පාර්ලිමේන්තුව කල්තැබීම ඔස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, සමස්ත රටටත් ජනාධිපතිධූරයේ බලය පිළිබඳ මතක් කිරීමක් කර තිබේ. ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් පැවැතියේ නැත. මෙම තීරණයත් සමගින් රාජ්‍ය මූල්‍ය, ව්‍යවසාය සහ ගිණුම් සම්බන්ධ වැදගත් කාරක සභා ඇතුළුව පාර්ලිමේන්තු කමිටු 40කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වීම නතර කර ඇත. පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති රටේ 75 වැනි නිදහස් දිනය සැමරීමෙන් පසු, පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස් වූ විට, ජනාධිපතිවරයා විසින් 2048 වසරේ ශ්‍රී ලංකාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා ක්‍රියාත්මක වන නව ප්‍රතිපත්ති සහ නීති, ප්‍රකාශයට පත් කරනු ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. අගමැති ලී ක්වාන් යූ විසින් සිංගප්පූරුව සාපේක්ෂව ඌන සංවර්ධිත සහ දුප්පත් කෘෂිකාර්මික සමාජයක සිට, ලෝකයේ වඩාත්ම සංවර්ධිත රටක් බවට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කිරීමට යන එවැනිම වසර 25ක කාලසීමාවක් ඇතුළතය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා ගැටළු පිළිබඳ තම ස්ථාවරය වඩවඩාත් තහවුරු කරමින් සිටී. මෑතකදී ඔහු මුස්ලිම් පූජකවරුන්ගේ විශාල රැස්වීමකට සහභාගී වූ අතර, එහිදී ඔහු සමාජය නවීකරණය කළ යුතු බවත්, ආගමික වත්පිළිවෙත් ද නවීකරණය කළ යුතු බවත් දැඩි ලෙස ප්‍රකාශ කළේය. ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන්ද ඔහු තම ස්ථාවරයේ තදින් එල්බගෙන සිටින බව පෙනෙන්නට තිබේ. බදු ගෙවන රටේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බිඳ දමමින් ක්‍රියාත්මක වන බදු වැඩිකිරීම්වලට එරෙහිව රට පුරා පුළුල් විරෝධතා මතුව තිබේ. විදේශ ණය ආපසු ගෙවාගත නොහැකිව රට බංකොලොත් බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක, සියයට 80 ක අනුපාතයක් දක්වා ඉහළ ගොස් ඇති උද්ධමනයේ බලපෑම පළමුව ජනතාවට දරාගැනීමට සිදු විය. දැන් ඔවුන්ට අත්දැකීමට සිදුව ඇත්තේ, බොහෝ ලෙස දුබලවී ඇති, සිය සැබෑ ආදායමින් සියයට 36 දක්වාවූ බදු අනුපාතයක්ද අයකිරීම හේතුවෙන් ආදායම තවත් අඩුවෙමින් පවතින තත්වයකි.
එහෙත් රජය අත්හරින බවක් පෙනෙන්නට නැත. මුදල් අමාත්‍යධූරය දරන ජනාධිපති වික්‍රමසිංහ, බදු ප්‍රශ්නයට නොනැමෙමින්, ජනතා මනෝභාවයට එරෙහිව යමින් සිටී. රජයේ වියදම් සහ සංවර්ධන අරමුණු සඳහා භාවිත කිරීමට බදු පැනවීමට වඩා, සහනාධාර පිරිනැමීමේ පහසු මාර්ගය බවට පත්කරගත් දශක ගණනාවක රජයේ ප්‍රතිපත්ති බලහත්කාරයෙන් වෙනස් කිරීමට ඔහු අධිෂ්ඨාන කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායම ප්‍රතිශතයක් ලෙස සියයට 08කට වඩා අඩු වන අතර, සංසන්දනාත්මක වෙනත් රටවල බදු ආදායම සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයක් බව දැකගත හැකිය. බදු අයකිරීම හරහා දේශීය වශයෙන් සම්පත් උත්පාදනය කරනවාට වඩා, විදේශ ණය ගැනීම ඔස්සේ ආර්ථිකය පවත්වාගෙන යෑම මගින් සිදුවන්නේ, ආර්ථිකයේ මන්දගාමී වර්ධනය බව, ආර්ථිකය කඩාවැටීමට පෙර වකවානුවේ පවා තහවුරුවී තිබිණි.
