ගිය සෙනසුරාදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව වැඩි ඡන්ද 60 කින් සම්මත වුනා. යෝජනාවට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 62 කුත් හම්බ වුනා.පොහොට්ටුවේ බහුතරය යෝජනාවට පක්ෂව ඡන්දය දෙද්දී සජබය,මාලිමාව,නිදහස ජනතා සභාවේ බහුතරය යෝජනාවට විරුද්ධව ජන්දය දුන්නා.ශ්‍රිලනිපය ඡන්ද දීමෙන් වැලකී හිටියා.ඒ වෙනුවෙන් තිබුණ විවාදයේදී විපක්ෂ නායක සජිත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව අදහස් පල කළා.අද රටේ රාළ හදන්නේ සජිත්ගේ කතාවේ ගුණ දොස් කියන්න නෙවෙයි.හැබැයි ඒ කතාවේ කතා නොකරම බැරි කොටසක් තියනවා.ඒ කොටස ඇතුලේ කතා කරන්න ලොකු දේශපාලනයක් තියනවා.
සජිත් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනයට ඇමරිකන් ඩොලර් බිලියන 14 ක ආධාරයක් දෙනකොට අපිට අවුරුදු හතරකට දීලා තියෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වගේ පොඩි මුදලක් කියලයි. සජිත් අහන්නේ ලංකාවේ නායකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වඩා හොඳ සාකච්ඡාවක් කළා නම් ඇයි මීට වඩා විශාල සහනයක් ගන්න බැරිවුනේ කියලයි.එහෙම උනා නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර,ජනතාවටත් මේ තරම් බරක් පටවන්නේ නැතිව යන්න තිබුණා කියලයි.කතාවක් විදිහට ගත්තම ඒක හරි හොඳ කතාවක්. අදහසත් හොඳයි.හැබැයි එතනදී ඊළගට කියන්න ඕනි කතාව සජිත් කිව්වේ නෑ.ඒ වගේ ලොකු සහනයක් ගන්න රනිල්ලා IMF එකත් එක්ක කරන්න ඕනි මොන වගේ සාකච්ඡාවක්ද,ඒක කරන්න තිබුණේ කොහොමද කියලා සජිත් කිව්වේ නෑ.අනික එහෙම හොඳ ක්‍රමයක් ගැන සජිත් දැනගෙන හිටියා නං ඒක කියන්න ඕනි අපි IMF යන්න ඉස්සෙල්ලා.
දැන් අපට හම්බ වෙන්නේ බිලියන 2.9 යි.ඒකෙනුත් පළවෙනි වාරිකය අරන් ඉවරයි.IMF පනත සම්මත වෙලත් ඉවරයි.දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවත් පළවෙනිදා සම්මත වුනා.ඒ ඔක්කොම උනාට පස්සේ සජිත් කියනවා IMF එකත් එක්ක හොඳ සාකච්චාවක් කළේ නෑ කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා සජිත් මෙහෙම කිව්වා ඔයාලට මතක ඇති.සජිත්ට ඕනිම විදේශ රටක නායකයෙක් එක්ක,ජාත්‍යන්තර සංවිධානයක ප්‍රධානියෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා කට්ටිය සජිත්ගේ පැත්තට නම්මගන්න පුළුවන් කියලා.ඒ කියන්නේ English වලින් ගේමක් ගහන්න පුළුවන් තරමට සජිත් diplomatic.සමහරවිට IMF එකත් එක්ක කතා කරන්න ගිය රනිල්,නන්දලාල්,ශෙහාන් වගේ අය එච්චර diplomatic නැද්ද දන්නේ නෑ.ඔය වගේ වැඩකට ඉතින් ඉහල පිලිගැනීමක් තියන අය යවන්නත් ඕනි.මොනවා උනත් සජිත් කියන විදිහට දැන් අපට තිබුණ හොඳ අවස්ථාවක් දැන් ගිලිහිලා ගිහින්. මෙතනදී සජිත් උදාහරණයට ගත්තේ යුක්රේනය.ඒ කියන්නේ එච්චර ලොකු මුදලක් ගන්න යුක්රේනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක හොඳ සාකච්චාවක් කරලා තියනවා.ලෝක යුද්ධය වගේ එකක් කරමින් ඉන්න ගමන් සෙලෙන්ස්කි එහෙමත් කරලා.
