මැද පෙරදිග ගෘහ සේවයේ රැකියාවල නියුතු ශ්‍රී ලංකාවේ කාන්තාවන් රක්ෂණය කිරීම සඳහා හඳුන්වාදී ඇති රක්ෂණ ක්‍රමය කෝටි ගණනින් කොමිස් ගරා ගන්නා මහ පරිමාණයේ ජාවාරමක් බවට පත්ව තිබෙන බව, කුවේට්හි ශ්‍රී ලංකා විගමනික සුබ සාධක සංගමය එරට ශ්‍රී ලංකා තානාපති වෙත ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.
එම සංගමයේ සභාපති ෂේන් ඒ.එම් මිල්හාන් සහ ලේකම් එන්.එම්. නිරාෂ් යන මහත්වරුන් තානාපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් පෙන්නා දෙන්නේ මෙම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් කිසිදු නීත්‍යනුකුල ටෙන්ඩර් පටිපාටියක් නිසි ලෙස අනුගමනය කර නොමැති බව ය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුවේට් සේවායෝජකයන් සඳහා ඕමානය පදනම් කර ගත් National Life & General Insurance Company SAOG සමාගම සමග අනිවාර්ය කරමින් අගතිගාමී ප්‍රසිද්ධ තැරැව්කරුවකු මගින් මෙම රක්ෂණය හඳුන්වා දී තිබෙන බව එමගින් පෙන්වා දී ඇත.
එසේ අනිවාර්ය කරන චක්‍රලේඛයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකාර ඩී.ඩී.පී. සේනානායක මහතාගේ අස්සනින් ලියාපදිංචි රැකියා නියෝජිත සංගම් වෙත යවා තිබේ.
මෙම යෝජනා ක්‍රමයෙන් වසර දෙකක කාලයකට රක්ෂණ ආවරණය සඳහා අමෙරිකානු ඩොලර් 141 (කුවේට් ඩිනාර් 44) මිලක් නියම කර තිබෙන බව ත්, මේ හා සමාන රක්ෂණ ආවරණයක් කුවේට්හි ඉහළ ශ්‍රේණිගත කුවේට් රක්ෂණ සමාගම්වලින් වසර දෙකක කාලවකවානුවක් සඳහා රක්ෂණ ආවරණයක් අමෙරිකානු ඩොලර් 50කට (කුවේට් ඩිනාර් 16කට) ගත හැකිව තිබියදී ඉහත සඳහන් රක්ෂණ ආවරණයන් අමෙරිකානු ඩොලර් 91ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පගාව හෝ කොමිස් ලෙස ලබා ගෙන තිබෙන බව තානාපතිවරයා වෙත විගමනික ශ්‍රමික සුබසාධන සංගමය යැවූ ලිපියෙන් පෙන්නා දී තිබේ.
මෙම මහා පරිමාණ කොමිස් ගැහිල්ල ගැන සංගමයේ සභාපති ෂේන් ඒ.එම් මිල්හාන් පැවසුවේ මෙම දූෂිත රක්ෂණ සමාගම මසකට අමෙරිකානු ඩොලර් නවලක්ෂයක් කොමිස් උපයා ගන්නා බව ය. එම මුදල ශ්‍රී ලංකාවේ රුපියල්වලින් ගණන් බැලුවොත් මිලියන 330ක් එනම් කෝටි 33ක් වන බව ය.
මේ අනුව, මෙම රක්ෂණ ක්‍රමය මුළුමනින්ම අගතිගාමී සහ විශාල කොමිස් ගනුදෙනු සඳහා පෙළඹීම් සිදු කරන්නක් බව පැහැදිලිව පෙනෙන බැවින් මෙම කරුණු පිළිබඳව සොයා බලා කුවේට්හි පිළිගත් ඕනෑ ම ලියාපදිංචි රක්ෂණ සමාගමකට ඉඩකඩ ලැබෙන පරිදි සාධාරණ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට බලධාරීන්ට මග පෙන්වන ලෙස එම සංගමය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටී.
මෙම රක්ෂණ ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා විශාල වශයෙන් වීසා ලැබීම පහත වැටීමකට මුහුණ පා සිටින බව ද ශ්‍රී ලංකා විගමනික ශ්‍රමික සුබ සාධක සංගමය පෙන්වා දෙයි.
ප්‍රධාන වශයෙන් කුවේට්හි වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර ලේකම් විසින් නිකුත් කරන ලද 2009 මැයි 07 දිනැති අංක 14120 යෝජනාව මත සේවායෝජකයන් ගෙවන රක්ෂණ ක්‍රමයක් කුවේටය තුළ ක්‍රියාත්මක කිරීම කුවේට් නීතියට පටහැනි බවත් වෙනත් රටවල් ඉහත සඳහන් කුවේට් නීතිය සැලකිල්ලට ගනිමින් තම රටවල රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බැවින් සේවායෝජකයන් හිතාමතාම ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමිකයන් බඳවා ගැනීමෙන් වැළකී සිටින බවත් හුවමාරු මිල ගණන් අඩු කළ හොත් ශ්‍රී ලංකාවට මසකට අවම වශයෙන් එවන ඩොලර් මිලියන 4ක ප්‍රේෂණයන්ට මෙය දැඩි ලෙස බලපාන බවත් සංගමය පෙන්වා දී ඇත.
මෙම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ලියාපදිංචි විදෙස් රැකියා නියෝජිත සංගමයේ සභාපති වෙතට එවා තිබේ. මේ සම්බන්ධ තොරතුරු දැන ගැනීමට ඇමැති මනුෂ නානායක්කාර දුරකතනයට සම්බන්ධ කර ගැනීමට ‘මව්බිම’ අවස්ථා කිහිපයක් ම උත්සහ කළත් එය අසාර්ථක විය.
Lanka Newsweek © 2024