Friday 4th of October 2024

English Tamil
Advertiesment


ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඕනෑ


2022-12-10 14321

 

(මහාචාර්ය මිල්ටන් රාජරත්න විසිනි)
 

මහ බැංකු අධිපතිවරයෙකු අලුතින් පත් කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳිය නොහැකිය. මහ බැංකුවේ වගකීම වන්නේ මුල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීම විනා ආර්ථික වර්ධනය හෝ සංවර්ධනය නොවේ. සාර්ව ආර්ථික උපකරණ හෙවත් tools සම්ප්‍රදායික ලෙස මෙහෙයවා හෙමින් හෙමින් සාර්ව ආර්ථික සමතුලිතතාව ඇති කිරීමට මහ බැංකුව ක්‍රියා කරයි. 

ඒ වනාහී දිගු කාලීන වැඩ පිළිවෙළකි. ආර්ථික විද්‍යාඥ කේන්ස් වරක් පැවසුවේ දිගු කාලයේ දී සියලු දෙනා මරණයට පත්වන බැවින් (In the long-run, everyone will be dead) ආර්ථිකය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ක්‍ෂණිකව ගත යුතුය යන්නයි. ඒ වනාහි මහ බැංකුවේ කාර්යභාරයට ඔබ්බෙහි පවතින වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ කියා පෑමකි. 

මෙම ලිපියෙන් පෙන්වා දෙනු ලබන්නේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාව සහ එමහින් අවධානය යොමු කළ යුතු උපයමාර්ගවලින් දෙක තුනක් පමණි. ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ඍජුවම ජනාධිපතිවරයාට වග කියන සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය විෂය කොට ගත් අනෙක් අදාළ ආයතන සම්බන්ධීකරණය කරනු ලබන ආයතනයක ස්වරුපය ගත යුතුය. 

මේ පිළිබඳ නැගෙනහිර ආසියානු කාර්මික රටවල අත්දැකීම් මා විසින් රචිත "නැගෙනහිර ආසියාවේ නැගීම" යන කෘතියෙහි පෙන්වා දී තිබේ. මෙම ලිපියෙන් යෝජනා කර ඇති අදහස් රජයේ අවධානය හසු නොවූවද ආර්ථික විද්‍යාඥයෙකු සහ ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස මෙම ව්‍යසනකාරී තත්ත්වය මත චින්තන ශක්තියෙන් දායක වීම අපගේ වගකීමකි. 

එමෙන්ම ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය මෙහෙයවීමට වයෝවෘද්ධ, නිද්‍රාශීලී, ගතානුගතික, තියරි කාරයන් වෙනුවට ප්‍රායෝගික ඥානයෙන් හෙබි කඩිසර පුද්ගලයන් පත් කළ යුතුය. එම මධ්‍යස්ථානය රාජ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයක් ලෙස නොව නවීන චින්තන මෙහෙයවා ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුවහොත් ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ද ආර්ථිකයට අමතර බරක් වනු ඇත.

IMF, ලෝක බැංකු, ඉන්දියානු සහ චීන ණයවලින් අර්බුදය ජය ගත හැකි බව ආණ්ඩුවත් මහ බැංකුවත් විශ්වාස කරමින් ඒ පසුපස පමණක් යමින් සිටී. එම ක්‍රියාව මහත් මුලාවකි. වලේ වැටුණු පසු ඉන් ගොඩ ඒමට කාගේ හෝ පිහිට පැතීමට සිදු වුවත් ගෙවා දැමීමට නොහැකි තරම් විදේශ ණය ගැනීමෙන් සහ දැරිය නොහැකි රාජ්‍ය වියදම් නිසා අමතක නොකළ යුතුය. 

