ජාතික වීරයින් අමතක කරන කිසිම රටකට අනාගතයක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ඩී.එස් සේනානායක ගුණ සමරු කමිටුවේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිවංගත ඩී.එස් සේනානායක මැතිතුමාගේ 71 වන ගුණ සමරුව වෙනුවෙන් පැවති උත්සවයේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
අපේ ජනතාව අතර ආකල්පීය වෙනසක් අවශ්‍යයි. "System Change" කියා නව පරපුර ඉල්ලන්නේ ඊට සමාන තත්ත්වයක්. එම කාර්යභාරය රජයට හෝ පාර්ලිමේන්තුවට තනියම කළ හැකි දෙයක් නොවෙයි. මුළු රටම ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. රජය නායකත්වය දිය යුතුයි.
IMF නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් යෝජනා කිරීමටත් පෙර සිටම අප විසින් දිගින් දිගටම සඳහන් කළා. එසේ මුලින්ම ඒ පිළිබඳව සැලකිලිමත් වූවා නම් අප මෙවැනි ආගාධයකට නොයන්නට ඉඩ තිබුණා.
අපි පසුගිය දශක කිහිපයේදීම නිදහස් දිනයේදීත්, මාර්තු 22 දිනත් යන දින දෙකේදීම මෙතනට ඇවිත් පුෂ්පෝපහාර දක්වා ගුණ වර්ණනා කර ගෙදර යනවා. නමුත් අපි මෙම ගැමි නායකයා කියූ කරුණු උපදෙස් පිළිගත්තා ද..? එතුමාට ආචාර්ය පදවි තිබුණේ නැහැ. නමුත් රට රට ගොඩනැගීමේ දී එදා එතුමා අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගත්තා. එතුමා ලබා දුන් වැදගත්ම පණිවිඩය "ජාතික අනන්‍යතාවය" රැක ගැනීමයි.
මෙම වකවානුවේ දී එම උපදෙස් අප අනුගමනය නොකළ නිසා ලේ වලින් විශාල වන්දියක් ගෙවීමට අපට සිදු වුණා. ජාතිවාදී අරගල, ත්‍රස්ත ක්‍රියා, දේපොළ සම්පත් විනාශය සේම ලෝකයා හමුවේ අපි දැඩි විවේචනයට ලක් වුණා. අපේ ජාතිය, අපේ ආගම අප ඉල්ලා ලබා ගත් දෙයක් නෙවෙයි. එය උපතින් ලැබෙන දෙයක්. බෞද්ධයකුට කිසි විටෙක ජාතිවාදී වන්නට බැහැ. බුදුන් වහන්සේ විසින් දේශනා කළේ එක් මිනිස් ජාතියක් ගැනයි. මජ්ජිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයේ කරුණු දක්වමින් සිවුපාවුන්, පක්ෂීන්, මත්ස්‍යයින් ආදී සත්වයින්ගේ එකම වර්ගයාගේ විවිධ වෙනස්කම් ගැනත් බුදුන් වහන්සේ දේශනා කළා. එවැනි වෙනස්කමක් මිනිසුන් අතර නැහැ.
තව දුරටත් ඩී.එස් සේනානායක චරිතයෙන් උගත යුතු බොහෝ දේ තිබෙනවා. මා මේ ගැන කතා කළේ පටු දේශපාලන අරමුණකින් ඉතා සුළු පිරිසක් නැවතත් ජාති, ආගම් භේද ඇති කිරීමට දරන උත්සාහය දකින නිසයි. එසේ වුව හොත් එය අපේ රටේ අවසානය වෙන්න පුළුවන්. අපි නිදහස ලබා ගත්තේ සියලු ජාතීන් සමගි වී එක්ව බ්‍රිතාන්‍ය කිරීටයට බලපෑම් කළ නිසා. වාසනාවට එදා සිටි නායකයින්ට මේ ජාතික සමගියේ වටිනාකම වැටහුණා. කුළල් කා ගැනීමෙන් තොරව නිදහස වෙනුවෙන් අත්වැල් බැඳ ගත්තා. එම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් නායකයින්ට අපි සදාකල් ණය ගැති විය යුතුයි.
