Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


සැබෑ සංහිඳියාව වෙනුවෙන් රාජ්‍යයේ රැකවරණය-සැලකිල්ල-ආරක්ෂාව අවශ්‍ය වේ


2022-12-26 13983

 

(ජෙහාන් පෙරේරා)

 

විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සංවිධාන ගණනාවක් විසින් පසුගිය සතිය කැපකරන ලද්දේ මානව හිමිකම් පිලිබඳ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා ය. විශේෂයෙන්ම විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමෙන් පසු මානව හිමිකම් විෂය ආන්දෝලනයට තුඩු දී ඇත. ජාතික ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳ ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදෙන පාර්ශ්වයේ සහ යුක්තියට ප්‍රමුඛත්වය ලබාදෙන පාර්ශ්වයේ අවශ්‍යතා අතර ආතතියක් පවතින බව පෙනෙන්නට තිබේ. යුක්තිය පිළිබඳ ගැටලුව කරළියට පැමිණ ඇත්තේ ආර්ථිකය දුර්වලව ඇති සන්දර්භය තුළ වන අතර, එය සුළුතරයකට එතරම් දැඩි ලෙස බලපාන්නේ නැතත්, ජනගහණයෙන් බහුතරයකට බරපතල ලෙස බලපානු ලබයි. ආර්ථික ව්‍යසනයට වඩාත්ම වගකිව යුතු පුද්ගලයෝ තවමත් බලයේ සිටිති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් තවදුරටත් බලයට ගෙනඒමට කරනු ලබන උත්සාහයන් සමගින්, ඔවුන්ගේ අතීත සහ වර්තමාන ක්‍රියාකාරකම් විශාල වශයෙන් ජනතාවට ඇති කළ බලපෑම් නොසලකා හැර තිබෙන බැවින්, ආර්ථිකයේ දිගින් දිගටම කඩා වැටීමක් දක්නට ලැබේ.

සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මෙම වසරේ අවසන් කාර්තුවේදී රටේ ආර්ථිකය සියයට 11.8 කින් හැකිලී ඇති බවට ආර්ථික තොරතුරු නිකුත් වීම අසුබ ආරංචියකි. එමගින් පෙන්නුම් කරන්නේ ජූලි මාසයෙන් අවසන්වූ, වසරේ දෙවන කාර්තුවේ සිදුවූ විපත්තිදායක විප්ලවීය සිදුවීම්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ක්‍රියාත්මකවූ රාජ්‍ය මර්දනයෙන් ආපසු හැරවී නොමැති බවයි. විරෝධතා ව්‍යාපාරයේ දේශපාලන මර්ධනය, ආර්ථිකය යළි පණගන්වන මූල්‍ය  ආයෝජන වැඩිකර ගැනීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිඵල ලබා දී නොමැති බව පැහැදිලිය. විරෝධතා ව්‍යාපාරය දේශපාලනමය වශයෙන් මර්ධනය කෙරුණද, ආර්ථිකය යළි පණගැන්වීම සඳහා අවශ්‍ය ආයෝජන වැඩිකර ගැනීම සම්බන්ධයෙන් එය සාධනීය ප්‍රතිඵල ලබා දී නොමැති බව පැහැදිලිය. අන්තර්ජාතික මානව හිමිකම් දින සැමරුම් අතරතුර, පසුගිය සතියේ මා සහභාගී වූ සිදුවීම් තුනකදී මෙය පිළිබිඹු විය. ඉන් දෙකක් සංවිධානය කර තිබුණේ රයිට් ටු ලයිෆ් සාමූහිකය(Right to Life Collective) සහ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමය(Association of War Affected Women) යන සිවිල් සමාජ සංවිධාන විසිනි. තෙවැන්න රාජ්‍ය ආයතනයක් වන ජාතික මානව හිමිකම් කොමිසම විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලාංකේය සමාජයේ විවිධත්වය සහ බහුත්වවාදය කලාතුරකින් දැකිය හැකි හෝ ප්‍රසිද්ධියේ පිළිගැනෙන ආකාරයෙන් එක්කොට ගෙනැවිත් තිබුණු මින් අවසාන වැඩසටහන විශේෂයෙන් ආකර්ෂණීය විය. විවිධ හේතූන් මත මානව හිමිකම් කොමිෂන් සභාව මෑත කාලීනව සැළකිව යුතු අවධානයකට ලක් විය. වත්මන් කොමිසමේ සාමාජිකයන් තෝරාගෙන ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලයේ සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම අයෙකු පත්කිරීමේ අභිමතය පරිදිය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජනාධිපතිවරයා අතට බලය සංකේන්ද්‍රණය කිරීමට උත්සාහ කෙරුණු අතර, එය හඳුන්වා දෙනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදීය.