අඩුම ගානේ තව ටිකක් කලින් සජිත් ඔය කතාව කිව්වා නං රනිල්ට සෙලෙන්ස්කිට කෝල් එකක් දීලා හරි කරන්න ඕනි විදිහ අහගන්න තිබුණා.ඇත්තටම සජිත් කියන මේ මෝඩ කතාවලින් තේරෙන්නේ සජිත්ට ජාත්‍යන්තර දේශපාලනය ගැන,යුක්රේන - රුසියා යුද්ධය ගැන, බටහිර අධිරාජ්‍යවාදය ගැන,බටහිර අධිරාජ්‍යවාදයේ මෙවලම් ගැන, නේටෝව ගැන මෙලෝ දැනුමක්, අවබෝධයක් නෑ කියලයි.සජිත් හිතාගෙන ඉන්නේ ලෝකය එකම තලයක සරල රේඛීයව ගමන් කරනවා කියලා.හරි ඔය ඔක්කොම පැත්තකින් තිබ්බත් අපි IMF එකට යන්නේ බංකොලොත් රටක් විදිහට, ඒ වගේම උපරිම ජාත්‍යන්තර පීඩනයක් අපට එල්ල වෙලා තිබුණ වෙලාවක.අපේ රටේ පාලකයෝ හොරු කියන චෝදනාව ලෝකය ඉස්සරහා සනාත වෙලා තියෙනකොට.රට බංකොලොත් වෙලා කන්න,බොන්න,බෙහෙත් ටික ගන්න,තෙල් ටික ගහගන්න නැතිව මහපාරේ මිනිස්සු මැරිලා වැටෙනකොට.
කොටින්ම රට ගිනිගත්ත වෙලාවක. යන්තං ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකට පින්සිද්ධ වෙන්න පණ ගැටගැහිලා තිබුණා.එහෙම තියන අවස්ථාවක තමයි සජිත් එදා කිව්වේ එයා නං IMF එක ඉස්සරහා දණ ගහන්නේ නෑ IMF එක එයා ඉස්සරහා දණ ගස්සවනවා වගේ කතා.එතනිනුත් නවතින්නේ නැතිව සජිත් කිව්වේ සජිත්ගේ ආණ්ඩුවක් යටතේ IMF ණය ගෙවන්නේ නෑ කියලා.ඇත්තටම ඔය වගේ ගමේ ගොඩේ බොරු චන්ඩි ඉන්නවා.කටේ පොඩ්ඩක් ගාගත්තට පස්සේ ගමේ ඉන්න පිලිගත්ත මිනිස්සුන්ගේ ගෙවල් ඉස්සරහට ගිහින් සරම උස්සගෙන කෑගහනවා.ඒ මිනිස්සු වැදගත් හින්දා ඔහේ ටිකක් කෑගහලා යයි කියලා සද්ධ නැතිව ඉන්නවා.හැබැයි ඉතින් අර යකාට කවදාවත් ඒ මිනිසුන්ගෙන් උදව්වක් නං ගන්න බෑ.සජිත් බැරිවෙලාවත් IMF ගියා නං මේ තියන බිලියන 2.9 ත් නැති වෙනවා.ඔය ගානට හරි බේරුණේ රනිල් හින්දා.මොකද බටහිර කදවුරේ වැඩිම පිලිගැනීම තියෙන ලංකාවේ දැනට ඉන්න දේශපාලනඥයා රනිල්.මහින්දලාට එහෙම පිලිගැනීමක් ඇත්තේම නෑ.
ඉතින් සජිත් ගැන කවර කතාද?බටහිර කදවුරේ ලොකු පිලිගැනීමක් මංගලට තිබ්බා.බටහිර කදවුර අපේ රටේ පිලිගත්ත නායකයෝ විදිහට දැනට ඉන්නේ චන්ද්‍රිකා, මෛත්‍රී,රනිල්,කරූ වගේ අතලොස්සක් විතරයි.ජීඑල්,හර්ෂ, රවී වගේ අයටත් යම් පිලිගැනීමක් තියනවා.ඒක අපේ පිලිගැනීම නොවෙන්න පුළුවන්.ඊළගට රුසියා - යුක්රේන යුද්ධය කියන්නේ නිකම්ම නිකන් රටක් යටත් කරගන්න කරන යුද්ධයක් නෙවෙයි.බටහිර ආධිපත්‍යයෙන් රුසියාවට ආපු තර්ජනයට එරෙහිව කරන සටනක්. බටහිර ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගන්න නං අනිවාර්යයෙන්ම රුසියාව පරාද කරන්න ඕනි. බටහිර ආධිපත්‍යයට එරෙහිව ගොඩනැගෙන ජාත්‍යන්තර බල කදවුර දුර්වල කරන්න නං රුසියාව සහ චීනය දුර්වල කිරීම තමයි බටහිර උපක්‍රමය.එතනදී රුසියාව දුර්වල කරන්න බටහිර පාවිච්චි කරපු රූකඩය තමයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි.චීනය දුර්වල කරන්න බටහිර පාවිච්චි කරන්නේ වීන - තායිවාන ප්රශ්නය. යුක්රේන - රුසියා යුද්ධයේදී රුසියාව පරාද කරන්න බටහිර උපරිම උත්සාහ දරනවා.බටහිර යුධ යාන්ත්‍රණය උන නේටෝව තමයි යුක්රේනය පිටිපස්සේ ඉන්නේ.