ජනාධිපතිවරයා සිය මතයේ ස්ථාවරව සිටීමට තීරණය ගෙන ඇති බව පෙනෙන තවත් අංශයක් වන්නේ වාර්ගික ගැටුමට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියයි. වාර්ගික ජාතිකවාදයට ගරු කරන ආණ්ඩු වෙතින් සහ දේශපාලන නායකයන් වෙතින් මෙම ගැටළුව විසඳීමට පිළිතුරු අපේක්ෂා කළ නොහැකි බව ඔප්පු වී තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ගික හා ආගමික බෙදීම්වල සන්දර්භය තුළ වාර්ගික ජාතිකවාදියකු වීම, ඡන්ද ලබාගැනීමට සහ මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීමට පහසු මාර්ගයක් වී ඇත. අවසන් වරට සම්මත කෙරුණු 13 වන සංශෝධනය හැර, ශ්‍රී ලංකාවේ කිසිදු නායකයකුට, මේ දක්වා ඔවුන් කලින් කලට ගෙනආ සම්මුතිවාදී විසඳුම් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබී නැත. මීට පෙර අත්සන් තැබුණු, 1957 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම සහ 1965 ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම් ගිවිසුම වැනි ගිවිසුම්, ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමටවත් නොහැකි වූ ගිවිසුම් ගොන්නට ඇතුළත්වී තිබේ.
වාර්ගික ගැටුම සහ ජාතික සංහිඳියාව ගැන සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික රැස්වීමේදී, වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය ස්ථාවරය සම්බන්ධයෙන් තදින් සිටි බව දැකගැනීමට ලැබිණි. සංශෝධන සිදුකිරීමට ඔහුට ඇති නීත්‍යනුකුල අයිතියට අභියෝග කිරීමට උත්සාහ කළ වාර්ගික ජාතිකවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඔහු වචන හුවමාරු කර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ “දැනට පවතින නීතිය ක්‍රියාත්මක කිරීම විධායකය ලෙස මගේ වගකීමක්. වසර 37ක පමණ කාලයක සිට 13 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතිනවා. එක්කෝ මා විසින් එය ක්‍රියාත්මක කළයුතුයි. එය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට නම්, කිසිවකු විසින් ඒ සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් ගෙනැවිත් සම්මත කළයුතුයි. එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. එක්කෝ අපි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ නැහැ, එහෙමත් නැත්නම් අහෝසි කරනවා කියලා අපිට මැදි ස්ථාවරයක ඉන්න බැහැ.” යනුවෙනි.
1987 දී 2/3ක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ දා සිට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නැත. අමාත්‍යවරයකු හෝ අගමැතිවරයකු වශයෙන් වත්මන් ජනාධිපතිවරයා විවිධ ආකාරයෙන් සාමාජිකත්වය දැරූ අනුප්‍රාප්තික රජයන්, විශේෂයෙන්ම පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම සම්බන්ධයෙන් සැලකිව යුතු අන්දමින් ක්‍රියාත්මක වීමට අපොහොසත් වී ඇත. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු, යළි පෙබරවාරි 08 වැනිදා එය රැස් වූ විට, ජනාධිපති වික්‍රමසිංහ මහතාට ඉදිරි ගමන වෙනුවෙන් පාර්ලිමේන්තුව සහ රට යන දෙකම ඇමතීමට අවස්ථාව ලැබේ. තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිධූරයට ඇති බලය ප්‍රදර්ශනය කර ඇති ඔහුට, වාර්ගික ගැටුමට විසඳුම සහ ජාතික සංහිඳියාව ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ග සිතියම පිළිබඳ තම දැක්ම ඉදිරිපත් කිරීමට එහිදී අවස්ථාව උදාවනු ඇත.
