ප්‍රශ්නය:- ජන අරගලයට හේතු වුණු ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යමින් සිටින වැඩපිළිවෙළ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර:- මේ අරගලය ආර්ථික අර්බුදය නිසාම ඇති වුණා කියන එකට මම එකඟ වෙන්නෙ නෑ. 2013 දි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බිහිවුණේ මේ රටේ සමාජ සාධාරණත්වය උදෙසා. යුක්තිය නීතිය ගරු කරන සාධාරණ සමාජයක් ඉල්ලලා. ඒ සඳහා සමාජයේ සම්පත් සාධාරණ ලෙස බෙදී යා යුතුයි. රටේ කළමනාකාරීත්වය ස්වාධීනව සිදුවිය යුතුයි. ඒ කාලෙදි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වෙමින් තිබුණා. ඒ යුගයෙදී ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය වෙලා තිබුණා. ඒ නිසා තමයි මාදුළුවාවේ සෝභිත හිමියන් එළියට ඇවිල්ලා ඉල්ලීමක් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා. ඒ සඳහා ජනවරමක් ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා.
ඒ අනුව 2015 දි අපිට ජනවරමක් ලැබුණා. ඒත් සමගම රාජ්‍ය පරිපාලනයේ යම් සංශෝධන ඇති කරන්න පුළුවන් වුණා. ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුණා වගේම ආර්ථිකයෙත් යම් දියුණුවක් ඇති වුණා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඊට පස්සෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව වරමක් ලබාදුන්නා. රට හදන්න බලය ඕන කියලා තමයි එතුමා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒ මගින් නැවතත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළුණා. 20 වැනි සංශෝධනය ගෙනාවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණත් රටේ ප්‍රශ්නවලට උත්තර ලැබුණෙ නෑ. එදා සිට අද දක්වා කාලයේදී රටේ විශාල පිරිහීමක් ඇති වුණා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ විශාල බිඳවැටීමක් ඇති වුණා. ඒකට ප්‍රධාන හේතුව රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දුව. මුල්‍ය කළමනාකාරීත්වයේදීත් වෘත්තීයභාවයකින් යුතුව කටයුතු කරනවා අපි දැක්කෙ නෑ. අන්තිමට වුණේ රට බංකොලොත් වුණු එක. දර්ශනයක් ඇතිව පරිපාලනය කළමනාකරණය කරනවා නම් රටවලට මෙහෙම වෙන්නෙ නෑ. 1991 වෙන කොට ඉන්දියාවේ ආර්ථිකයේ තිබුණු මුදල් ප්‍රමාණවත් වුණේ මාස භාගයකට රට පවත්වාගෙන යන්න විතරයි. එහෙත් එවක හිටිය අගමැති නරසිංහ රාඕ ආචාර්ය මන් මෝහන් සිං මහතා මුදල් ඇමති ධුරයට පත් කරමින් යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කරලා ආර්ථිකය ගොඩ ගත්තා.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ආණ්ඩුවත් මේ වෙන කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යම් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ ගැන සෑහීමකට පත් විය නොහැකිද?
පිළිතුර:- විපක්ෂය කිව්වා රටේ මේ වගේ ආර්ථික අර්බුදයක් ඇති වෙන නිසා යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න බය වෙන්න ඕන නෑ. මම දකින විදියට මුල්‍ය අරමුදලේ සහයෝගය නැතුව අපිට ගොඩ එන්න බෑ. අද ලෝකයේ තියෙන ලොකුම රාජ්‍ය සේවය තියෙන්නෙ ලංකාවේ. ලෝකයේ අනිත් රටවල පුරවැසියන් 250 කට ඉන්නෙ එක රාජ්‍ය සේවකයයි. ඒත් ලංකාවේ සෑම 14 දෙනකුටම එක රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. මම කියන්නෙ නෑ රාජ්‍ය සේවකයො ඉවත් කළ යුතුයි කියලා. ඒත් රාජ්‍ය සේවය ඵලදායී කරන්න ඕන. රාජ්‍ය සේවයෙ හොඳ දක්ෂ නිලධාරීන් ඉන්නවා. මම හිතන්නෙ නෑ රජය ඒ අයගෙන් නිසි ප්‍රයෝජනය ගන්නවා කියලා. රාජ්‍ය සේවයට විශාල දේශපාලන පත්වීම් සිදු කරලා තියෙනවා. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙව්වට පස්සෙ රට සංවර්ධනය කරන්න මුදල් ඉතුරු වෙන්නෙ නෑ.
