අනික තමයි දවසින් දවස ඇමරිකන් නවීන අවි සහ ආයුධ කර්මාන්ත ශාලා තායිවානය ලැබෙනවා.
පහුගිය දවසක තායිවානය තමන්ගේ රටේ නිෂ්පාදිත සම්මැරීනයක් එලි දැක්වුවා.ඒකට බටහිර අවි හයිකරන්නත් පුළුවන්. චීනයේ ප්‍රමාදයෙන් දවසින් දවස තායිවානය යුධමය වශයෙන් ශක්තිමත් වෙනවා.නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් ගහලත් කපන්න බැරි වෙන්න පුළුවන්.හැබැයි දැන් කොහොමත් නියපොත්තෙන් නම් කඩන්න බෑ. ඊළගට නේටෝව මේ වෙලාවේ වෙනම යුද්ධයකට පැටලිලා. රුසියාව යුක්‍රේන භූමියේ ඉදන් යුද්ධ කරන්නේ නොටෝව එක්ක.

ඒක නිසා ඇමරිකාවට දාන්න පුලුවන් උපරිම බර මෙතනදී අඩුවෙනවා.ඒ වගේම ඇමරිකාවට අර්බුදයත් මේකට යොදා ගන්න පුළුවන්.මේ යන විදිහට ඇමරිකානු රජය ඔක්තොම්බර් පළ වෙනිදා වැහෙන්නත් පුළුවන්.අනික තමයි චීනය තුල ගොඩ නැගෙන ආර්ථික අර්බුදයට විසදුම විදිහට බෙදුම්වාදයට එරෙහිව චින දේශප්‍රේමය මතු කරගන්න පුළුවන්. ඇත්තටම රටේ රාළ හිතෙන්නේ දකුණු චීන මුහුදේ පැටලිල්ල නැත්තං චීනය මේ වෙනකොට තායිවානයට ගහලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

Advertiesment