Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


පාලනයේ විශ්වසනීයත්වය ගොඩනගාගත යුත්තේ මැතිවරණවලින් විනා ආරක්ෂක අංශ හරහා නොවේ 


2022-12-03 14315

 

(ආචාර්ය ජෙහාන් පෙරේරා)

 

ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, ආණ්ඩු වෙනස් කිරීම සඳහා වන ඕනෑම මහජන විරෝධතාවක් හමුදාව යොදවා මර්දනය කිරීමටත් තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමෙන් ඔහු තුළ ඇති පීඩනය පිළිබිඹු වේ. විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔහු ආරක්ෂක අංශ යොදාගෙන ඇති ආකාරය අපේක්ෂා කරන ලද්දක් නොවේ. ඔහුගේ වචන සහ ක්‍රියාව, ඔහු මීට පෙර පස් වතාවක් අගමැතිවරයෙකු ලෙස පෙනී සිට ක්‍රියාකළ ආකාරයට වඩා පටහැනි ය. මැතිවරණවලදී ඔහුට සහ ඔහුගේ පක්ෂයට නිරන්තරයෙන් ඡන්දය දුන් වාර්ගික හා ආගමික සුළුතරයන් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සත්‍ය වේ. ජාතික ආරක්ෂාවට අභිමානයක් ලබාදීම සඳහා යොදාගත් රාජ්‍ය පීඩනයේ දැඩි හස්තය ලිහිල් කිරීමට සැමවිටම ඔහුගේ රජයන් යටතේ උත්සාහ කර ඇති අතර එහිදී ඔවුන්ට(වාර්ගික හා ආගමික සුළුතරයන්ට) වඩාත් ආරක්ෂිත බවක් දැනී ඇත. ඔහු පොරොන්දු වූ බොහෝ දේ ඉටු කිරීමට ඔහුට නොහැකි වුවද, ඔහු සැමවිටම ඔවුන්ට බොහෝ දේ පොරොන්දු වී තිබේ.

අවාසනාවන්ත නිෂ්ඵල ප්‍රකාශ සහ ක්‍රියාවන් කෙසේ වෙතත්, වර්තමානයේ පවතින විකල්පයන්ගෙන් හොඳම විකල්පය ජනාධිපති වික්‍රමසිංහ බවට තවමත් විශ්වාසය පවතී. ජනාධිපතිවරයාගේ මෑතකාලීන ප්‍රකාශයන් ඔස්සේ ආගමික හා වාර්ගික සුළුතරයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇතැයි යන බලාපොරොත්තුව යළිත් ජනිතවී ඇත. මෙම ගැටලුව මතු පරම්පරාවට ඉතිරි කිරීමට තමාට අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ පෙබරවාරි 04 වැනිදාට යෙදෙන රටේ 75 වැනි නිදහස් සංවත්සරය වන විට මෙම විසඳිය නොහැකි ජාතික ගැටලුව විසඳීමට තමාට අවශ්‍ය බව ඔහු පවසා ඇත. සිය ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නැවුම් උත්සාහයක් ගනු ඇතැයි යන බලාපොරොත්තුව, ප්‍රධාන දෙමළ පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, සාපේක්ෂව කුඩා බහුතරයකින් සම්මත වූ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට හේතු වී තිබේ. දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනාධිපතිවරයා ඔවුන් වෙත දෑත දිගුකිරීම නිසා, අයවැයට එකඟ නොවූවත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකළ බවයි.