යුක්රේනයට අවශ්‍ය සියලු යුදමය සහය දෙන්නේ නේටෝව.ඒ යුධමය සහයට අමතරව බටහිර සතු දේශපාලන සහ මූල්‍ය බලය රුසියාවට විරුද්ධව යොදවනවා.ඒ වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය.ජීනීවා මානව හිමිකම් සමුළුව ඇතුළු බටහිර දේශපාලන උපකරණ භාවිතා කරගන්න පුළුවන් උපරිම සීමාවේ භාවිතා කරනවා.ඒ වගේම මූල්‍යමය වශයෙන් යුක්රේන ශක්තිමත් කරන්න බටහිර කදවුරේ මූල්‍ය ආයතන මැදිහත් වෙනවා.යුරෝපා සංගමය ඒකේ සැහෙන බරක් අදිනවා.ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ බටහිර මූල්‍ය ආයතනත් යුක්රේනයට ඩොලර් පොම්ප කරනවා.බටහිර ආශිර්වාදය යටතේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනයට ඩොලර් බිලියන 14 ක පැකේජයක් දුන්නේ.එහෙම නැතිව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සජිත් කියන විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක හොඳ සාකච්ඡාවක් කරලා නෙවෙයි. බටහිර තමන්ගේ ආධිපත්‍යය ආරක්ෂා කරගන්න ලෝකයේ තීරණාත්මක තැන්වලට රූකඩ නායකයන් හදාගෙන තියනවා.
ඒ අයගේ බලය රැකලා දෙන්න සල්ලි පොම්ප කරන්න බටහිර කිසිසේත්ම පැකිලෙන්නේ නෑ.සජිත් කියන විදිහට ඒවා ගන්න හොඳ වට මේස සාකච්ඡා ඕනි නෑ.එකම දේ සෘජු බටහිර රූකඩයක් විම විතරයි. එහෙම කරනවා නං ඉතින් යුක්රේනයට වඩා වැඩි අවස්ථාවක් අපට තියනවා.මොකද බටහිරට රුසියාව කඩලා දාන්න යුක්රේනය ඕනි වගේම ආසියාව අත්පත් කරගැනීමේ සැලැස්මේදී එයාලට අපිව නැතිවම බෑ.උපායමාර්ගික වශයෙන් අපිව අතිශයින් වැදගත්. මෙතන බටහිර කදවුරට යටත් රූකඩ පාලකයෙක් හැදෙනවා නම් ඒ බලය පවත්වාගෙන යන්න බටහිර ඩොලර් බිලියන 14 ක් නෙවෙයි 24 ක් උනත් දෙයි.බටහිරට අපේ රට ඇතුලේ එහෙම රූකඩ පාලනයක් යම් මට්ටමකින් හරි හදාගන්න පුළුවන් වුනේ ජේආර්ගේ කාලේ.ඒත් එදා ඉන්දියාව බටහිර විරෝධී තැනක හිටිය නිසා බටහිර ආක්‍රමණය සැහෙන දුරට සීමා වුනා.හැබැයි ඊට හිලව් විදිහට ඉන්දියාව අපේ රටට කඩාගෙන පැන්නා.ඊට පස්සේ බටහිර සහ ඉන්දියාව එකට සෙට් වෙලා අපට ගේම දෙන්න ආවා.රනිල් හරහා රිගේනින් ශ්‍රී ලංකා ගේන්න හැදුවා.
ගෝඨාභය බලයට ගෙනත් ඒ උත්සාහයම දැරුවා.ඒත් චීනය ඉස්සරහා රාජපක්ෂලා හිරකාරයෝ වෙලා හිටපු නිසා ඒකත් කරගන්න බැරිවුනා.දැන් වැඩේ කරනවා නම් කරන්න තියෙන්නේ රනිල් හරහා. මොකද රනිල් කියන්නේ බටහිර මිනිහා.ඒත් දැන් ලෝක තත්වය වෙනස්.දැන් ඒක ධ්‍රැවීය ලෝකය බිඳ වැටිලා බහු ධ්‍රැවීය ලෝකයක් නිර්මාණය වෙලා.දැන් බටහිර මිනිහා වෙච්චි රනිල්ටත් මේ නව ලෝක තත්වය නොසලකා වැඩ කරන්න බෑ.රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දියුණු චරිතයක්. මේ වෙලාවේ ජාත්‍යන්තර වේදිකාවේ අපි ඉන්න ඕනි තැන සහ යොදන්න ඕනි මාත්‍රාව රනිල් දන්නවා.මේ වෙලාවේ ලෝකයත් එක්ක කරන්න ඕනි ගනුදෙනුව රනිල් හරියට කරනවා.සජිත්ට ඒ රාජ්‍ය තාන්ත්‍රික බව දශමයකින්වත් ගැවිලා නෑ.සජිත්ට සමස්ථය විග්රහ කරගන්න බෑ.වැරදීමකින් හරි සජිත් මේ රටේ ජනාධිපති උනොත් ඊළඟ සෙලෙන්ස්කි වෙන්නේ සජිත්. මොකද සජිත්ට පේන්නේ හම්බ වෙන ඩොලර් ගාන විතරයි.ඒක ගන්න ගිහින් වෙන අනතුර සජත්ට පේන්නේ නෑ.රටට වදින කෲෂ් මිසයිල ගාන පේන්නේ නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
Lanka Newsweek © 2024