Monday 5th of December 2022

English Tamil
Advertiesment


රටේ අතිශය භයානක ඇත්ත තත්ත්වය මෙන්න 


2022-10-21 1905

 

මේ රට ගොඩ ගත හැකි ද කියා ඔබම තේරුම් ගන්න

 

රට එක්ක සිදු කරන දේශපාලන සූදු නිසා අත්වී ඇති ඉරණමක තරම   

 

 අනවශ්‍ය වියදම්වලට ජනතාව පිට බදු පැටවීම


‘‘බදු’’ දැන් රටේ තියුණු සංවාදයකට ලක්ව තිබෙන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව අප කළ සංවාදයක ප්‍රතිඵලයකි. අප ඒ සංවාදය කළේ, "Verité Research" ආර්ථික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්‍ෂිකා සුභාෂිණී අබේසිංහ සමගය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි දිනා ගෙන සිටින ඇය ජාත්‍යන්තර ආර්ථිකය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනා ගෙන තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ බර්න් විශ්ව විද්‍යාලයෙනි. මේ බදු පිළිබඳ ඇයගේ විග්‍රහයයි.

පළමුව රාජ්‍ය බදු ආදායම සහ වර්තමාන ආර්ථික අර්බුදය අතර පවතින සහසම්බන්ධතාව තේරුම් ගත යුතුය. බදු ආදායම වැඩිකර ගැනීමට සැරසෙන්නේ වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙනි. අප ඒ සහසම්බන්ධතාව වටහාගත යුත්තේ එබැවිනි. ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයට බලපා තිබෙන ප්‍රධාන ගැටලු දෙකකි. දසක ගණනාවක් තිස්සේ ආදායමට වඩා වියදම් කිරීම ඉන් එක් ගැටලුවකි. දෙවැනි කාරණය කළ යුතු වියදම් නොකර නොකළ යුතු වියදම් කිරීමය. අද අප අර්බුදයක වැටී සිටින්නේ ඒ ප්‍රශ්න දෙක මතය.

2021 වසරේදී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1,457 කි. 2021 රජයේ වියදම රුපියල් බිලියන 3,537 කි. ඒ අනුව රාජ්‍ය වියදම රජයේ ආදායමට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. ආදායමට වඩා වියදම් කිරීම සඳහා ගත් දෙස් විදෙස් ණයවල පොලිය ගෙවීමට පමණක් 2021 රාජ්‍ය ආදායමෙන් සියයට 72ක් එනම් රුපියල් බිලියන 1,048ක් වැය වී තිබේ. 

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ සුබසාධනය යන අංශ තුනටම කරන වියදම සහ ණය පොලිය ගෙවීමට දරන වියදම එක සමානය. ආදායම සහ වියදම අතර පවතින මේ විශාල පරතරය පියවාගන්නේ රෝල කරකැවීමෙන් හෙවත් දෙස් විදෙස් ණය ගැනීමෙනි. අයවැය පරතරයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් පියවාගෙන තිබෙන්නේ ද එසේ ණය ගැනීමෙනි.

2021 වසරේ අය වැය පරතරය රුපියල් බිලියන 2,058 කි. 2021 රජයේ වියදමෙන් සියයට 58 කට වැඩි ප්‍රමාණයක් පියවාගෙන තිබෙන්නේ ණය ගැනීමෙනි. දැනට ලංකාව මුහුණදී සිටින්නේ තවදුරටත් පිටරටවලින් ණය ගැනීමට නොහැකි තත්ත්වයකටය. ලංකාවේ දේශපාලකයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් ගත් අදූරදර්ශී තීන්දු තීරණ නිසා ලංකාව තවදුරටත් ණයදීමට සුදුසු රටක් නොවන බවට ලෝකයා තීරණය කර හමාරය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුතින් ණය ගැනීමට පමණක් නොව ගත් ණය ගෙවා ගැනීමට නොහැකි රටක් බවට පත්ව තිබේ. ඒ නිසා 2021 රාජ්‍ය වියදමෙන් සියයට 58 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පියවාගෙන තිබෙන්නේ දේශීය ණයවලිනි. ආණ්ඩුව 2021 දී දේශීය වශයෙන් ගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,058කි. දැන් රජය මුහුණ දී සිටින්නේ දේශීයව හෝ ණය ගැනීමට නොහැකි තත්ත්වයකටය. ඊට හේතුව දේශීය ණය ගෙවීමට තරම්වත් රජයට ආදායමක් නැති නිසාය. 

