Monday 19th of May 2025

English Tamil
Advertiesment


IMF සම්මුතියෙන් ධනාත්මක ආර්ථික වාසි රැසක් ලැබෙන බව රවී කියයි


2023-03-21 14350


 
රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් සේම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිතා කෙරෙන බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පවසයි.

විදෙස් සංචිත ඉහළ නැවීම සහ ගෙවුම් ශේෂ ගැටලුවක් මග හරවා ගැනීම සඳහා 2019 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු  ඩොලර් බිලියන 1.5ක ණයක් ඵලදායී ලෙසින් හැසිරවීම සඳහා තමා මූලිකත්වය ගෙන කටයුතු කළ බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා මෙමගින් අතිරේක ජාත්‍යන්තර මූල්‍ය සහාය උත්පාදනයෙහි ළා තෙආකාරයකින් උපකාරී වනු ඇති බව ද පවසයි.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වීය අංශයන්ගෙන් ණය ලබා ගැනීම සඳහා බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගන්නා වැඩසටහනක් මූලික අවශ්‍යතාවක් වන බව ද ඔහු පැහැදිළි කර 
සිටියේය.

දෙවනුව, ස්ථාවරත්වය වෙනුවෙන් වන වැඩසටහනකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංවිධානය කරනු ලබන සහ ආධාර දෙනු ලබන රටවල කණ්ඩායමක් රටේ සහාය සඳහා ඉදිරිපත් වනු ඇති බව ද පෙන්වා දෙන රවී කරුණානායක මහතා ඒ යටතේ ලැබෙන මූල්‍ය ආධාරවලින් වැඩි ප්‍රමාණයක් එක් වරකදී ලබා දෙන ණය හෝ අඩු පොලියක් යටතේ පිරිනැමෙන දීර්ඝ කාලීන ණයක් වනු ඇති බව ද කියා සිටියි.

තෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළැඹීමෙන් ගොඩනැංවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසනීයත්වය භාවිතයෙන් පෞද්ගලික ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් තරඟකාරී පොලී අනුපාත යටතේ අරමුදල් ලබා ගැනීමට හැකි වන බව ද හිටපු මුදල් ඇමතිවරයා පවසයි.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙරටට විවෘත වීමෙන් පසුව ලැබෙන සුවිශේෂ ප්‍රතිලාභයක් වනු ඇත්තේ, සියුම් ප්‍රතිපත්ති වෙනස්කම් මාලාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආණ්ඩුවට ඉඩකඩ ලැබීම බව ද පෙන්වා දෙන රවී කරුණානායක මහතා ප්‍රතිපත්ති, උපදෙස් සහ හැකියා ගොඩනැංවීමේ ක්‍රියාකාරකම් සේම වෙළෙඳ පොළ පවතින පොලී අනුපාතවලට වඩා අඩු පොලී අනුපාත යටතේ සහනදායී මූල්‍ය ආධාර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ඇති බව ද කියා සිටියි.

ණය ස්ථාවරත්වය සහ මූල්‍ය හිඩැස් ආවරණය කිරීමට නම්, ශ්‍රී ලංකාවේ ණය නැවත ගෙවීම සඳහා ණය හිමියන්ගෙන් සහන සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් ද අවශ්‍ය වනු ඇති බව ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

ණය ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සහතික ශ්‍රී ලංකාවේ නිල ණය ලබා දෙන්නන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදී ඇති අතර, විස්තීරණ ණය පහසුකම මෙරටට ලැබීමට පෙර පෞද්ගලික ණය ලබා දෙන්නන් සමග සහයෝගීතා එකඟත්වයකට ද එළැඹීම වෙනුවෙන්  සද්භාවයෙන් යුත් උත්සාහයක් දැරීම තීරණාත්මක වනු ඇත.

ඉහළ තරඟකාරීත්වයෙන් යුතු සහ අපනයනය පාදක කොට ගත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා රජය විසින් මෙම ප්‍රතිපත්ති වෙනස්කම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු යැයි ද රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින අතර  ජන ගහනයෙන් වැඩි පිරිසක් ආර්ථික දුෂ්කරතාවන්ට පත්වීම වැලැක්විය යුතු බව ද කියා සිටියි. 

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු 15ක් ලබා දී ඇති බව පෙන්වා දුන් ඔහු, මූල්‍ය ශක්තිමත්භාවය අරභයා ආණ්ඩුවේ ආදායම් ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට අවස්ථාව එළැඹී ඇති බව ද පවසයි.

රාජ්‍ය අංශයේ ආයතන නිසා සිදු වන මූල්‍ය අවදානම අවම කර ගැනීම සහ එවැනි ආයතන ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් ඉන්ධන සහ විදුලි බලය සඳහා වන වියදම් ප්‍රතිසාධනය පාදක කොට ගත් මිළ ගණන් ක්‍රියාත්මක කිරීම ද මෙම පොරොන්දු අතර වේ.

සමාජ සුබසාධන වියදම් ඉහළ නංවා, දුප්පත් සහ අවදානමට ලක්ව සිටින පිරිස් වෙනුවෙන් සහාය ලබා දීමේ සමාජ ආරක්ෂණ ජාලයෙහි ආවරණ සීමා පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට ද යෝජනා කොට ඇති බව රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

දත්ත ප්‍රේරක මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය ශක්තිමත්භාවය සහ මූල්‍යමය යෙදවීම් අදියර කිහිපයක් යටතේ සිදු කිරීම, මිළ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා මහ බැංකුවේ ශක්තිමත් ස්වාධිපත්‍යය, විදෙස් සංචිත ස්ථාපිත කිරීම වෙනුවෙන් වෙළෙඳපොල විසින් තීරණය කෙරෙන සහ නම්‍යශීලී විනිමය අනුපාතික සේම නම්‍යශීලී උද්ධමන ඉලක්ක තන්ත්‍රයක් ද ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදුන් පොරොන්දු අතර තිබෙන බව ද හෙතෙම පැහැදිලි කර සිටියි.

එමෙන්ම, යහපත් සහ ප්‍රමාණවත් පරිදි වාසිදායක බැංකු පද්ධතියක් සහතික කරලීම සේම නියාමන සම්මතයන් සහ මූල්‍ය අංශයේ සුරක්ෂිතා ජාලය ඉහළ නැංවීම ද සිදු කළ යුතු බව කියා සිටින හිටපු මුදල් අමාත්‍යවරයා මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ දූෂණයට ඉඩ දෙන තත්ත්ව පහළ හෙලීමේ නීති-ප්‍රතිපත්ති ද ආණ්ඩුව විසින් පිළි ගෙන ඇති බව ද සඳහන් කරයි.

බොහෝ දුරට දූෂණය, අවපාලනය සහ තාක්ෂණික අසමත්කම් හේතුවෙන් කාර්ය ඵලය පහත වැටී ඇති රාජ්‍ය ආයතන වානිජකරණය කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු බව පෙන්වා දුන් ඔහු, එම ආයතන තව දුරටත් රටට බරක් වීමට ඉඩ නොතබා එම ආයතනවල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව ද වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 
 

Advertiesment