 

කොමිෂන් සභාව පහත හෙළා ඇත

 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන ආයතන දුර්වල කිරීම, මානව හිමිකම් ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන සිවිල් සමාජ කණ්ඩායම්වල සහ අන්තර්ජාතික ප්‍රජාවගේ අප්‍රසාදයට හේතුවී තිබේ. මෙහි එක් අවාසනාවන්ත ප්‍රතිවිපාකයක් වූයේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව “A තත්ත්වය” සිට “B තත්ත්වය” දක්වා පහත හෙලීමයි. මෙයින් අදහස් කෙරෙන්නේ මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ සහ අදහස් දෙස වෙනදා නොතිබූ ප්‍රමාණයට වඩා වැඩි සැලකිල්ලකින් සහ අඩු බරකින් අවධානය යොමුකරන බවයි. එය ලෝකයේ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අන්තර්ජාතික නියෝජිතායතන විසින් ලබා දෙන ආර්ථික සහ ආයතනික සහයෝගයේ මට්ටමට ද බලපානු ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේණිගත කිරීම් වලදී පහත හෙළිම ඔස්සේ, අන්තර්ජාතික හවුල්කාරිත්වයන් හරහා ලබා ගත හැකි ඩොලර් ගලා ඒම අඩු කර ඇති අතර, එය ජාතික ආර්ථිකයට වක්‍රව බලපා ඇත. රටේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ පවතින දුර්වල ප්‍රතිරූපයටද එය බලපා තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු සමස්ත මානව හිමිකම් ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරනතුරු, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී ප්ලස්(GSP+) බදු සහනය ඉවත් කරගන්නා බවට වන අනතුරු ඇඟවීම යුරෝපා සංගමය විසින් නිකුත් කිරීමට ගත් තීරණය එහි ප්‍රතිඵලයක් විය හැකිය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ යුක්තිය පිලිබඳ යාන්ත්‍රණයේ විශ්වසනීයත්වය දුර්වලවීම, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ දැඩි යෝජනාවට ද දායක වන්නට ඇත.

රජය විසින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පොදුවේ ඇගයීමට ලක්ව ඇතත්, ඒ හරහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ කාර්යභාරය සම්පුර්ණවී නැත. නිදසුනක් වශයෙන්, 21 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් අනතුරුවද, පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් තුළ සිය අභිමතය පරිදි විසුරුවා හැරීමේ අයිතිය සහ අමාත්‍යාංශ කිහිපයක් සිය පාලනය යටතේ තබා ගැනීමට ඇති හැකියාව මගින් ජනාධිපතිවරයා තවදුරටත් තම ආයතනික ග්‍රහණය රඳවාගෙන සිටින ආකාරය දැකගත හැකිය. එසේම ජනාධිපතිවරයාට අභිමතය පරිදි තමාට අවශ්‍ය ඕනෑම අයකු ඇමැතිධූර සඳහා පත්කිරීමේ හැකියාව තවදුරටත් පවතී. කෙසේ වෙතත්, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් ගත්කල, 20 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට එවැනි පත්කිරීම් සිදුකිරීමට ලබාදී තිබූ අත්තනෝමතික බලය ඔහුගෙන් ඉවත්කර ඇති බව දැකගත හැකිය. ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස අවංකභාවය ඇති පුද්ගලයන් පත්කිරීමේ වැඩි සම්භාවිතාවක් මෙමගින් ලබාදී ඇත.