පවතින මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විසඳුම වන්නේ ණය ගෙවීමට පුළුවන් රටක් බව ලෝකයට ප්‍රදර්ශනය කිරීමය. තාවකාලික ණයක් ගැනීමට හෝ පුළුවන් වන්නේ එවිටය. ණය අර්බුදයෙන් ගොඩ ඒමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරයි. එමගින් ඉල්ලා සිටින්නේ ණය ගෙවීමට කල් ලබාදෙන ලෙසය. ඉල්ලන කාලය ලැබෙන්නේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ඔවුනට පෙනී ගියහොත් පමණකි. 

එසේ නම් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගන්නා ක්‍රම සහ විධි දැන් අප ලෝකයාට හෙළි කළ යුතුය. රටේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව දේශපාලනඥයන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ අදූර්දර්ශී තීරණ සහ ඔවුන්ගේ වංචා හා දූෂණ බව දැන් මුළු ලෝකයාම දනියි. ඒ නිසා ඔවුන්ගේ වංචා දූෂණවලට තමන් වගකියන්නේ කුමටද කියා ජනතාව කල්පනා කරයි. එහෙත් සාධාරණව හා විචාරාත්මකව කල්පනා කළොත් ඒ වගකීමෙන් මිදෙන්නට ජනතාවට ද නොහැකිය. ඒ සම්බන්ධයෙන් එක උදාහරණයක් කියමි. බදු ඉහළ නංවනවාට අපි කවුරුත් අකැමැත්තෙමු. එසේම සෞඛ්‍ය, අධ්‍යාපන හා සහනාධාර වැනි රජයේ වියදම් කපනවාටද අකැමැතිය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණය රාජ්‍ය සේවයයි. 2004 ට පෙර පැවති ආණ්ඩුව විශාල වශයෙන් ජනතාව අතර අප්‍රසාදයට පත්වුණේ ඇයි? එයට ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍ය සේවකයන් අඩු කිරීම සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමය. එසේම පාඩු ලබන රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල පෞද්ගලීකරණය කිරීමට තීරණය කිරීමද රජය අප්‍රසාදයට පත්වීමට ප්‍රබල හේතුවක් විය.

2004 දී බලයට පත් රජයට ජනතාව ඡන්දය දුන්නේ ඇයි? රාජ්‍ය සේවය කප්පාදු නොකරන බවත් රාජ්‍ය සේවයට තව තවත් බඳවා ගන්නා බවත් වැටුප් වැඩිකරන බවත් කීම නිසාය. රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල කිසිවක් පෞද්ගලීකරණය නොකරන බවද 2004 දී ආණ්ඩු බලය ගත් අය කීහ. ඔවුන් එවැනි පොරොන්දු දුන්නේ ජනතා ප්‍රසාදය දිනාගෙන ඡන්දය ලබා ගැනීමටය. ඒ පොරොන්දු විශ්වාස කරන ජනතාව ඔවුනට ඡන්දය දෙන අතර ඒ පොරොන්දුත් ඉටුවෙයි. 

1994 සිට 2003 කාලයේදී රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්‍ෂ තුනකින් පමණ අඩු විය. ඒ 13,25,000 සිට 10,43,000 දක්වාය. එහෙත් 2004 සිට 2014 අතර කාලයේදී දුන් පොරොන්දු ඉටු කරමින් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්‍ෂ තුනකින් වැඩි කරයි. ඒ 10,43,000 සිට 13,30,000 ක් දක්වාය. රජයේ රැකියා සම්බන්ධ පොරොන්දු මත බලයට පත්වන පක්‍ෂයකට ඡන්ද ලක්‍ෂ 10 කට වැඩි ගණනක් ලබාගත හැකි බව ඒ පක්‍ෂ නායකයෝ දනිති. රජයේ රැකියා දීම සහ රජයේ සේවක වැටුප් වැඩි කිරීම බලයට පත්වීම සඳහා සාර්ථක උපක්‍රමයකි. මා එය දකින්නේ තමන් වියදම් නොකර ජනතාවගේ මුදලින් සහ ශ්‍රමයෙන් ඡන්ද දිනන්නට හදාගත් ක්‍රමයක් ලෙසය. 

