බොහෝ ආකාරයේ කල්දැමීම්වලින් අනතුරුව පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම අවසානයේ තීරණය කර ඇත. නීතියෙන් අවසර දී ඇති ප්‍රතිපාදන යටතේ, පළාත් පාලන ආයතනවල මැතිවරණ දැනටමත් වසරකින් කල් දමා තිබේ. මැතිවරණය වසරකින් ඔබ්බට කල්දැමුවහොත්, නීතියේ ආධිපත්‍යය ඛාදනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන, වෙනත් ආකාරයේ පාලනයන් වෙත යොමුවන, අඳුරු කලාපයන් වෙත රට ගමන් කරනු ඇත. කෙසේවෙතත් රට මැතිවරණයේ දිශාවට තල්ලුකර තිබේ. මැතිවරණ පැවැත්වීම සහතික කර ඇත්තේ ආණ්ඩුවේ වුවමනාවට නොව, විපක්ෂයේ දේශපාලන පක්ෂවල, සුබවාදී බලාපොරොත්තු සහිත අපේක්ෂකයන්ගේ සහ සිවිල් සමාජ හා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල අවශ්‍යතාව මතිනි. දේශපාලකයන්ට පෙනෙන්නේ හුදෙක් තේරී පත්වීම සහ තනතුරු අල්ලා ගැනීමේ අවස්ථාව පමණකි. පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයන් අඛණ්ඩව ක්‍රියාත්මකවීම සහතික කිරීමේ අවශ්‍යතාව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ක්රියා කරන සිවිල් සමාජ සංවිධාන පෙන්වාදී තිබේ.
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණද, පළාත් පාලන මැතිවරණය ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පැවැත්වේද යන සැකය තවමත් පවතී. මැතිවරණය පැවැත්වීමට භාණ්ඩාගාරයේ මුදල් නැතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයෝ කියති. ආණ්ඩුව මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙනගොස් ඇත. ජනාධිපතිවරයා ඇතුළු රජයේ අනෙකුත් ප්‍රකාශකයන් තර්ක කරමින් සිටින්නේ ආර්ථිකය වර්ධනය වනතුරු, රටේ ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවයි. තවත් කුතුහලය දනවන තර්කයක් වන්නේ, මැතිවරණය පැවැත්වීම සම්බන්ධ තීරණය ගන්නා අවස්ථාවේ භෞතිකව සහභාගිවී සිටියේ සාමාජිකයන් පස්දෙනාගෙන් දෙදෙනකු පමණක් බැවින් මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ මැතිවරණ කොමිසමේ තීරණය ප්‍රශ්නකාරී බවයි. මේ නිසා සහභාගී නොවූ බව පැවසෙන අනෙක් තිදෙනාම සූම් තාක්ෂණය ඔස්සේ අදාළ තීරණය ගැනීම සඳහා සහභාගී වූ බව පෙන්වාදීමට මැතිවරණ කොමිසමට සිදු විය.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ගන්නා බහුවිධ උත්සාහයන් සාර්ථක වීමට හෝ නොවීමට ඉඩ තිබේ. එහෙත් එම කුමන තත්වයක් මත වුවද ප්‍රතිවිපාක රැසකට මුහුණදීමට සිදුවනු ඇත. මැතිවරණ කොමිසම විසින් දින නියම කර තිබියදීත්, යම් හෙයකින් මැතිවරණය කල් දැමුවහොත් ඊට විරුද්ධ පක්ෂවල විරෝධය එල්ල වනු ඇත. ඔවුන් සහන පතා අධිකරණය හමුවට යෑම වැළක්විය නොහැකිය. සිවිල් සමාජ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඊට එක්වීම වැලැක්විය නොහැකිවේ. එහිදී අධිකරණයට පැනනගින ගැටලුව වනු ඇත්තේ, ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික අවශ්යතාවලට අවනත වෙනවාද, නැතිනම් නීතියේ සෘජු ක්‍රියාකාරීත්වයට අවනත වෙනවාද යන්නයි. මෑත කාලීන නඩුවලදී, විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ කාරණයේදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝදෙනාගේ ඉල්ලීමක්ව පවතින, "පද්ධති වෙනසක්" නිර්මාණය කරලීමට අවශ්‍ය කෙරෙන පසුබිම සකසන තීන්දුවක් ලබාදී ඇත.
මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරලීමේදී දේශපාලන පක්ෂවලට ද දැවැන්ත පීඩනයක් එල්ලවනු ඇත. කෙසේවෙතත්, ආණ්ඩුවට මහජන සහයෝගය නොලැබෙන බැවින්, ආණ්ඩුව මැතිවරණ පරාජයට බියෙන් සිටින බවට තක්සේරුවක් පවතින නිසා, විරුද්ධ පක්ෂ ධෛර්යයෙන් යුතුව කටයුතු කරනු ඇත. අයථා ලෙස උපයාගත් ධනය සතුකරගෙන සිටින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය අපොහොසත් වීම හමුවේ, ආර්ථිකය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රජය දරන මතයට කන්දීමට අද කැමැත්තෙන් සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණකි. අදූරදර්ශී ව්‍යාපාරික කණ්ඩායම් විසින් සඟවාගෙන සිටින මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 53ක් තරම් විශාල බව පැවසේ. එය රටේ ණය පියවීමට තරම් ප්රමාණවත් මුදලක් බව වාර්තා වන අතර, එම තත්වය ඉහළ බදු සහ උද්ධමනය හේතුවෙන් ජිවන තත්වයේ පහළම ස්ථරයේ ජීවත් වන සහ ඊටත් වඩා පහළට වැටෙන මිනිසුන්ට දැඩි ලෙස අහිතකර ය. එම මුදල් ගෙන්වා ගැනීමට, අදාළ සමාගම් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් රජය කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.
මහජන සහයෝගය හීන වී යන සන්දර්භයක් තුළ, විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට රජයකට ඇති හැකියාවද සීමාසහිත වනු ඇත. එහිදී, මහජනතාවගේ අප්‍රසාදයට ලක්වන සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලින් ඈත්වෙමින් සිටින රජයක් වෙනුවෙන් ක්‍රියාකිරීමෙන් තමන්ට මුහුණදීමට සිදුවන ප්‍රතිවිපාක පිළිබඳව ආරක්ෂක අංශද සැලකිලිමත් වනු ඇත. සන්නද්ධ හමුදාවන් ජනතාවගේ කොටසක් වන බැවින් ඔවුන්ටද ජනතාව වෙනුවෙන් හැඟීමක් පවතී. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සිටි ආරක්ෂක අංශ, ජනතා කැමැත්තට පටහැනිව ගොස්, පැහැදිලිවම ජනවරම අහිමි වූ ජනාධිපතිවරයකුට සහාය දැක්වීමට අකමැති වූ අතර, විරෝධතා ව්‍යාපාරයට මුහුණ දීමේදී ඉතා සංයමයෙන් කටයුතු කළ බව සිහිතබා ගත යුතුය.
අනෙක් අතට ආණ්ඩුව මැතිවරණය සමග ඉදිරියට යෑමට තීරණය කළහොත්, ඒ සඳහා වූ බිය සැබෑ ලෙස අවබෝධ වීමට ඉඩ තිබේ. ආර්ථිකය යළි පණගැන්වීමට ආණ්ඩුවට ඇති නොහැකියාව ,ආණ්ඩුවේ මැතිවරණ අපේක්ෂාවන්ට පටහැනි වනු ඇත. මතුපිටින් ආර්ථික ස්ථාවරත්වයේ පෙනුමක් පවතින අතර, ඉන්ධන පිරවුම්හල්වලින් පිටත දිගු පෝලිම් හෝ දිගු පැය විදුලි කප්පාදුවක් නොපවතින නමුත්, මෙම අර්බුදයේ අවසානයක් දැකිය නොහැකි වන්නේ නම්, සැළකිව යුතු තරමේ කුඩා ආදායමක් ලබන අතිමහත් බහුතරයකට ආර්ථිකය පවත්වාගෙන යෑමට අසීරුවනු ඇත. පසුගිය වසරේ ආර්ථිකය සියයට 08කින් හැකිලී ගිය අතර, මේ වසරේ එය සියයට 04කින් හැකිළෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිගුකලක් තිස්සේ අපේක්ෂාවෙන් සිටින අන්තර්ජාතික මූල්ය අරමුදලේ ණය තවමත් අනුමත කර නොමැති හෙයින්, ආර්ථික වර්ධනයේ අරමුණු සඳහා අන්තර්ජාතික ණය මාර්ග වෙත ප්‍රවේශ වීමට රජයට නොහැකි වී තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී ලබන සැළකිවයුතු පසුබැස්මකින් හෝ මුළුමනින්ම සේදීයෑමකින් අදහස් වන්නේ ආණ්ඩුවේ නීත්‍යනුකුලභාවය තවදුරටත් අඩුවීමකි. මැතිවරණ පසුබෑමක්, ආණ්ඩුවේ තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියායාත්මක කිරීමට ඇති හැකියාවට සෘණාත්මකව බලපානු ඇත. 2020 අගෝස්තු මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබා ගත් අතර, අද වන විටත් පාර්ලිමේන්තුවේ ආසන 225න් 134ක ශක්තිමත් ජනවරමක් ලබාදුන් එම ජනවරමේ නීත්‍යනුකුලභාවයට තහවුරු කරගෙන සිටීමට රජය සමත්ව සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට බල කරමින් පසුගිය වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වය විසින් එම ජනවරමේ නීත්‍යනුකුලභාවය ඛාදනය කරනු ලැබීය. ඔහුගෙන් පසු බලයට පත් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් දේශපාලන හා යුධ බලය දක්ෂ ලෙස භාවිත කරමින් විරෝධතා ව්‍යාපාරයේ ගමන්මග කඩාකප්පල් කර දැමුවේය. කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණයේ පරාජයක් හමුවේ ආණ්ඩුවට පවතින, සාර්ථක ලෙස පාලනය කිරීමට ඇති හැකියාව දුර්වල වනු ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවත් නැතත්, විරෝධතා ව්‍යාපාරයේ මීළඟ අදියර මෙහෙයවනු ලබන්නේ ප්‍රධාන ධාරාවේ විපක්ෂ දේශපාලන පක්ෂ විසිනි. එහි පළමු අදියරේදී, ස්වයංව පැනනැගුණු සහ සංවිධානාත්මක දේශපාලන නායකත්වයක් නොපැවතිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසරේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව නායකත්වයෙන් ඉල්ලා අස් වූ විට ඔවුන් වෙනුවට ආදේශ කිරීමට සිය නායකත්වයක් විරෝධතා ව්‍යාපාරයට නොමැති විය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබන්නේ ප්‍රධාන ධාරාවේ විපක්ෂ දේශපාලන පක්ෂ යි. වසර දෙකහමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබීමට සමගාමීව මහ මැතිවරණයක් පැවැත්වීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වනු ඇත. මෙම තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා පසුගිය මාස තුනක කාලය තුළ පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට පවතින කාල රාමුව සීමාසහිතවී තිබේ.
විශේෂයෙන්ම රටේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සහ සුළු ජනවාර්ගික හා ආගමික කොටස් අතර විශාල බලාපොරොත්තුවක් ජනිත කර ඇති මෙම පොරොන්දුව, අන් කිසිවක් නොව, නිදහස ලැබූ දා සිට රට තුළ පැවැති දරුණු වාර්ගික ගැටුම විසඳීමේ පොරොන්දුවයි. ජනාධිපතිවරයා සහ උතුර හා නැගෙනහිර දෙමළ ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය විසින් හඳුනාගෙන ඇති ප්‍රශ්න අතර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්රියාත්මක කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දශක ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් චෝදනාවලින් තොරව නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම, දේපල හිමියන්ගේ අයිතිවාසිකම් නොසලකා හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම, අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීම සඳහා සත්ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සහ අතීතයේ ජනතාවගේ සිත්තුළ සිදුවූ තුවාල සුව කිරීමට ක්‍රමවේදයන් නිර්දේශ පවතී. ඔහු එම ගැටළු විසඳීමේ ගමන්මග තෝරා ගන්නේ නම්, ජාතික සමගියට, සංහිඳියාවට සහ සංවර්ධනයට ඇති බාධාවලින් රට ඉවත් කර, නොබෙල් සාම ත්‍යාග කමිටුව සලකා බලන, ලෝකයට ආදර්ශයක් ලබාදුන් නායකයා ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ සිය සලකුණ තැබීමට ජනාධිපති වික්‍රමසිංහට හැකියාව ලැබෙනු ඇත.
Lanka Newsweek © 2024