 

කොමිෂන් සභා නැවත පිහිටුවීම

 

මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් අලුතින් තෝරාගැනීමේ ප්‍රතිපාදන ද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වේ. විශේෂයෙන්ම, වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුකූල නොවන අයුරින් ස්වාධීන ලෙස තනතුරු භාරගෙන ඇති සාමාජිකයන් සිටින, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කනස්සල්ල පළ කර තිබේ. මෙම කොමිෂන් සභා දෙක විසින් මතභේදයට තුඩුදී ඇති කරුණු සම්බන්ධයෙන් ගනු ලබා ඇති ස්ථාවරයන් සිවිල් සමාජයේ බොහෝ දෙනා අගය කර ඇති බැවින් මෙය අවාසනාවන්ත තත්වයක් වනු ඇත.

ඇත්ත වශයෙන්ම, රජයේ අප්‍රසාදයට ලක්වීමේ අවදානමක් තිබියදීත්, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික මානව හිමිකම් දින උත්සවයට මා සහභාගී වූයේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතනයක් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට ඇති ආශාව හේතුවෙනි. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ආදර්ශවත් වූයේ, එමගින් රට වටකරමින් සිටින මානව හිමිකම් පිළිබඳ ගැටලු සඳහා වඩාත් ගැඹුරු සහ ගැඹුරු ප්‍රවේශයක් ලබාදුන් බැවිනි. වර්තමානයේදී අවධානය යොමු වී ඇත්තේ, මූලික මානව හිමිකම් සම්මුතිවල අඩංගු අංගයක් වන රජයට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතිවාසිකම් කෙරෙහි ය.

ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට සම්බන්ධවීමේ නිදහස සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික වේ. විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම තුළින් මෙම අයිතීන් සීමා කිරීමට රජය විසින් කටයුතු කර ඇති බව දැකගත හැකිය. මේ සම්බන්ධයෙන් රජය සහ ව්‍යාපාරික සංසද විසින් ඉදිරිපත් කරන සාධාරණීකරණය වන්නේ, කාලීන අවශ්‍යතාවය ලෙස ආර්ථිකය පණ ගැන්විය හැකි දේශපාලන ස්ථාවරත්වයක් පැවැතිය යුතු බවයි. මෙම තර්ක මගින් රට වර්තමාන කණගාටුදායක තත්ත්වයට පත්කරන ලද සැබෑ සාධක සහ ඒවායේ අසාර්ථකත්වය නොසලකා හැර තිබේ. පසුගිය කාර්තුවේ අමිහිරි ආර්ථික ක්‍රියාකාරිත්වය විසින් පෙන්නුම් කරන්නේ, රජයේ ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතුව තිබුණු නමුත්,එසේ අවධානයට යොමුනොකරන ලද මානය මෙය බවයි. ජනතා අයිතීන් සීමා කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරන ව්‍යාජ ස්ථාවරභාවයෙන් රටට කිසිදු වාසියක් අත්වන්නේ නැත.

 

පුළුල් සංහිඳියාව

 