අලුතින් ණය ගැනීමෙන් තාවකාලික සහනයක් ලැබිය හැකි වුවත් එම ණය දැනට තිබෙන ණය ප්‍රමාණය වැඩිවීමට බලපාන අතර සමස්ථ ණය බර වැඩිවීමට ද හේතු වේ. ඒ අනුව අනාගතයේ දී වැඩි ණය බරක් හට ගෙන ද ඒ හේතුවෙන් අලුතින් ණය ගැනීමට නොහැකි තත්වයක් උදාවන බව ද සිහි තබා ගත යුතුය. එබැවින් ණය ගෙවීම පිණිස ණය ගැනීමෙන් මේ අර්බුදය ජය ගත නොහැක. 

එසේ නම් ක්ෂණික ක්‍රියාමාර්ග කීපයක් ආණ්ඩුව විසින් ගත යුතුය. එහිලා මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සුපුරුදු පරිදි කරන ලද ක්‍රියාවන් ඔස්සේ ආර්ථික අර්බුදය ජය ගැනීමට කල්පනා නොකළ යුතුය. සැබවින්ම අද සිදුවී ඇත්තේ ඔවුන්ගේ අපරික්ෂාකාරී, අවෘත්තික සහ අමනොඥ ක්‍රියාවන්ට වන්දි ගෙවීමකි. එබැවින් ඔවුන්ට වඩා ඉහළින් සිතිය හැකි පිරිසකට ක්ෂණික තීරණ ගැනීමට ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු විය යුතුය. 

ආර්ථිකය ගොඩ ගැනීමට ප්‍රායෝගික චින්තන ශක්තියක් සහ විශ්ලේෂණ හැකියාවන් ඇති පිරිසක් ඊට පත් කර ගත යුතුය. සම්ප්‍රදායට පිටින් අලුතෙන් හිතන්නට හැකියාවක් ඇති ආර්ථික විද්‍යාඥයන්, සංඛ්‍යාන විද්‍යාඥයන්, ආර්ථිකයේ සහ සමාජයේ ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්ෂණික පිළියම් සෙවීම පිණිස විශේෂඥයන් එම මධ්‍යස්ථානයට අනුයුක්ත කළ යුතුය. ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් නිළධාරීන්ට නව උපාය මාර්ග නිර්දේශ කළ යුතුය. එම නිර්දේශ ක්ෂණික, කෙටි කාලීන සහ මාධ්‍ය කාලීන ඒවා විය යුතුය. ඒ ඔස්සේ තිරසාර පිළියම් ඇතුළත් ප්‍රතිපත්ති ක්‍රමයෙන් සකස් කළ යුතුය. 

ආර්ථික ප්‍රශ්න මේ වන විට සමාජ ප්‍රශ්න සහ ජීවත් වීමේ ප්‍රශ්න බවට හැරෙමින් තිබේ. ඖෂධ හිඟය දුප්පත් පොහොසත් සැමට දැනෙන්නට පටන්ගෙන තිබේ. ඖෂධ හිඟය නිසා රෝගීන් මිය යාම, හදවත් රෝග, ආඝාතය සහ ආතතිය යන රෝග වැඩි වීමේ ප්‍රවනතාවක් ඇති බව සෞඛ්‍ය අංශවලින් ආරංචි වේ. අධි උද්ධමනකාරී තත්ත්වය නිසා මුර්ත පරිභෝජනය දැඩි ලෙස පිරිහී තිබේ. මේ තත්ත්වය අඩු ආදායම් ලාභීන්ගේ අත්‍යවශ්‍ය පරිභෝජනය පවා හීන කර තිබේ. එහිලා ආහාර-පාන පමණක් නොව සෞඛ්‍ය අධ්‍යාපන සේවාවන් ලබා ගැනීමේ දුෂ්කරතාව ද දැඩිව තිබේ. 