ප්‍රශ්නය:- රටේ අර්බුද විසඳනවා වෙනුවට ජන අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා නැගෙනවා. ඒ සඳහා මතභේදයට තුඩු දී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් සිටින බවත් කියැවෙනවා. මේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර:- උද්ඝෝෂණය මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ නිසා සිසුන්ට පහර දීම අපි අනුමත කරන්නෙ නෑ. ඒ සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කරලා තියෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය ආණ්ඩුවක් හොඳ දෙයක් කරනවා නම් ඒක හැම වෙලේම අගය කරනවා. ඒ වගේම ආණ්ඩුවක් වැරදි කරනවා නම් අපි ඒවා විවේචනය කරනවා. ජන සභා ඇති කරන්න ජනාධිපතිතුමත් ආණ්ඩුවත් අපේ සහයෝගය ඉල්ලා සිටියා. ඒ සහයෝගය අපි සම්පූර්ණයෙන්ම ලබා දෙනවා.
ආංශික අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීමටත් ආණ්ඩුව අපේ සහාය ඉල්ලා සිටියා. ඒවට අපි අපේ සහාය ලබා දෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒමෙන් මේ රටේ විශාල වෙනසක් ඇති වුණා. ගමේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ. සංවර්ධනයට යොදවන මුදල්වලින් සියයට 40 ක් විතර නාස්තියට දූෂණයට ලක් වෙනවා. මේවා නතර කරන්න තමයි අපි ජන සභා ක්‍රමය ගෙනාවේ.
ප්‍රශ්නය:- ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වන විට ආහාර උද්ධමනය සියයට 90 ඉක්මවලා තිබෙනවා. ලංකාවේ ලක්ෂ 63 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ අවදානමක සිටින බව ඉකුත්දාක නිකුත් වූ වාර්තාවකින් අනාවරණය කර තිබුණා. මේ තත්ත්වය හමුවේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් ද?
පිළිතුර:- මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මීළඟට බිහිවෙන පරම්පරාව අංගවිකල දුර්වල පරම්පරාවක් වෙන්න පුළුවන්. රජය මේකට හේතු හොයන්න ඕන. මම කිසිම ආණ්ඩුවකට ඇඟිල්ල දික් කරන්න කැමති නෑ. ඒත් රටේ මෙවැනි තත්ත්වයක් ඇති වුණේ පහුගිය කාලේ ගත්ත වැරදි තීන්දු නිසා. මේ තත්ත්වය නිවැරදි කරන්න රජයට යුතුකමක් තියෙනවා. පුවත්පත්වලින් අපි දැක්කා රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා කියලා. තව ක්‍රියාමාර්ග ගත යුතුයි කියන මතයෙ තමයි අපි ඉන්නෙ. අද ලංකාව ලෝකය හමුවේ ලජ්ජාවට පත් වෙලා තියෙනවා. ඉස්සර ලංකාව දිහා ලෝකය බැලුවෙ නිතරම හිනා වෙලා ඉන්න මිනිස්සු ජීවත් වෙන වාසනාවන්ත රටක් හැටියට. අද ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් අතරට වැටිලා ඉන්නවා. දේශපාලනඥයන් ගත්ත වැරදි තීන්දු වගේම ජනතාව දුර දිග නොබලා ගත්ත දේශපාලන තීන්දුත් හේතු වුණා. ගරු මන්ත්‍රීතුමා කියලා කියන්න පුළුවන් මහජන නියෝජිතයො පත් කරන්න ජනතාව ඉදිරියේදී වග බලා ගත යුතුයි. මේ රට හදන්න නම් ඉස්සෙල්ලාම ජාතික එකඟත්වයක් ඇති වෙන්න ඕන. ඒ වගේම සුදුසු අවස්ථාවේදී තමන්ට කැමති ආණ්ඩුවක් නායකයෙක් තෝරගන්න ජනතාවට අවස්ථාව ලබාදෙන්න ඕන. ජන ජීවිතය පවත්වාගෙන යන්න විදුලිය සහ ඉන්ධන පැය 24ම සැපයිය යුතුයි. මේ දෙක නොකඩවා ලැබෙනකොට ජන ජීවිතයෙ යම් ස්ථාවර බවක් ඇති වෙනවා. කර්මාන්ත දියුණු වෙනවා. ඊට පස්සෙ මාස හයකින් නැතිනම් අවුරුද්දකින් මැතිවරණයක් තියන්න පුළුවන්. ඒ මාස හය හෝ අවුරුද්ද ඇතුළත පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ ජාතික ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන්න ඕන.
