Monday 5th of December 2022

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව හිඟා කන රටක් වීමට ඉඩ දෙන්නේ නැහැ -ජනපති-


2022-11-23 1258

 

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරනවා

 

ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළේ ලලිත් ඇතුලත්මුදලි -රවී-

 

 

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩ පිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හිඟා කන රටක් බවට පත් කිරීමට තමන් කිසි ලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්ව උත්සාහයෙන් නැඟී සිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බදාදා (23) පැවති උත්සවය අමතමිනි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්ව විද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ලලිත් ඇතුළත්මුදලි පදනම විසින් ශ්‍රී ලංකා තාරුණ්‍යයට ජාත්‍යන්තර වෙළෙඳ පොළට ස්වාධීනව සම්බන්ධවීමේ පහසුකම ලබා දෙන ඩිජිටල් අවකාශයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ජන්ම දින සැමරුම ඇමතූ ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, සිහිපත් කර සිටියේ ලලිත් ඇතුලත්මුදලි මහතා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහ පොළ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් බවයි.

එතුමා ජීවත්ව සිටියා නම් එම ක්‍රමය තවත් විධිමත් කර ඉදිරියට ගෙන යනු ඇති බව සඳහන් කළ රවී කරුණානායක මහතා මහ පොළ ශිෂ්‍යත්ව වැඩ සටහන යටතේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන මං පෙත් විවර කළ බව ද පැවසීය.

මහ පොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලැබූ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කර ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා අද විවෘත කළ ඩිජිටල් අවකාශය ද මහ පොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබා ගත් සිසුන් විසින් නිර්මාණය කරනු ලැබූවක් බව ද සඳහන් කළේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්වහන්සේ, සේදවත්ත මංගලාරාමාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, වරාය හා නාවුක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, රවුෆ් හකීම්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා සහ හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Advertiesment