එෆ් ආර් සේනානායක, ඩී එස් සේනානායක, පොන්නම්බලන් අරුනාචලම්, පොන්නම්බලන් රාමනාදන්, ශ්‍රීමත් ඩී බී ජයතිලක, එස් ඩබ්ලියු ආර් ඩී. බණ්ඩාරනායක, ටී බී ජයා, ඊ ඩබ්ලියු පෙරේරා, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ජේ ආර් ජයවර්ධන, ඩඩ්ලි සේනානායක වැනි විරුවන් ඇතුළු ජාතියට නිදහස ලබා දීමට එක්ව කටයුතු කළ සියලුම දෙනා ගෞරවයෙන් හා භක්තියෙන් සිහි කරනවා.
එතුමා විසින් රට වෙනුවෙන් දීර්ඝ කාලීනව සැලසුම් කළ අසීමිත වැඩ කොටස සඳහන් කිරීමට කාල වේලා නොමැති වුවත්, රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් එතුමන් දුක් වින්ද සහ කැප වුණු ආකාරය රහසක් නොවේ. ගල් ඔය ව්‍යාපාරය හරහා අම්පාර දිස්ත්‍රික්කයේ ඇති කළ පිබිදීම හේතුවෙන් අදටත් ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයෙන් 22% ක් වගා කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයේයි. දැන් එහි ජීවත් වන්නේ දෙවැනි හෝ තුන් වැනි පරම්පරාවයි. ඔවුන්ට දැන් ඩී.එස් නාමය අමතක වී ගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා. ඊට හේතුව වර්තමාන පරපුරට ජාතික වීරයින් ගැන පූර්ණ දැනීමක් ලැබිල නැහැ. එය අප රටේ අධ්‍යාපන ක්රමයේ අඩුපාඩුවක් වගේම වැඩිහිටියන් වශයෙන් අප දූදරුවන්ට අපගේ මුතුන්මිත්තන් පිළිබඳ නිවැරදි දැණුමක් ලබා නොදීම නිසයි. මෙය නිවැරදි විය යුතුයි. එසේ අතීතය අමතක වීම රටකට හානි කර විය හැකියි. තම රටේ වීරයින් අමතක කරන රටකට අනාගතයක් නැහැ. අප ගුණමකු විය යුතු නැහැ.
ගරු ජනාධිපති තුමනි, සම්භාවනීය අමුත්තනි, මේ ඩී.එස් සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස සිට අප ඉදිරිය දෙස බලන්න ඕනෑ. අපි අද ජීවත් වන්නේ එදා තිබූ ලෝකයේ නොවෙයි. සෑම දවසකම තාක්ෂණය වෙනස් වන යුගයක. කෝවිඩ් වසංගතය නිසා ලෝකය වෙනස් වුණා. භූ චලන, ජල ගැලීම් ආදියෙන් ස්වාභාවධර්මය පවා අද විශ්වයට දඬුවම් කරනවා. ශ්‍රී ලංකාවේ අපිත් මෑත යුගයේ දී අසීමිත දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. ආර්ථිකයේ බිඳ වැටීම් නිසා වැඩියෙන්ම පීඩාවට පත්වුණේ අසරණ ජනතාවයි.
IMF සම්මුතිය නිසා විදේශ විනිමය ගැටලුව සාර්ථකව විසඳෙමින් පවතිනවා. මෙය අපිට විශාල සහනයක්. අපිට ලෝකයේ හොඳ හිත ලැබෙන බවට දැන් ඉඟි පළ වනවා. සංචාරකයින්ගේ පැමිණීම දිනපතා වැඩි වෙනවා. විදේශ සේවා නියුක්තිකයින්ගේ මුදල් එවීම සෑහෙන මට්ටමක තිබෙනවා. නමුත් මේ සියල්ල ලැබුණා කියා පමණක් රටක් දියුණු කරන්න බැහැ.
