Monday 14th of October 2024

English Tamil
Advertiesment


ජනපතිගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැසසුමට


2023-03-28 14499

 

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.

ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බව ද ඔවුන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු නියෝජිතයන් සඳුදා (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණි.

ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙහිදී ශ්‍රී ලංකාවට සුබ පැතුම් පිරිනැමීය.

විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ඇගයීම් ප්‍රවර්ධනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඇගයීමට ලක් කළ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව අභියෝග ජය ගැනීමේ දී එය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

අනෙකුත් ජාතීන් හා සසඳන විට ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය මෙහිදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිළිගනු ලැබීය. ඊට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‌මෙහිදි පැවසීය.

විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවල තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මාර්කෝ සෙගොන් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ඇගැයීම් හැකියාව වර්ධනය කිරීමට සහාය දැක්වීමට ද සහතික විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධන විශේෂඥ අසේල කළුගම්පිටිය යන මහත්වරු සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Advertiesment