ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා 2023 මාර්තු මාසයේ දී එම අරමුදලේ විධායක කමිටුව රැස් වන තුරු බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇතැයි ජාත්‍යන්තර සහ ජාතික මුල්‍ය සහ ආර්ථික විශේෂඥයෝ අවධාරණය කර සිටිති.
2023 මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන අතර එම මුදල ලබා දෙන්නේ කවුරුන්ද යන්න බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන අතර, එම මුදල සොයා ගැනීමට නොහැකි වුව හොත් ශ්‍රී ලංකාව නැවත වරක් දේශපාලන අර්බුදයකට ගමන් කරනු ඇතැයි ද "Hindustan Times" පුවත්පත වාර්තා කර සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වූ 2022 දෙසැම්බර් කාල සීමාව ශ්‍රී ලංකාවට මඟ හැරීමට ඉඩ තිබෙන අතර අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ මාර්තු මස තෙක් බොහෝ දුරට බලා සිටීමට සිදු වනු ඇති බව ඇමරිකානු මුල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා චීනය තවමත් සාර්ථකව ආරම්භ කර නොමැති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියෙක් වන චීනය සිය කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් තවමත් ගොඩ නගා ගෙන නැතැයි ද "Hindustan Times" පුවත්පත පවසයි.
මේ අතර, විදේශ විනිමය අවප්‍රමාණය වීම, ආර්ථික අවපාතය සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තව දුරටත් ඉහළ ගොස් ඇති අතර 2021 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36 දක්වා ඉහළ ගොස් ඇත.
එම ණය මුදලින් 20%ක් එසේත් නැති නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් චීනය ලබා දුන් ණය වන අතර 2021 දෙසැම්බර් අවසානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 115.3ක් වූ සමස්ත රාජ්‍ය ණය මෙම වසරේ ජූනි මස අවසන් වන විට සියයට 143.7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Lanka Newsweek © 2025