දශක ගණනාවක් තිස්සේ වෙනස් කොට සැළකීම, විරසක කරවීම හා අවසානයේ එමගින් ත්‍රස්තවාදයට සහ යුද්ධයට තුඩු දුන් රටේ 'වාර්ගික හා ආගමික සුළුතරයන් ඇතුළත් කර නොගැනීම' කෙරෙහි නැවත අවධානය යොමු කරමින්, ජාතික සංහිඳියා ක්‍රියාවලිය වේගවත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ ප්‍රතිඥා ලබාදී ඇත. කෙසේ වෙතත්, සැබැවින්ම ඇතුළත් කරගැනීම යනු වාර්ගික හා ආගමික විවිධත්වයේ සීමාවන් ඉක්මවා යෑමයි. එසේම ජනවාර්ගික හා ආගමික භේදයෙන් ඔබ්බට විහිදෙන ශ්‍රී ලාංකේය සමාජයේ විවිධත්වයේ සහ බහුත්වවාදයේ අනෙකුත් පැතිකඩද සැළකිල්ලට ගැනීම එහිදී සිදුවිය යුතුය. කුලය, ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ආබාධිතභාවය සහ රැකියාව යන ප්‍රශ්න හේතුවෙන් ජනගහණයෙන් විශාල කොටසක් සිය මානව හිමිකම් භුක්ති විඳීමෙන් සහ සමාජ හා ආර්ථික ජීවිතයේ ප්‍රධාන ධාරාවට එක්වීමෙන් වීමෙන් බැහැර කරනු ලැබ තිබේ.

සීමාවන්ට ලක්කර ඇති නමුත්, ජාතික ප්‍රජාව වෙනුවෙන් වූ තමන් සතුව ඇති පුළුල් පරාසයක සේවාවන් පිළිබඳ ඇඟවීමක් මානව හිමිකම් කොමිසමේ උත්සවය විසින් ලබා දුන්නේය. එහිදී තමන් නියෝජනය කළ කණ්ඩායම් වෙනුවෙන් කතා කිරීමට අවස්ථාවක් ලබා දුන් පුද්ගලයෝ අතර දේශපාලනයේ යෙදෙන කාන්තාවෝ, වධහිංසාවට ලක්වූවෝ, ශාරීරිකව වින්දිතයෝ බවට පත්වූවෝ වූහ. අවම තරමින් එවැනි කණ්ඩායම් විස්සක් පමණ මෙම උත්සවයේදී අදහස් දැක්වීය. අවවරප්‍රසාදිතයෝ, ලිංගික ශ්‍රමිකයෝ, ලිංගික සුළුතරය, නිදහස් වෙළඳ කලාප සේවකයෝ සහ ඒඩ්ස් රෝගීහු ඒ අතර වූහ. උපතින් කුරු මවක්, සිය කුරු බැවින් යුක්ත පුත්‍රයාට බැංකුවක උසින් වැඩි කවුන්ටරයක් ඉදිරියට ගොස් ගනුදෙනු කිරීමේදී විඳීමට සිදුවූ ගෞරවයකින් තොර අත්දැකීම් විස්තර කළාය.

කථිකයන් විසින් මෙහිදී උද්දීපනය කරන ලද එක් මැසිවිල්ලක් වූයේ, ඔවුන්ට කතාකිරීමට මෙන්ම විරෝධතා දැක්වීමට හැකියාව ඇති නමුත් ඒවා අවධානයට ලක්නොවිමයි. ඔවුන්ට විවිධ පොරොන්දු ලබා දී ඇති නමුත් ඉන් පසුව කිසිදු පියවරක් හෝ පසු විපරම් කිරීමක් සිදුවී නොමැත. බහුත්වවාදයට ගරු කිරීම යන්නෙන් අදහස් වන්නේ, සමාජය තුළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව හෝ තනතුර නොසළකා සියලු හඬවල් ඇසෙන්නට සලස්වා, ඒවාට ඇහුම්කන් දීමයි. නුදුටු සහ හඳුනා නොගත් සුළු ජාතීන් රාජ්‍යයේ රැකවරණයට සහ ආරක්‍ෂිත වැළඳගැනීම්වලට ඇතුළත් කළහොත්, ලබන වසරේ නිදහස් දිනය වන විට ජාතික සංහිඳියාව ඇති කරන බවට පොරොන්දු වෙමින් ජනාධිපති වික්‍රමසිංහ කතා කරන ශ්‍රී ලංකාවේ දෘශ්‍යමාන රාජ්‍යය කෙරෙහි සුළුතරයන්ගේ විශ්වාසයක් ගොඩනැංවෙනු ඇත.

 

 

Advertiesment