පෙබරවාරි 20 වැනිදා ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිව තිබීමද විශේෂත්වයකි. පාර්ලිමේන්තුව කල්දැමීමෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම මහා සමාජයටද පණිවිඩයක් ලබාදී ඇත්තේ, තමන් පාර්ලිමේන්තුව කල් දැමූ ආකාරයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද ළඟදීම තමාට ලැබෙනු ඇති බවටය. පෙබරවාරි 20 වෙනිදා වත්මන් පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සැපිරෙයි. වසර දෙකහමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 21 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලය ලැබේ. ආණ්ඩු පක්ෂයට අයත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව අතර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට තබා තම මැතිවරණ කොට්ඨාසවලට යෑමට හෝ හැකියාවක් නොමැත. මෙම දුෂ්කර තත්වයන් යටතේ, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාට හෝ ඔහුගේ කැපවීමට හෝ අභියෝග කිරීමට ඔවුන් කැමති නොවනු ඇත.
කෙසේවෙතත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හීලෑ කිරීම විසින් ජනවාර්ගික ගැටුම විසඳීමට ඇති අවශ්‍යතාවක හෝ තිරසාර දේශපාලන විසඳුමක සාර්ථකත්වය සහතික නොකරයි. වාර්ගික ගැටුමක් විසින් විවිධ වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ ප්‍රාථමික හැඟීම් අවුස්සාලනු ලබයි. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් බොහෝ විට නිරූපණය කරනු ලබන්නේ, රට දශක ගණනාවක වාර්ගික ගැටුමකට සහ යුද්ධයකට ගෙන ගිය දුෂ්ටයන්ගේ භූමිකාවය. කෙසේ වෙතත් රටේ පවතින ගැටුම දේශපාලන පක්‍ෂවලට ගලාඑනු ලැබෙයි. 1928 දී, එවකට ලංකාව ලෙස හැඳින්වූ මෙරට, ප්‍රජා නායකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින්, ස්වයං පාලනයක් සඳහා රට සූදානම් දැයි සොයා බැලීමට කොමිසමක් පත්කර එවන ලදී. එහි තක්සේරුව සෘණාත්මක විය. විශාලතම ප්‍රජාවේ නියෝජිතයන් ඔවුන්ගේ අවශ්‍යතා ජාතික අවශ්‍යතාවය යන ස්ථාවරයේ සිටි බව එහිදී ඩොනමෝර් කොමිසම සඳහන් කළේය. එසේම එකිනෙකාට එරෙහිව බෙදී සිටි කුඩා ප්‍රජාවන්ගේ සියලුම නියෝජිතයන්, විශාලතම ප්‍රජාවට එරෙහිව එක්සත්වී ඇති බවද එහි ලියැවිණි.
එබැවින් වසර ගණනාවක් තිස්සේ පවතින බෙදීම්වලට ගොදුරු නොවී සිටීමේ වැදගත් කාර්යභාරයක් සිවිල් සමාජයට පැවරී තිබේ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළහැකි දේශපාලන විසඳුමක් පිළිබඳව සහ ජාතීන් අතර බලය බෙදාගැනීමේ අවශ්‍යතාව ජනතාවට පහදාදීමට සිවිල් සමාජයේ ප්‍රබුද්ධ නායකයන් කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතී. ජනවාර්ගික, ආගම්, කුල භේදයකින් තොරව, සමාන පුරවැසිභාවය සහ වෙනස්කොට සැලකීම නොකළ යුතුය යන්න ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි, විරෝධතාවලට නායකත්වය ලබාදුන් තරුණයන් පිරිසක් අරගලයේ උච්චතම අවස්ථාව වන විට එහි දක්නට ලැබිණි. පටු මැතිවරණ අරමුණු වෙනුවෙන් කටයුතු කරන වාර්ගික ජාතිකවාදී දේශපාලකයන් හමුවේ බෙදී නොයන බවට ඔවුහු ප්‍රතිඥා ලබාදුන්හ. ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ රජය, මෙම ප්‍රබුද්ධ තරුණ නායකයන් සමඟ සාධනීය ලෙස සම්බන්ධවී, ඔවුන්ට පොදු සමාවක් ලබාදී, විසඳුමේ කොටස්කරුවන් කරනවා වෙනුවට ඔවුන්ව පීඩාකාරී ව්‍යාපාරයක ඉලක්කය බවට පත් කිරීම ඇත්තෙන්ම හාස්‍යජනකය.
Lanka Newsweek © 2024