විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම පුළුල් එකගත්වකින් යුතුව ස්ථාපිත කළ යුතුව ඇති ආයතනයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම පිහිටුවීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතක ස්වරූපයෙන් ඉදිරිපත්ව ඇති ලේඛණය පිළිබඳව සමාජය තුළ මේ දිනවල සිදුවෙමින් පවත්නා සංවාදය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත් උනන්දුවෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින්නෙමු.
රටේ හා මහජනතාවගේ යහපත උදෙසා තීරණාත්මක වැදගත්කමක් දරණ විද්‍යුත් මාධ්‍යයේ පැවැත්ම හා ඒ මගින් සිදුකරන කාර්යභාරය අතිශයින්ම වැදගත්ය. එය ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ අයිතිය මත පදනම්ව ප්‍රවර්ධනය කල යුතු හා ආරක්ෂා කරගත යුතු මාධ්‍ය ව්‍යුහයකි.
ඒ සමගම රාජ්‍ය හා පුද්ගලික අංශයන්හි මෙහෙයවීම මත සිදුකරන විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ලන්ම විසින් ඒ සඳහා යොදාගන්නේ රටේ පොදු ජනතාව සතු සීමිත සම්පතක් වන විද්‍යුත් තරංග අවකාශයයි. නූතන ලෝකයේ සෑම රටක්ම එය ඉතාමත්ම ඉහළ වටිනාකමකින් ගණනය කරනු ලබන අතර බලපත්‍ර ක්‍රමය යටතේ ඒවා එක් එක් ආයතන වෙත වෙන්කර දෙනු ලබත්දී රටේ පොදු යහපත මුල්කරගත් නිසි ක්‍රමවේදයකට අනුකූලව සිදුකරන්නට තරයේ වගබලා ගනී.එමෙන්ම ඒ මගින් ඒ ඒ රටවල රාජ්‍ය ආදායමට විශාල දායකත්වක් ලබාගැනීමට ද කටයුතු කරනු ලබයි.
නූතන ලෝකයේ සෑම රටක්ම ඒ අකාරයට නිශ්චිත හා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයකට අනුගතව කටයුතු කරමින් සිටින නමුත් ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත්‍ර ලබාදීමේදි හා තරංග මාලා වෙන්කර දීමේදී අනුගමනය කර ඇති ඇතැම් ක්‍රියාමාර්ග අතිශයින් ප්‍රශ්ණකාරී බව බොදෙනාගේ පිළිගැනීමය.
එමෙන්ම ජනජීවිතයේ යහපැවැත්ම උදෙසා තීරණාත්මක බලපෑමක් සිදුකරන ක්‍රියාවලියක දී අතිශයින්ම පැහැදිළි විය යුතු ආචාරධර්ම පිළිබඳව පමණක් නොව බල දේශපාලන හා ආර්ථික ලැදියාව මුල්කරගත් විද්‍යුත් මාධ්‍ය භාවිතයන් හේතුවෙන් සිදුවී ඇති ඇතම් අවාසනාවන්ත සිදුවීම් ගැන ලෝක මට්ටමින් පවා බෝහෝ උදාහරණ තිබියදීත් රටක් වශයෙන් අප පැහැදිළි හා නිශ්චිත ක්‍රමවේදයකින් යුක්තවූ නියාමන ආයතනයක් පිහිටුවා ගැනීමට මෙතෙක් අසමත්ව තිබේ.
ගුවන්විදුලි හා රූපවාහීනී ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී හා තරංග මාලා වෙන්කර දීමේදී මෙන්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට ද හේතුවක් වන ආචාර ධර්ම මත පදනම් වූ මාධ්‍ය සංස්කෘතියකට දිරි ගන්වන, එමෙන්ම සාධාරණ හා නිසි පටිපාටියක් අනුගමනය කරමින් ඒ අනුව ක්‍රියාත්මක වන ඒ තුළ රාජ්‍යයට ලැබිය යුතු අයභාරයන් සහතික කරන නියාමනයක් රටට අවශ්‍යව ඇතැයි එහිදී අප විශ්වාස කරන්නෙමු. එමෙන්ම එම ක්‍රියාවලියෙහි මූලික පදනම මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් එය තහවුරු කිරීම වන බව ද අපි අවධාරණය කරන්නෙමු.
අප සංවිධානය මගින් මෙහෙයවනු ලබන කතිකා සංවාද මාලාවේ 132 වන වැඩසටහන මගින් පසුගිදා මේ පිළිබඳව අවධානය යොමු කළෙමු. එහිදී එයට සහභාගී වූ විද්වත් සම්පත් දායකයන් සියළු දෙනාම මෙන්ම සහභාගී වූ අන් සියල්ලන්ගේම පොදු අදහස වූවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා පැහැදිළි වැඩ පිළිවෙලකට යොමු වීම අවශ්‍ය බවයි. එමෙන්ම එහිදී එක් එක් ආණ්ඩුවල හා ව්‍යාපාරික අධිකාරීත්වයන්හි අනිසි බලපෑම්වලින් තොරව රටේ පොදු යහපත මුල්කරගත් ක්‍රමවේදයක් හරහා ඒ සඳහා යොමුවිය යුතුව ඇති බව ඒ සියළු දෙනාගේම පොදු අදහස විය.
එබැවින් අප මේ රටේ වගකිවයුතු සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට අදාළව ගනු ලබන සියළුම ක්‍රියාමාර්ගයන්හි දී සෑම පාර්ශවකම යෝජනා හා අදහස් සැලකිල්ලට ගනිමින් එම කටයුත්ත සිදුකරන ලෙසය.එමෙන්ම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් මේ වන විට ඉදිරිපත් කර ඇති විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා වන කෙටුම්පත පිළිබඳව මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී බලපත් නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා පත්කරන ලද මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව මගින් 2018 වසරේ දී නිකුත් කරනු ලැබූ පනත් කෙටුම්පත හා මාධ්‍ය සමාජය නියෝජනය කරන සංවිධාන හා ආයතන ඉදිරිපත් කරන යෝජනා සැලකිල්ලට ගනිමින් එම කටයුත්තට ප්‍රවේශ වන ලෙසය.
එහිදී අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කරන කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස සමාජ ගත කරමින් ඒ ගැන යෝජනා හා අදහස් ලබාගන්නා සංවාදයකට යොමුවීමද මැනැවයි යන්න අපගේ යෝජනාවයි.
Lanka Newsweek © 2025