රජයේ සේවයට බඳවා ගන්නා අයට වැටුප් ගෙවීමටත් වැඩිකරන වැටුප් ගෙවීමටත් වැය වන්නේ රටේ ජනතාවට අයිති මුදල් මිස දේශපාලකයන්ගේ සාක්කුවල මුදල් නොවේ. 2019 බලයට පත්වූ ආණ්ඩුවද බදු අයකර රජයේ රැකියා දුන්නේය. ඒ ආණ්ඩුව එසේ කළේ ව්‍යාපාරිකයන්ගේ හා වෘත්තිකයන්ගේ ඉල්ලීම් මතය. අද පවතින ආර්ථික අර්බුදයට ජනතාවද වගකිව යුතු බව මා කියන්නේ එහෙයිනි. එසේ නම් ජනතාවත් වෙනස් විය යුතුය. 

2021 වන විට රජයේ සේවකයන් සංඛ්‍යාව 14,93,00 කි. ඔවුන්ගේ වැටුප් සහ වේතනවලට පමණක් 2021 දී වැයකර තිබෙන මුදල රුපියල් බිලියන 845 කි. වෙනත් විදියකට කියනවානම් 2021 දී රජය උපයාගත් ආදායමෙන් සියයට 58 ක් වැයකර තිබෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නටය. වර්තමාන ජනාධිපතිවරයාගේ අතුරු අයවැය කතාවට අනුව 2022 දී රජයේ සේවක වැටුප්, ණය පොලිය සහ සමෘද්ධි වැනි සහනාධාර දීමට පමණක් රුපියල් බිලියන 2,746 ක් වියදම් වෙයි. රජයේ සේවක වැටුප්, ණය පොලිය සහ සහාධාර අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය. ඒ අනිවාර්ය වියදම්වලට පමණක් රුපියල් බිලියන 2,746 ක් මේ 2022 වසරේදී අවශ්‍ය බව අතුරු අයවැයෙහි සඳහන් වෙයි. 

2021 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,457 ක් බව මම ඉහත ද කීවෙමි. 2022 දී කළ යුතු අනිවාර්ය ගෙවීම් සඳහා රුපියල් බිලියන 2,746 ක් අවශ්‍ය වෙයි. ඉන් අනාවරණය වන්නේ 2021 ට සාපේක්ෂව 2022 දී රජයේ ආදායම සියයට 88 කින් වැඩි විය යුතු බවය. ඒ බිලියන 2,746 අතරට එදිනෙදා රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය අනෙක් වියදම් කිසිවක් ඇතුළත් නොවෙයි. ඒ බිලියන 2,746 අතර රෝහල්වලට බෙහෙත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඇතුළත් නොවෙයි. එසේම පාසල් පොත් මුද්‍රණය කිරීමට යන වියදම්ද එහි ඇතුළත් නොවෙයි. යටිතල පහසුකම් දියුණු කිරීමේ සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යන වියදම් ද ඇතුළත් කළොත් 2022 වසරේ වියදම් පියවා ගැනීමට රුපියල් බිලියන 4000 කට වැඩි මුදලක් අවශ්‍ය බව ආණ්ඩුව කියයි.

එසේ නම් ආණ්ඩුව ඒ මුදල් සොයාගන්නේ කොහෙන්ද? කෙසේද? අපේ රට දියවැඩියා රෝගියකු නම් පසුගිය ආණ්ඩු කර තිබෙන්නේ රෝගියා සතුටු කිරීමට සීනි දුන්නා වැනි වැඩකි. ඒ නිසා දැන් රෝගය හොඳටම උත්සන්නය. අතක් පයක් නොකපා දැන් රෝගියා මරණයෙන් බේරාගත නොහැකිය. එය බෙහෙවින් වේදනාකාරීය. බදු ඉහළ දමන්නට වන්නේ ඒ නිසාය. ප්‍රශ්නයකට තිබෙන්නේ ඒ වේදනාව කවුරු විසින් කොච්චර දරාගන්නවාද යන්නය. දැන් අප වාද විවාද කරන්නේ ඒ ගැනය.

බදු වර්ග දෙකකි. ඒ ඍජු සහ වක්‍ර බදු වශයෙනි. ඍජු බදු පනවන්නේ ආදායම් මතය. පුද්ගලයන්ගේ සහ සමාගම්වල ආදායම මත පනවන බදු ඍජු බදු වන අතර ඒ බදු ආදායම සමස්ත බදු ආදායමෙන් සියයට 25 කට වඩා අඩුය. වක්‍ර බදු කියන්නේ පරිභෝජනය මත පනවන බදුවලටය. වැට් බද්ද උදාහරණයකි. රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට 70 කට වැඩියෙන් ලැබෙන්නේ වක්‍ර බදු මගිනි.