රුපියල අවප්‍රමාණ වීමෙන් හට ගත් උද්ධමනයට වඩා වෙළෙන්දන් විසින් නිර්මාණය කරන ලද උද්ධමනය සහ ආණ්ඩුවේ මුදල් අච්චු ගැසීම උද්ධමනය තීව්‍ර කිරීමට වඩාත් බලපා තිබේ. මේ නිසා පළමුව දේශීය සාධක කරණ කොට ගෙන හට ගත් උද්ධමනය පාලන කිරීමට පියවර ගත යුතුය. එමගින් සැලකිය යුතු ලෙස උද්ධමනය පාලන කර ගත හැකි වනු ඇත. ඒ සඳහා වෙළෙඳ පොළ උපකරණවලට හැකියාවක් නැති නම් වෙළෙඳ පොළ නොවන රාජ්‍ය මැදිහත් වීම ද කෙටි කාලයක් සඳහා යොදා ගත යුතුය. මේ මාර්ගයෙන් අධි උද්ධමනය වලක්වා ගත හැකි වනු ඇත. 

රුපියල බාල්දු වීම නිසා හට ගත් උද්ධමනකාරී බලපෑම ඉවත් කර ගැනීමට රුපියල ශක්තිමත් කර ගත යුතුය. ඊට ක්ෂණික පියවර සේම මැදි සහ දිගු කාලීන පියවර ද ගත හැකිය. යෝජිත ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ක්ෂණික පියවර කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුය. මා මීට පෙරද යෝජනා කර ඇති පරිදි සංක්‍රාම ආදායම් යථා තත්ත්වයට පත් කර ගැනීමට බොහෝ පෙළඹීම් කළ හැක. එම පෙළඹවීම් තුළ විනිමය ශ්‍රී ලංකාවට එවන පුද්ගලයන් සහ එම පවුල් වරප්‍රසාද ලත් පවුල් ලෙස නම් කොට වරප්‍රසාද ලබා දිය යුතුය. එවැනි වැඩපිළිවෙලවල් නිර්මාණය කිරීම් ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ සිදු කළ හැකිය. 

එමෙන්ම ආනයන මල්ල ලිහා බලා ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් කිරීමෙන් ආනයන වියදම් සැලකිය යුතු ලෙස සීමා කර ගත හැකිය. ආනයන භාණ්ඩ දස දහස් ගණනක් තුළ නිරපරාදේ විනිමය කන භාණ්ඩ දහස් ගණනකට වැට බැඳිය හැක. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙළඳපල ක්‍රම මෙන්ම රජයේ ඍජු මැදිහත් වීමේ ක්‍රම ද රැසක් තිබේ. 

අපනයන ප්‍රවර්ධනය ක්ෂණිකව සිදු කළ හැකි දෙයක් නොවන බැවින් ඉන් පළ නෙලා ගැනීමට ටික කලක් ගතවේ. එබැවින් අපනයන ප්‍රවර්ධන කාර්මික ප්‍රතිපත්තියට අමතරව අලුතින් ආනයන ආදේශන ඍජු ආයෝජන ප්‍රතිපත්තියක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එමගින් ආයෝජන ඔස්සේ විනිමය ලබා ගැනීමට මෙන්ම ආනයන ආදේශනය ඔස්සේ විනිමය ඉතිරි කර ගැනීමට ද ඉඩ ලැබේ. 

ඊට අමතර ලෙස අප රටේ උගත් ශ්‍රමිකයන්ට නිසි වැඩ පුහුණුවක් ලබා දී ඔවුන්ගේ හැකියා වර්ධනය කොට ශ්‍රම අපනයනය කෙරෙහි ක්ෂණිකව යොමු විය හැක. ඒ සඳහා විදේශවලින් සහය ඉල්ලා ගත යුතුය. ශ්‍රී ලංකාවේ සෑම මිත්‍ර රටකින්ම මේ පිළිබඳ විමසීම් කළ හැක. මේ වන විට බංගලි දේශයට සහ නේපාලයට පවා අපේ ශ්‍රමිකයන් පිටත් කර හැරීමට තරම් බංකොලොත් භාවයට අප රට පත්වී ඇත. ඔවුන්ගේ ඉපයුම් ශ්‍රී ලංකාවට ලබා ගන්නා නීතිමය සහ ඉහත කී පෙළඹවීම් ක්‍රම භාවිත කළ යුතුය. ණය ඉල්ලා සිඟමන් යදිනවාට වඩා මේ ක්‍රියාදාමය අගනා තිරසාර පියවරකි.
 

Advertiesment