ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ රජයේ සැලසුම් දැනට ක්‍රියාත්මක වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. දිගු කලක් බලා සිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වෙනුවෙන් අවසරයද හිමිවිය. වත්මන් ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වෙනත් ණය ලබා ගැනීමේ මාර්ගය විවෘත කරවා ගැනීමට මෙමගින් රජයට හැකි වේ. කෙසේවෙතත් පැරණි ණය සහ නව ණය යන දෙකම ආපසු ගෙවිය හැකි බව සහතික කිරීම අභියෝගයක් වනු ඇත. මේ සඳහා රජය සිය නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට පටන් ගෙන ඇති අතර, එමගින්, මිල මට්ටම් ඉහළ යෑමෙන් පසු, බදු නොමැතිව පවා යන්තම් ජීවිතය ගැට ගසාගත හැකි ආදායම් උපයන්නන් මත, බදු බර සැළකිව යුතු ලෙස වැඩි කරනු ලබයි. ආණ්ඩුව රාජ්‍ය සේවය සීමාකිරීමට සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුම් කරන බවට සංඥා ද ලබා දෙමින් සිටී. මෙම පියවර අයවැය සමතුලිත කිරීම සඳහා අවශ්‍ය විය හැකි ප්‍රතිසංස්කරණ විය හැකි නමුත්, ඒවායින් පීඩාවට පත් ජනතාවගේ ප්‍රසාදය රජයට ලබා ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. රටේ ජනගහණයෙන් සියයට 40ක් පිරිස, දිනකට රුපියල් 225 ට අඩු ආදායමක් ලබන බැවින්, බොහෝදෙනෙක් නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමකට ලක්ව ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.
ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය වන්නේ, ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ජනප්‍රිය ඒවා නොවීමයි. ඔවුහු දේශපාලනික වශයෙන් ද දුෂ්කරතාවන්ට මුහුණදී සිටිති. අතීතය විශ්ලේෂණය කිරීමට අපොහොසත් වන්නේ නම්, තමාගේ අසාර්ථකත්වයට හේතු සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. එසේම අසාධාරණ ලෙස, පද්ධතිය අනිසි ලෙස භාවිත කළ හෝ ඊට හානි කළ අයට එරෙහිව පියවර ගැනීමෙන් වැළකීමේ ප්‍රතිඵලයද ඒ හා සමානය. රට මූල්‍යමය වශයෙන් ශක්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා වන මෙම ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන සාධාරණ නොවන්නේ නම්, එහි පිරිවැය මධ්‍යම පාන්තික හා ආදායම් මට්ටමේ පහළින් සිටින පිරිසට විශාල ලෙස දැරීමට සිදුවනු ඇත. ජීවන වියදම ඉහළ ගොස් ඇති අවස්ථාවක, ඉහළ මට්ටම්වලින් බදු අයකිරීමේදී දෙගුණයක් බරක් දැරීමට සිදුවන බැවින්, ස්ථාවර ආදායම් ලබන්නෝ විශේෂයෙන් පිඩාවට පත්වෙති. ව්‍යාපාරික අංශයට සහ ස්වාධීන වෘත්තිකයන්ට පිරිවැය වැඩිවීම තම ගනුදෙනුකරුවන්ට යොමුකළ හැකි නමුත්, ස්ථාවර ආදායමක් ඇති පුද්ගලයන්ට එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමේදී බදු බර දරාගත නොහැකි වේ. විගමන සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ මිලියන 1.2කට අධික ජනතාවක් හෙවත් ජනගහණයෙන් සියයට පහකට අධික පිරිසක් විදේශ රැකියා සඳහා රට හැර ගොස් ඇති බවයි.
ජනතාව අත්විඳින ආර්ථික දුෂ්කරතා, සාම්ප්‍රදායික වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ සංවිධාන බලමුලු ගැන්වීමට හේතු වී තිබේ. ඔවුන් සියල්ලෝම, ඔවුන්ගේ වියදමින් ආණ්ඩුවේ ආදායම් උත්පාදනයට එරෙහිව නැගී සිටිති. සංකේත වැඩවර්ජනයක් ලෙස විස්තර කරන ලද පසුගිය සතියේ ක්‍රියාත්මකවූ වැඩවර්ජනය සාර්ථක වූයේ, ආණ්ඩුවෙන් ඊට සහනශීලී ප්‍රතිචාරයක් ලබාදෙමිනි. කෙසේවෙතත් බොහෝ කම්කරුවන් රැකියාවෙන් ඉවත්ව සිටියේ නැත. ඒ, ඇතැම් විට, ජනාධිපතිවරයාගේ සමීපතම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ තර්ජනයට ලක්ව තම රැකියා පමණක් නොව දේපළ පවා අහිමි වේ යැයි යන බිය නිසා විය හැකිය. 1981 දී වැඩවර්ජන කරන ලද කම්කරුවන්ට, ඔවුන් සේවයෙන් පහකරන බවට රජය විසින් අනතුරු ඇඟවීම මේ සඳහා පූර්වාදර්ශයක් විය. රජය එදා තර්ජනය ක්‍රියාත්මක කළ අතර, රාජ්‍ය සේවකයන් 40,000 කට වැඩි පිරිසකට රැකියා අහිමි කෙරිණි. ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වලට දිගු කලක් දුක් විඳීමට සිදුවිය. එදා ආණ්ඩුවට අතිමහත් ජන වරමක් හිමි වූ නිසා සමාජයේ සෙසු පිරිස් මත මර්දනය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිණි.