බදු පැනවීමේ මූලධර්ම කිහිපයකි. එක් වැදගත් මූලධර්මයක් වන්නේ ගෙවීමේ හැකියාව මත බදු අය කිරීමය. ඍජු බදු ගෙවීමේ හැකියාව මත අයකරන බදු ගණයට ඇතුළත් වෙයි. වක්‍ර බදු පනවන්නේ ඒ මූලධර්මයට පටහැනිවය.

සීනි හෝ පරිප්පු කිලෝවක් මිලදී ගනිද්දි ධනපතියාත් හිඟන්නාත් ගෙවන්නේ සමාන බද්දකි. එක හා සමාන පුද්ගලයන්ට සමානව සැලකිය යුතු බව බදු පැනවීමේ තවත් මූලධර්මයකි. කොළඹ වරාය නගරයේ සේවය කරන අයකුගෙන් බදු අයකරන්නේ නැතිව කොළඹ නගරයේ වෙනත් තැනක සේවය කරන අයකුගෙන් බදු අයකර ගැනීම අසාධාරණය.

ඉහත කී මූලධර්මයට පටහැනිය. එසේම සමාගම් බදු අයකර ගැනීමේදී ඒ ඒ ක්ෂේත්‍ර අනුව විවිධ අනුපාත යටතේ බදු අය කිරීම ද අසාධාරණය, අයුක්ති සහගතය. තොරතුරු තාක්ෂණ සමාගම්වලින් එක බද්දකුත් කෘෂිකාර්මික සමාගම්වලින් තවත් බද්දකුත් සංචාරක කර්මාන්තයේ නිරත සමාගම්වලින් වෙනත් බද්දකුත් අය කිරීම එක හා සමාන ආදායම් උපයන සමාගම්වලට එක හා සමානව බදු පැනවිය යුතුය යන මූලධර්මයට පටහැනිය. එක හා සමාන බදු අය නොකිරීම ලංකාවේ පවතින බරපතළ ප්‍රශ්නයකි. එමගින් වංචාවට දූෂණයට මගපෑදෙයි.

විවිධ ක්ෂේත්‍රවලින් විවිධ බදු අය කළේ කුමන පදනමක් මතද යන්න අපැහැදිලිය. බදු අනුපාත එසේ වෙනස් කිරීමේදී සේම බදු සහන දීමේදී කිසිම විනිවිදභාවයකින් ඒවා සිදු නොවෙයි. උපාය මාර්ගික සංවර්ධන පනත යටතේ ඇතැම් ව්‍යාපාරවලට අවුරුදු 25ක බදු සහන දී තිබේ. ඒ ව්‍යාපාරවලින් ලැබිය යුතු බදු අවුරුදු 25ක් තරම් විශාල කාලයක් රජයට නොලැබීම බරපතළ කාරණයකි.

කොළඹ වරාය නගර සංවර්ධන පනත යටතේ කටයුතු කරන සමාගම්වලින් අවුරුදු 40 ක් යනතුරු බදු අය නොකරයි. ඒ සමාගම්වලින් ලංකා ආණ්ඩුවට බදු ලැබෙන්නේ අවුරුදු 40 කට පසුවය. මෙවැනි තීරණ ගන්නේ කවර පදනමක් මතද? ව්‍යාපාරයක පිරිවැය හා ප්‍රතිලාභ පිළිබඳ මනා අධ්‍යයනයකින් තොරව එසේ බදු සහන දීම රටේ ආර්ථිකයට බෙහෙවින් හානිකරය. උපාය මාර්ගික සංවර්ධන පනත යටතේ පිහිටුවන සමාගම්වලට අවුරුදු 25 ක බදු විරාමයක් දීමට ඇමැති මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.

එසේ බදු විරාමයක් දෙන්නේ ඇයිදැයි ඇසීම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරයකි. ඒ බදු සහනය දීමට හේතුව රටේ ජනතාවට දැනගන්නට ලැබෙන්නේ විපක්ෂය ඒ ගැන ප්‍රශ්න කළොත් පමණකි. වරාය නගර සංවර්ධන පනත යටතේ පිහිටුවන සමාගම්වලට බදු සහන දීමට අවශ්‍ය වන්නේ ඇමැති මණ්ඩලයේ අනුමැතිය පමණකි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවෙයි. ඉන් පැහැදිලිවන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බදු සහන පිරිනමන බවය.

