අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවට කියනව උත්තර පත්‍ර බැලීම පටන් ගන්න තිබුණේ පෙබරවාරි 22ක කියල. (ඇමතිවරුන් පාර්ලිමේන්තුවට බොරු කියන්නෙ නැත) මේ වැඩේට වැඩිම වුණොත් දින 12 ක් තමයි යන්නෙ කියලයි විභාග දෙපාර්තමේන්තුව කියන්නෙ. එහෙම නම් මේ වැඩේ පෙබරවාරි 22 පටන් ගත්ත නම් ෆුටා වර්ජනයට පෙර මේ වැඩේ ඉවර කරන්න තිබුණා. මොකද ෆුටා වර්ජනය ආරම්භ කළේ මාර්තු 16. පෙබරවාරි 22 සිට මාර්තු 16 දක්වා දින 23ක් තියෙනවා. දෙපාරක් පිළිතුරු පත්‍ර බලන්න තිබුණා.
මේ ප්‍රමාදයට හේතුව ෆූටා වැඩවර්ජනය නෙවේ. වෙන කාරණයක්. ඒක තමා ගුරුවරු 19,000ක් අවශ්‍ය තැනට 12,000ක් පමණ ඉල්ලා තිබීම. 7000ක් මදියි. ඒ ආපු සංඛ්‍යාව සමග මේ වැඩේ කරන්න බැරි නිසා තමා වැඩේ කල් ගියේ. ඒ සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නෙ ඔවුන්ට ගෙවන ගෙවීම් ප්‍රමාණවත් මදි නිසා බව දෙපාර්තමේන්තුව දන්නව. ඒක ඇමතිවරයාත් පිළි ගන්නව. දැන් ෆූටා වර්ජනය අවසන් වුණත් බලන්න බෑ. අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරු සපයා ගන්නා තුරු. මේ වැඩේට වැඩි පුර ආධුනික අය ආවොත් එයාලව පුහුණු කරමින් තමා බලන්න වෙන්නෙ. නැත්නම් පිළිතුරු පත් ඇගයීමේ ගුණාත්මක බව පවත්වා ගන්න බැහැ.
ගිය අවුරුද්දට ගෙවිය යුතු මුදල කීයක් කියලද හිතන්නෙ. ගිය අවුරුද්දෙ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව අනුව පිළිතුරු පත්‍ර I සහ II බැලීමට එක් සහකාර පරීක්ෂකවරයකුට දින 12කට ගෙවන්න ඇස්තමේන්තු කර තිබුණ මුලු මුදල රුපියල් 24000.00 (13125.00 +10875.00). ගමන්වියදම් සහ බටා වශයෙන් දෙන සංහෘත දීමනාව රු.24000.00යි. ඒ කියන්නෙ පිළිතුරු පත්‍ර බලන්න දවසකට ලැබෙන්නෙ රු. 2000.00යි. ගිය අවුරුද්දට ගෙවිය යුතු මේ සොච්චම් මුදලවත් තවම ගෙවල නෑ.
මම හිතන්නෙ මේ නිසා තමයි ඉල්ලුම් පත්‍ර ගණන අඩු වුණේ. පිළිතුරු පත් බැලීම පමා වුණේ මේ ගෙවීම් වැඩි කර ගන්න දෙපාර්තමේන්තුව මහන්සි වුණ නිසයි. ඇමතිවරයාම කියනව භාණ්ඩාගාරය වැඩි කරන්න කළ යෝජනා සම්පූර්ණයෙන් අනුමත කළේ නෑ කියල.
2023 ට කීයද අනුමත කරල තියෙන්නෙ. පළමු ප්‍රශ්න පත්‍රයට රු.145.00 දෙවන පත්‍රයට රු.175.00යි. සංහෘත දීමනාව 2022 ප්‍රමාණයේම නොවෙනස්ව තිබියදී ප්‍රශ්න පත්‍ර දෙකට ලැබෙන මුලු මුදල රු.25125.00. මේක දවසකට ගනන් ගත්තොත් රු.2093.75යි. ගිය පාරට වඩා වැඩි රු.93.75යි.
ඉතින් ගුරුවරු නොඑන එක පුදුමයක්ද. දවස් 12ක් උදේ 8 සිට සවස 4 දක්වා හරියට කෑම කන්න තැනක් නැති වැසිකිළි කැසිකිළි නැති සමහර පාසැල්වල විඳින දුක දැක්කම මේ වගේ සොච්චමකට මේ ගුරුවරු කරන කැපවීම පුදුම සහගතයි (විභාග වැඩවල 1978 සිට 2012 දක්වා සහ 2019/20 දක්වෙ මා ලද අත්දැකීම අනුවයි එහෙම කියන්නෙ).