ජනවාර්ගික සහ ආගමික සුළු ජාතීන් වෙත ජනාධිපතිවරයා දෑත දිගු කර ඇත්තේ වචනයෙන් පමණක් නොවේ. මෙවර මහවිරු  දින සැමරුම කිසිදු බාධාවකින් තොරව සිදු වූ බව උතුරු නැගෙනහිරින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි. පසුගිය දෙවසර තුළ මහවිරු සැමරුම් අතරතුර පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් අතර ආරක්ෂක අංශ විශාල වශයෙන් රැඳී සිටීම නිසා මහජන උත්සවවලට සහභාගී වීම අවහිර විය. එහෙත් මෙවර සැමරුම් නතර කිරීමේ කිසිදු උත්සාහයකට ආරක්ෂක අංශ මැදිහත් වූයේ නැත. ඝාතනයට ලක් වූ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් රසකැවිලි බෙදා දුන් අතර උපන්දින කේක් ගෙඩියක් පවා කැපූහ. ජනවාර්ගික හා ආගමික සුළු ජාතීන් සමූලඝාතනය කළ හිට්ලර් කෙනෙකු ලෙස පෙනී සිටීම හේතුවෙන් ජනාධිපතිවරයා තමා වෙත පෙර පැවැති ස්වරුපය අස්ථානගත කරගෙන තිබේ. කෙසේවෙතත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි, පසුගිය කාලයේ මෙවැනි ක්‍රියාවල නිරත වූවන් නිදහස් කිරීම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට තවදුරටත් දායක වනු ඇත.

 
නරක අතට හැරෙන අර්බුදය

 

මෙම සන්දර්භය තුළ, ජනාධිපතිවරයාගේ මිලිටරි ප්‍රකාශ තේරුම් ගත හැක්කේ, අවමවිමේ සලකුණක් නොපෙන්වමින් වර්ධනය වන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගැලපීමෙන් පමණකි. අපේක්ෂිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පැකේජය දින නියමයක් නොමැතිව ප්‍රමාද වීමේ අවදානමක් පවතී. එය මුලින් සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කල්ගිය නමුත්, දැන් එම ඉලක්ක ජනවාරි දක්වා කල් දමා ඇත. රුපියල තවදුරටත් අවප්‍රමාණ වීම නිසා උද්ධමනය තවදුරටත් ඉහළ යමින් තිබෙන බව දැකගත හැකි හැකි අතර, එය මහජනතාවට ජීවන වියදම තවත් දරාගත නොහැකි තත්වයක් නිර්මාණය කරමින් පවතී.

ආර්ථික අර්බුදය යහපත් වනු වෙනුවට එය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. පෙනෙන්නට ඇති තත්වයන් සහ සංඛ්‍යානමය සාක්ෂි යන දෙක මගින්ම පෙන්නුම් කරන්නේ එය ඇත්ත වශයෙන්ම නරක අතට හැරෙන බවයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වාර්තා කර ඇති ආකාරයට තම දේශනවලට පැමිණෙන සිසුන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් හතරෙන් එකකින් අඩු වී ඇත. දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සිසුහු ආහාර වේල වෙනුවෙන් වැයකිරීමට සිදුවන වියදම දරා ගැනීමට නොහැකිව නිවෙස්වලට වී සිටිති. අඩු අධ්‍යාපනයක් ඇති ජනතාවක් සිටින රටක, මෙලෙස දැරීමට සිදුව ඇති අනාගත පිරිවැය ගණන් කළ නොහැකි  වනවා මෙන්ම එය අමානුෂික බැවින්ද යුක්තය.

පරිසරය එලෙස වන විට ජනගහණයෙන් විශාල පිරිසකගේ තත්ත්වය භයානකවී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (2019 දී සියයට 14 සිට) එනම් සියයට 42 ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන බවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වාදෙන්නේ, පසුගිය වසර තුන තුළ දිළිඳුකම මට්ටම් තුනකින් ඉහළ ගොස් ඇති බවයි. මෙම අහිතකර තත්ත්වයන් තුළ නීත්‍යනුකූලභාවයෙන් හෝ බලහත්කාරයෙන් දේශපාලනයේ ස්ථාවරත්වය සහතික කළ හැකිය. එහෙත් එය අවසාන තේරීම ලෙස සිදු කරන්නේ නම් එවැන්නක් ඛේදජනක වනු ඇත.