අවුරුදු 40 ක් කියන්නේ මනුෂ්‍යයකුගේ ආයු කාලයෙන් හරි අඩකි. එතරම් දිගු කාලයකට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බදු සහන දීමේ රහස කුමක්ද? එසේ කිරීමෙන් ජනතාවට සඟවන්නේ මොනවාද? ඒ නිසා මෙවැනි බදු ක්‍රම වහාම නවතා දැමිය යුතුය. බදු පැනවිය යුත්තේ ඒ පිළිබඳ මූලධර්ම මතය. පළමුව ගෙවීමේ හැකියාව මත බදු පැනවිය යුතුය. දෙවනුව එක හා සමාන පුද්ගල කණ්ඩායම්වලට සහ සමාගම්වලට එක හා සමානව සැලකිය යුතුය. එසේම බදු අය කිරීම කාර්යක්ෂම විය යුතුය. බදු අය කිරීමට වැය වන වියදම ලැබෙන බදු ආදායමට වඩා අඩුවිය යුතුය.

වියදම වැඩිවී ආදායම් අඩුවන බදු අකාර්යක්ෂමය. අනෙක් වැදගත් මූලධර්මය බදු ගෙවන පුද්ගලයාට ඒ සඳහා වන පිරිවැය අඩුවිය යුතුය. අද රටේ තිබෙන බරපතළ කාරණයක් වන්නේ බදු ගෙවීම සඳහා විශාල කාලයක් සහ මුදලක් වැය කිරීමට සිදුවීමය. එසේම බදු ගෙවීමට තිබෙන ක්‍රියාවලියද සංකීර්ණය. ඒ හේතු මත බදු ගෙවන්නට තිබෙන කැමැත්ත හා පෙළඹීම අඩුවෙයි. අනෙක් කාරණය බදු සරල විය යුතුය. තේරුම් ගැනීමට, අවබෝධ කරගැනීමට පහසු විය යුතුය.

එහෙයින් බදු සංශෝධනවලදී බරපතළ අවධානය යොමුවිය යුත්තේ බදු අනුපාත ඉහළ පහළ දැමීමට වඩා බදු මූලධර්ම අනුව බදු අය කරනවාද යන්න පිළිබඳවය. අනෙක් වැදගත් කාරණය කළයුතු වියදම් නොකර නොකළ යුතු වියදම් කිරීමය. උදාහරණයකට යුද්ධය නිමවූ පසුව ගතවන මේ සාමකාමී කාලයේ යුද සමයේ තරම් විශාල හමුදාවක් නඩත්තු කළ යුතුද? රජයේ සේවකයන්ගේ වැටුප් සහ වේතනවලට වැය වන මුදලින් හරි අඩක්ම වැයවන්නේ හමුදාවල වැටුප් සහ වේතන සඳහාය. හමුදා පවත්වාගෙන යාමට වැටුප්වලට අමතරව තවත් වියදම් රැසක් දරයි. ඒ වියදම් අඩුකරගෙන රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වගකීම පාලකයන් අවබෝධ කරගත යුතුය.

අධිවේගී මාර්ග ඉදිකිරීමට වැයකරන තරම් මුදලක් පොදු ප්‍රවාහනයේ සංවර්ධනයට වැය නොකරයි. රට පුරා අධිවේගී මාර්ග ඉදිවුණත් පොදු ජනතාවට සුව පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය තරම් බස් හා දුම්රිය නැත. රට ගැඹුරු අගාධයක වැටී සිටියදී මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍යයද? රටක් හැටියට අප කළයුතු වියදම් සහ නොකළ යුතු වියදම් පිළිබඳ මනා වැටහීමක් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ කවදාද? අරගලය විසින් ඔප්පු කරනු ලැබුවේ ජනතාවට යම් බලයක් තිබෙන බවය. ආණ්ඩු නිවැරැදි මාවතකට ගැනීමට ජනතාව තමන් සතු ඒ බලය අභ්‍යාස කළ යුතුය.

 
-සාකච්ඡා සටහන- 
ගුණසිංහ හේරත්
"ලංකාදීප"

 

Advertiesment