රට යළි ගොඩනැගීමට නම්, පළමුව අපි වෙලාවට වැඩ වැඩ කරන ජාතියක් විය යුතුයි. දවසට පැය අටක් හෝ නියමිත පැය ගණන වැඩ නොකර පඩි ලබා ගැනීම පාපතර ක්‍රියාවක් බව අප වටහා ගත යුතුයි. ජන අනුපාතය අනුව ලෝකයේ විශාලතම රාජ්‍ය සේවය තිබෙන්නේ අපේ රටේ. එහෙත්, ලෝකයේ වැඩිම නිවාඩු ඇති රට ශ්‍රී ලංකාව බවට සඳහන් වෙලා තිබෙනවා. ජන අනුපාතය අනුව ලෝකයේ වැඩිම හමුදා ශක්තිය ඇති රටවල් අතර ශ්‍රීලංකාව ඉහළින්ම සඳහන් වෙනවා. මහා බ්‍රිතාන්‍යයටත්, බංගලාදේශයටත් වඩා විශාල පිරිසකගෙන් යුත් හමුදාවක් අපට තිබෙනවා. මහ ජනතාවගේ මුදල් කාබාසිනායා කරන රාජ්‍ය ආයතන 300 ක් පමණ තිබෙනවා. රටේ දූෂණය හා නිස්තිය ඉහවහා ගිහින්, රට අගාධයට ගිහිල්ලා. මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගිහින්. මේ සියලු බර සහ වේදනාවන් අවසානයේ දරන්නේ අපේ අහිංසක ජනතාවයි. විනයක් නැති රටක් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ. අප මේ සියල්ල තේරුම්ගෙන රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වන අක්‍රමිකතා ගැන ගරු අධිකරණ ඇමතිතුමා පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මේවා වහා නිවැරදි කළ යුතුයි. නීතිය රකින්නන් සිය වෘත්තීය ගරුත්වය රැක ගෙන ආදර්ශමත් විය යුතුයි. රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට පාර්ලිමේන්තුව තුළ යම් සමගියක් හා එකමුතු භාවයක් අවශ්‍ය බව අපි කීප විටක් සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ළඟදී අපි ආයාචනා කළා. ඒ අදහසට සුබවාදී ආකල්පමය ප්‍රතිචාර ලැබුණා.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි 1951 සැන් ෆ්රැන්සිස්කෝ නුවර දී ජපානයේ අනාගතය සැලසුම් කිරීමට පැවැති සම්මේලනයට ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ උපදෙසින් සහභාගිවූ ජේ. ආර් ජයවර්ධන මැතිතුමා "නහී වේරේන වේරානී" ගාථාව සඳහන් කරමින් ජපානයට සමාව දිය යුතු බවත්, රට බෙදීමට විරුද්ධවත්, දැඩිව කතා කළා. එදා ලෝක බලවතුන් එම චින්තනය පිළිගත්තා. මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා අද ජීවත්ව සිටියා නම් රාජ්‍යතන්ත්‍රයටත් අප සියලු දෙනාටත් ඒ හා සමාන උපදෙසක් ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එතුමන්ලා ජීවත්ව නොසිටියද ඔවුන් පෙන්වූ යහපත් මාර්ගයන් අප අනුගමනය කළ යුතු යැයි අපි විශ්වාස කරනවා.
IMF නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් යෝජනා කිරීමටත් පෙර සිටම අප විසින් දිගින් දිගටම සඳහන් කළා. එසේ මුලින්ම ඒ පිළිබඳව සැලකිලිමත් වූවානම් අප මෙවැනි ආගාධයකට නොයන්නට ඉඩ තිබුණා. ගරු ජනාධිපතිතුමනි, සම්භාවනීය ආරාධිත අමුත්තනි, මිත්‍රවරුනි, සත්භාවයෙන් අපේ සිතට පැමිණි මෙම සිතිවිලි තුළ වැදගත්කමක් ඇත්නම් කරුණාකර ඒ ගැන අවධානය යොමු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අප සඳහන් කළේ සමාජයේ බහුතරයකින් නැඟෙන හඬයි.
Lanka Newsweek © 2025