 
මැතිවරණ විසඳුම

 

ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කම ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඕනෑම අනවසර විරෝධතාවක් මර්දනය කිරීමට ආරක්ෂක අංශ යොදා ගන්නා බවට ඔහු විසින් මෑතක දී කළ ප්‍රකාශය ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් තවදුරටත් උත්සන්න වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරන බවට සලකුණකි. පසුගිය කාලයේ දුෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ලද පිරිස් පාලක පක්‍ෂයට සහ එහි කල්ලිවලට සම්බන්ධව සිටීම හරහා, තමන්ව නොසලකා හැර ඇති ආකාරය පිළිබඳව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන සාමාන්‍ය ජනතාව කම්පාවට පත්ව සිටිති.ණය සහන පැකේජය සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග පූර්ව අවශ්‍යතාවයක් ලෙස හඳුන්වාදී තිබේ;“මූල්‍ය විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීම, ශක්තිමත් දූෂණ විරෝධී නීතිමය රාමුවක් හඳුන්වා දීම සහ ගැඹුරු අර්බුදය පිලිබඳ රෝග විනිශ්චයක් සිදුකිරීම වෙනුවෙන්  අන්තර්ජාතික මූල්‍ය අරමුදල තාක්ෂණික සහාය දක්වයි." යනුවෙන් ආයතනය පෙන්වාදී ඇත.

ජනාධිපතිවරයා වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වන්නේ පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ඡන්දය තමන්ට අවශ්‍ය නිසාය යන කරුණ දේශපාලනික වශයෙන් ප්‍රායෝගික වුවද, එය සදාචාරාත්මකව පිළිගත නොහැක. ආරම්භයක් ලෙස, ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන කොන්ත්‍රාත්තු දූෂණයෙන් තොරව සිදු කිරීම සහතික කිරීම සඳහා විශ්වසනීය හා ස්වාධීන ජාතික ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇත. දෙවනුව, ජනාධිපතිවරයා මැතිවරණ උරගා බැලීම  අවශ්‍ය වේ. රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට සිටිනුයේ ඒකාධිපතියෙකුට වඩා රාජ්‍ය පාලකයෙකු නම්, රට සහ ලෝකය විසින් එය වඩාත් හොඳින් පිළිගනු ඇත. ජනතා කැමැත්ත මත පදනම් වූ රජයක් ප්‍රජාතන්ත්‍රවාදයේ සාරයෙන් සමන්විත වන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම කැමැත්ත ප්‍රකාශ වන්නේ බාධාවකින් තොරව පැවැත්වෙන නිදහස් හා සාධාරණ මැතිවරණ හරහාය. පළාත් පාලන මැතිවරණය වසරක කාලයක් කල් දමා ඇති අතර, එම කල් දැමීමේ කාලය පිලිබඳ නීතිමය තත්වය එහි අග්ගිස්සට පැමිණෙමින් තිබේ.

වර්තමානය සඳහා තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම අදහස් ප්‍රකාශ කිරීමට මැතිවරණ මඟින් ජනතාවට හැකියාව ලැබේ. ආර්ථිකය නඟා සිටුවීමට සහ ජනතාවට පිළිගත හැකි ආකාරයෙන් ඔවුන් මත බර පැටවීමට රජය ගනු ලබන තීරණ සම්බන්ධයෙන් මග පෙන්වීමක් මෙමගින් ලැබෙනු ඇත. 2018 සිට පළාත් සභා මැතිවරණය කල් දමා ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාගන්නා පළාත් සභා විසින් ආණ්ඩුකරණයේ බර බෙදාගැනීමට හවුල් වේ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිදු වූ බලය බෙදීම රට තුළ ජනවාර්ගික සහජීවනය ඇති කිරීම අරමුණු කරගත්තකි. ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලබාදිය යුතුය යන ස්ථාවරයේ සිටින ජනාධිපතිවරයා, රජයේ මූල්‍ය පිරිවැය අවම කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකට පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ ලෙස සලකා බැලිය යුතුය. එසේ කිරීමෙන් ඔහු ඒකාධිපතියෙකු ලෙස නොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස නීත්‍යානුකූලභාවය ලබාගනු ඇත.

Advertiesment