ඇත්තටම මේ රුපියල් 2093.00 සදහා නෙවෙයි මේ ගුරුවරු එන්නෙ. මේක ජාතික සේවයක් ලෙස සලකන නිසයි. ඔවුන්ට ප්‍රතිලාභයක් තියෙනව නම් එය අතට අහු වෙන එකක් නෙවේ. පේපර් මාකින් ආවම ලකූණු දීමේ පටිපාටිය සමග සම්බන්ධ වෙමින් සරසවි ඇදුරන් සමග කරන සාකච්ඡාවලින් ලැබෙන දැනුම සහ මේ කාර්යට සම්බන්ධවීම සමග තමන්ට ලැබෙන පිළි ගැනීම තමා ඔවුන්ට වටින්නෙ. නමුත් දැන් තිබෙන ආර්ථික අවපාතය අනුව තමන්ට ගෙවන දීමනාව ගැන ඔවුන් හිතන එක වළක්වන්න බෑ.
මේ පමාවට හේතුව ප්‍රමාණවත් පරීක්ෂකවරුන් නොමැතිවීමත් පරීක්ෂකවරුන්ට සාධාරණ ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය තීරණ ගැනීමට නොහැකිවීමත් නිසා ඇරඹුණ දෙයක්. එම නිසා හෙට උදේට ආචාර්යවරු එනව කිව්වත් වැඩේ පටන් ගන්න බැහැ ප්‍රමාණවත් ගුරුවරු ප්‍රමාණයක් ආවේ නැත්නම්.
මේ වැඩේ “අපිට දෙන්න අපි බලන්නම්” කියන කයිවාරුකාරයින්ට කරන්න පුලුවන් දෙයක් නොවේ. ප්‍රශ්න පත්‍ර සෑදූ මණ්ඩල විසින් ලකුණු දීමේ පටිපාටිය සාදා ඒ අනුව ලබා ගන්නා පුහුණුව අනුව කළ යුතු දෙයක්. එය පිළියෙල කරන්නේ සාම්පල පිළිතුරු පත් ප්‍රමාණයක් පරීක්ෂා කර විභාග අපේක්ෂකයන් දක්වා තිබෙන සමත්කම් අවබෝධ කර ගෙනයි.
පිළිතුරු පත් පරීක්ෂාව ඒ අන්දමට පිළියෙල කරන ලකුණු දීමේ පටිපාටිවලට අනුකූලව, පිළිතුරු පත් පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන්ට ලබා දෙන පුහුණුව මුල් කර ගෙන කරන සාමූහික ක්‍රියාවක් පිළිතුරු පත් පරීක්ෂාව. එය කණ්ඩායමක් ලෙස කරන සාමූහික ඇගයීමක්. මෙය අවසන් කරන්නෙ ලකුණු අවසාන ලකුණුද සකස් කර ඒවා ලැයිස්තුවලට දමා පරිගණක කිරීමේ ලැයිස්තුද පිළියෙල කිරීමෙනි. ඔය ගුරුවරුන්ගෙ කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ඒවාටත් යනව.
විභාගය පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීම ලැබී තිබෙන්නේ පාරෙ ඉන්න හැම කෙනාම ගෙනල්ල හෝ පරීක්ෂකවරුන්ට අත්‍යවශ්‍ය සේවා නියෝග දාල පිළිතුරු පත් බැලවීමෙන් නොවේ. මානසිකව තෘප්තිමත් මිනිසුන් පිරිසකගේ සාමූහික වගකීමක් ලෙස එය මේ අන්දමට ඉටු කිරීමෙන්.
දෙපාර්තමේන්තුව මේ ගෙවීම් වැඩි කරන්න කියල ඉල්ලපුවම භාණ්ඩාගාරයේ ඉන්න මහත්වරු ඒකත් එක්ක කරල තියෙන කඹ ඇදීම මෙතන පෙනෙනවා. දෙපාර්තමේන්තුව ඉල්ලූ ගණනත් අනුමත කර තිබෙන ගණනත් පෙන්නුවා නම් හොදයි මෙය ජනතාවට වටහා ගන්නට.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගෙවන්නට යෝජිත ගණන් පෙන්නල මේ කාර්යෙ බර අදින ගුරුවරුන්ගේ ප්‍රශ්නය වහන්න හදන්න එපා. විශ්ව විද්‍යාල ආචාර්යවරු ගාස්තු වැඩි කරන්න ඉල්ලා නෑ. ඔවුන් හැමදාම තම දෙපාර්තමේන්තු ප්‍රධානියාට දැනුම් දුන්නාම මේ කාර්යට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනව. ගෙවන ගණන් දැන ගන්නෙ වැඩේට ආවාට පසුවයි.
අහසේ ඉන්න පාලකයන්ට සහ ඔවුන්ගේ හෙංචයින්ට මේවා පෙනෙන්නේ නැහැ.ගුරුවරුන්ගෙ දේපල රාජසන්තක කරන්න පෙර මේ ප්‍රශ්නය ඔඩු දුවන්න ඇරපු නිළධාරීන් අල්ල ගෙන ඒ දඬුවම ක්‍රියාවට නැගුවා නම් නේද හොඳ..?
Lanka Newsweek © 2025