ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම අද (සැප්තැම්බර් 27 වැනිදා) සිය නිරීක්ෂණ පිළිබඳ ආනාවරණය කළේය.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම අද (සැප්තැම්බර් 27 වැනිදා) සිය නිරීක්ෂණ පිළිබඳ ආනාවරණය කළේය.
ඔවුන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉඩ සැලසීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ගම්‍යතාව පවත්වා ගෙන යමින්, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට නුදුරු කාලීනව එළැඹීම සඳහා සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බවය. ඒ අනුව කාර්ය මණ්ඩල මණ්ඩල මට්ටෙම් එකඟතාවකට පැමිණෙන තුරු ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය ලැබීම ප්‍රමාද වනු ඇත.
පසුගිය සැප්තැම්බර් 14 වැනිදා දිවයිනට පැමිණි එම දූත කණ්ඩායම විසින් පසුගිය දින කිහිපය තුළ දී, ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාර ලේකම් එම්.කේ. එම්. මහින්ද සිරිවර්ධන, සහ අනෙකුත් රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.
IMF දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසුවේ ණය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 330 ක පමණ දෙවන වාරිකය නිකුත් කරනු ලබන්නේ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹීමෙන් පසුව පමණක් බවත් එය සිදු වන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත කාල සීමාවක් නොමැති බවත්ය.
ස්ථාවරත්වයේ ආරම්භක සලකුණු දක්නට ලැබුණද, සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතිය තවමත් සහතික වී නොමැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ නිරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලක්ෂණ පෙන්නුම් කර තිබේ. 2022 සැප්තැම්බර් පැවති සියයට 70ක උද්ධමන අගය ඉන් වසරකට පසු එනම්, 2023 සැප්තැම්බර් වන විට සියයට 2ට වඩා අඩු මට්ටමට පැමිණීම ඔවුහු අගය කරති.
එමෙන් ම ජනතාව ද කැපීපෙනෙන ඔරොත්තුදීමක් පෙන්වා ඇති බවද ඔවුන් නිරීක්ෂණය කර තිබේ. දුෂ්කර නමුත්, අත්‍යවශ්‍ය වූ ක්‍රියාමාර්ගයන් ගැනීම නිසා මෙම ප්‍රශංසනීය තත්ත්වයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව මාධ්‍ය නිවේදනයේ දැක්වේ. කෙසේවෙතත් ආර්ථිකයේ හැකිළීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ගම්‍යතාවය පහළ යන බව ද එයින් පෙන්වා දී තිබේ. මේ වසරේ මාර්තු - ජුනි අතර කාලසීමාව තුළදී දළ ජාත්‍යන්තර සංචිත ඩොලර් බිලියන 1.5කින් වර්ධනය වී ඇත.
බදු රැස්කිරීම මඟින් ආදායම් බලමුළු ගැන්වීම ඉතා වැදගත් බව මෙම දූත කණ්ඩායම පෙන්වා දී තිබේ. වසර අවසානයේ දී බදු ආදායම අඩු වීම නැවත මහජන සේවාවන් සැපයීමට රජයට බාධාවක් ඇති කරන බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ, බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම හා බදු පැහැර හැරීම් පිළිබඳ සොයා බලා ඒවා නැවත රැස්කරගැනීමට රජය අවධානය යොමු කළ යුතු බවයි. එසේ නොමැති නම් එය ණය තිරසාරභාවය ද අඩපණ කිරීමට හේතුවන් වනු ඇති බව IMF නියෝජිතයින්පෙන්වා දෙයි.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වල දී රජය කැපීපෙනෙන ප්‍රගතියක් අත් කරගෙන ඇති බව දූත කණ්ඩායම පෙන්වා දෙන අතර, මෑතක දී සම්මත කරගත් නව මහබැංකු පනත හා දූෂණ මර්දන පනත වැනි නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළහොත් මෙම තත්වය වැඩිදියුණු කරගැනීමට හැකි බව ඔවුහු පෙන්වා දෙති. එමෙන් ම ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද අනාගත ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ දී සහ බාහිර ණය හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා දිගටම පවත්වාගෙන යාම තුළින් ණය තිරසරභාවය පවත්වාගෙන යාමට බලධාරීන්ට හැකිව ඇතැයි දූත කණ්ඩායම නිරීක්ෂණය කර ඇත.
මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මූල්‍ය පාලනය, ප්‍රාග්ධනය හා ද්‍රවශීලතාවය පවත්වාගෙන යාමට මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුව ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් ශ්‍රී ලංකාව සිදු කරමින් ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මෙම පළමු සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා අවසන් කළ යුතු බවයි. එමඟින් නියමිත කාලයේ දී ණය ඉලක්කයන් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට සහයක් වනවා සේම ණය පියවීම සම්බන්ධ විශ්වසනීයත්වයක් ඇති කරන බව ඔවුන්ගේ මතයයි.
සමාජ ආරක්ෂණ දැල් ක්‍රියාවට නැංවීම, ඒවායේ ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නව සුදුසුකම් නිර්ණායක සමඟින් නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයක් ආරම්භ කිරීම ඔවුහු අගය කර තිබේ.
දූත කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුර දී, ආදායම් රැස්කිරීමේ ඉලක්ක, දූෂණ විරෝධී ප්‍රයත්න සහ අනෙකුත් වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා බලධාරීන් ඔවුන්ගේ සැලසුම්වල ප්‍රගතිය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද නිවේදනයේ සඳහන් ය.
නුදුරු කාලයේ දී කාර්ය මණ්ඩල ගිවිසුමකට යාමට මෙන් ම, "මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරන," බවට දූත මණ්ඩලය අවාසන වශයෙන් ප්‍රකාශ කර සිටී.
Lanka Newsweek © 2025