තම ආර්ථික දුක්ගැනවිලි යළි සලකා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කිරීම හේතුවෙන් සිය වැඩ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරත වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත. මෙම වර්ජනයට ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය. සිය ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන්ට සිදු වූ බව ඔවුහු පැහැදිලි කළහ. වර්ජනය හේතුවෙන් සෞඛ්‍යය, තැපැල්, දුම්රිය ආදී සේවාවන්ට බාධා එල්ල විය. අධ්‍යාපනය, වරාය, විදුලිය, ජල සම්පාදන, ඛනිජ තෙල්, මාර්ග සංවර්ධන, බැංකු සේවා ඇතුළු අනෙකුත් අංශවල සේවකයෝ ද වර්ජනයට එක් වූහ. අවසානයේ වර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති තම ගැටළු ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම සඳහාවූ ජනාධිපතිවරයාගේ යෝජනාව භාරගන්නා බව පවසා ඇති අතර, සිය වැඩ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නවත්වන බව නිවේදනය කර තිබේ. මෙමගින් රජයට සිය උපායමාර්ගය ගැන නැවත සිතා බැලීමට අවස්ථාවක් ලැබෙනු ඇත. 1981 ආණ්ඩුවට මෙන් වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැත. පසුගිය වසරේ විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට ඇත්තේ නීතිමය වරමක් පමණකි.
මේ වන විට ආණ්ඩුව මහජන අප්‍රසාදය හමුවේ නොසැලී පසුවන බව පෙනේ. මහජන විරෝධතා යටපත් කර ඇත. විරෝධතා නායකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මිල සහ බදු වැඩිකිරීම් සමග සැලසුම් කළ පරිදි ඉදිරියට ගොස් තිබේ. ආර්ථික ප්‍රකෘතිය සඳහා දේශපාලන ස්ථාවරත්වය සහ මූල්‍ය සම්පත් යන දෙකම අවශ්‍ය වන බව පෙන්වාදෙමින්, ඊට ප්‍රමුඛත්වය ලබාදීමේ පදනම මත, ආණ්ඩුව සිය දැඩි ස්ථාවරයන් සාධාරණීකරණය කරමින් සිටී. කෙසේ වෙතත්, මහජන මතයට අවනත වීම ප්‍රතික්ෂේප කිරීමෙන්, ආණ්ඩුව වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ සංවිධානාත්මක බලවේග සමඟ ගැටුමක මාවතකට අවතීර්ණ වෙමින් සිටින බව දැකගත හැකිය. සාපේක්ෂ වශයෙන් සමාජයේ එක් කොටසක් බලපෑමට ලක් නොවන බව පෙනෙන්නට තිබියදීත්, සමාජයේ විශාල කොටසක් මත ආර්ථිකයේ බර පැටවීම, එරෙහි වියයුතු බරපතල අසාධාරණ තත්වයක් බවට හැඟීමක් ඇති කරනු ලබයි. වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක නිරත වීම සහ මහජන විරෝධතාවලට සම්බන්ධවූවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රවේශය නැවත සලකා බැලීම, වත්මන් තත්ත්වය තුළ සාමය ඇති කිරීමේ ක්‍රමවේදය ලෙස හඳුනාගත හැකිය.
අනෙක් අතට, දේශපාලන අර්බුදය තවත් උග්‍ර කර ඇත්තේ, මැතිවරණ කොමිසම විසින් අවස්ථා දෙකකදී මෙන්ම, අධිකරණය විසින්ද ඉල්ලා සිටි ආකාරයට, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සම්පත් රජය විසින් නිදහස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගවලට පවා ආණ්ඩුවේ ස්ථාවරය පටහැනි වන අතර, එම ස්ථාවරය විසින්, ඊට එරෙහිව දිනෙන් දින පුළුල් වන විරෝධයක් නිර්මාණය කර ඇත. පළාත් පාලන මැතිවරණය ව්‍යර්ථ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ, මැතිවරණ වලට හොඳින් මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ ආණ්ඩුවේ ප්‍රායෝගික නොහැකියාව හේතුවෙනි. මහජන මත විමසුම්වලින් පෙනී යන්නේ, ආණ්ඩුවේ පක්ෂ, විපක්ෂයේ පක්ෂවලට වඩා බෙහෙවින් අඩු ජන සහයෝගයක් ලබා ගන්නා බවයි. ජනාධිපතිවරයා හැර ආණ්ඩුවේ සෙසු පිරිස සමන්විත වන්නේ, මීට වසරකට පෙර නිර්මාණය වුණු ජනතා ව්‍යාපාරයේ උදහසට ලක්වූ සහ නින්දාසහගත ලෙස ඉල්ලා අස්වීමට සිදුවූ දේශපාලන පක්ෂ සහ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙනි.
මෙතෙක්, තමන්ට එල්ලවන බලපෑම්වලට ප්‍රතිචාරය ලෙස ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ, වීථි විරෝධතා නොඉවසමින්, පොලිස් ක්‍රියාමාර්ග හරහා විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමයි. නීතිය කුමක් වුවත්, තම කැමැත්තට අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය ආයතනවලට ද බලපෑම් කර ඇත. පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය එක් වරක් නොසලකා හැර ඇති අතර, දැන් මැතිවරණය යළිත් කල් දැමීමට සිදුව ඇති බවක් පෙනෙන්නට තිබේ. තමන්ට හැකි උපරිමයෙන් වගවීම සඳහා ස්වාධීනව කටයුතු කරමින් සිටින මානව හිමිකම් කොමිසම විසින් සිය අමාත්‍යවරුන් කැඳවීම ද ආණ්ඩුව නොතකා හරිමින් සිටී. මැතිවරණ වෙනුවෙන් මූල්‍ය සම්පත් අවහිර නොකරන ලෙසට ලබාදී ඇති අධිකරණ තීන්දුවට අවනත නොවීම යනු, ආණ්ඩුව විසින් දීර්ඝ කාලීනව රටට අහිතකර ලෙස බලපාන ආකාරයට, නීතියේ ආධිපත්‍යයට එල්ල කරනු ලබන මරු පහරකි. මේ සියල්ල අනාගත ආරවුල් සහ අවනීතිය සඳහා පෙළගැසෙමින් පවතින ඍණාත්මක ප්‍රවණතා වේ. මෙමගින් ලබාදෙන ඇඟවුම් වන්නේ, ඒවා දිගු කාලීනව රටේ සංවර්ධනයට හෝ එහි වටිනාකම්වලට යහපත් ලෙස දායකත්වයක් ලබානොදෙන බවයි.
තත්වයේ අවිනිශ්චිත බව ජනාධිපති වික්‍රමසිංහ දැන සිටින බවට ඉඟි පවතී. නිවසේ ගෑස් හෝ රටේ ප්‍රශ්න කෙරෙහි පීඩනය ඒකරාශීවීම වැළැක්විය යුතුය. පළපුරුදු දේශපාලන නායකයෙක්, අන්තර්ජාතික දේශපාලනයේ ශිෂ්‍යයෙක් සහ ඒ පිළිබඳව හොඳින් කියවන පුද්ගලයෙක් ලෙසින්, ඔහුට රජයේ පාර්ශව තුන සම්බන්ධ ගැටුමක් ඇති කර ගැනීමෙන් ඇති විය හැකි අන්තරායන් ගැන අවබෝධයක් ඇත. අධිකරණය සමඟ ගැටුමක් හෝ එහි තීරණ ප්‍රතික්ෂේප කිරීම යනු සමස්ත නීති පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමකි. එය, දේශපාලනයේ ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය සඳහා රජයේ පවතින කැපවීම කෙරෙහි ආයෝජකයන්ගේ සහ අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසයට එකසේ හානි කරනු ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිවරිය පසුගියදා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් මෙම කාරණය විදෙස් වේදිකාවේදී අවධානයට ලක්වීම වැළක්විය නොහැකිවනු ඇත.
නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ එක්සත් ජනපදයේ ස්ථාවරය අනෙකුත් බටහිර රටවල් සහ ජපානය විසින්ද ද දරනු ඇත. සහනදායී මූල්‍යකරණය සහ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය වැනි ප්‍රතිලාභ ආදී වශයෙන්, ශ්‍රී ලංකාව තවමත් ආර්ථික පෝෂණය, වෙළෙඳාම සහ ආධාර වෙනුවෙන් ලෝකයේ ධනවත්ම රටවල් මත යැපෙයි. ඒ නිසා රටේ බිම් මට්ටමේ කාරණා වෙනුවෙන් පවා අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන බලපෑම් විසින් ආණ්ඩුව මැතිවරණ දිශාවට තල්ලු කර, ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටීමට යොමුකරනු ලැබේ. ඵලදායි ලෙස රට පාලනය කිරීමට සහ ජාතික අවශ්‍යතා මත ගැටලු විසඳීමේ නියැලීම සඳහා, ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය ශක්තිමත් කිරීමට මැතිවරණ ඔස්සේ ජනවරමක් අවශ්‍ය වේ. මහජන මත විමසුම් මගින් ආණ්ඩුව දුර්වල බව පෙන්නුම් කරන නමුත්, එසේ අපේක්ෂා කරන ජනවරම පළාත් පාලන මට්ටමින් නොව, ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි ක්‍රියාත්මක කළ හැකි ජාතික මට්ටමේ මැතිවරණයක් මගින් වුවද උරගා බැලීමේ හැකියාව පවතී.
Lanka Newsweek © 2024