ප්‍රශ්නය:- පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනාව හරහා ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට උත්සාහ කරන බවට විපක්ෂය චෝදනා කරනවා. වත්මන් පාර්ලිමේන්තුවෙන් සැබෑ ජනමතය නියෝජනය නොවන නිසා මහ මැතිවරණයක් වහාම පැවැත්විය යුතු බවත් පැවසෙනවා. ඔබ මේ ගැන කුමක්ද හිතන්නෙ?
පිළිතුර:- පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා මම දැක්කා. ඒ වගේම සියලු දෙනාම හවුල් වෙන පාලනයක් හදන්නත් යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනා හොඳයි. පළාත් පාලන ආයතනවල දේශපාලනීකරණයක් පහුගිය කාලෙ ප්‍රබල ලෙස ඇති වුණා. ඒක වෙනස් කරන්න ඕන. ගමේ සංවර්ධනයට ගමේ මිනිස්සු හවුල් වෙන්න ඕන. කොහොම නමුත් පළාත් පාලන මැතිවරණය කල්දැමීම හොඳ දෙයක් නෙවෙයි. ඒවට ජනතාවට සහභාගී වීමේ අවස්ථාව ලබා දිය යුතුයි කියන දැඩි ස්ථාවරයෙ අපි ඉන්නවා. සංශෝධන ගෙන ඒම හොඳ දෙයක්.
ප්‍රශ්නය:- 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකෙරෙන තැනට වැඩ සිද්ධ වෙමින් තියෙන බවක් පෙනෙනවා. පාලක පක්ෂයේ ලේකම්වරයාම කියනවා පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු 22 වැනි සංශෝධනයට එකඟ නැති බව. මේ තත්ත්වය මත මෙය සම්මත කර ගත හැකි වෙයිද?
පිළිතුර:- 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව යමින් පාර්ලිමේනතුවේදී සම්මත කර ගන්න පුළුවන්. 20 වැනි සංශෝධනයට මේ රටේ ජනතාවගෙන් සීයට 85 ක් විරුද්ධයි. රට විනාශ වෙන්න මූලික හේතුව බවට පත් වුණෙත් 20 වැනි සංශෝධනය. ඒ නිසා 20 වැනි සංශෝධනය අහෝසි කරලා යළිත් 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. අද තියෙන්නෙ දේශපාලනීකරණය වූ සමාජයක්. එක් රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. බලය තියෙන කෙනාට එක නීතියකුත් නැති කෙනාට තව නීතියකුත් තියෙන ක්‍රමය වෙනස් වෙන්න ඕන. ස්වාධීන කොමිෂන් සභා අද ස්වාධීන නෑ. 19 වැනි සංශෝධනය බලාත්මක කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් බලාත්මක කළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන කරලා රටේ පරිපාලනය ස්ථාවර කරන්න ඕන. එහෙම අකැමති අය ඉන්නවා වෙන්න පුළුවන්. එහෙත් ඒ බහුතරය ඇතුළෙත් 22 අවශ්‍යයි කියන බොහෝ දෙනෙක් ඉන්නවා. ආගමික නායකයන් පවා කියනවා 22 අවශ්‍යයි කියලා. අපි කියන්නෙ නෑ 22 ගෙන ඒමෙන් සියලු ප්‍රශ්න විසඳෙනවා කියලා. රට ස්ථාවර කිරීමට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි. ඒ දක්වා කටයුතු කිරීමට 22 අවශ්‍යයි. ඊළඟ මැතිවරණය සාධාරණ මැතිවරණයක් ලෙස පවත්වන්නවත් 22 වැනි සංශෝධනය ගෙනා යුතුයි.
ප්‍රශ්නය:- 2015 ආසන්න කාලයේදී මෙවැනි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පුළුල් විදියට පෙනී සිටියා. එහෙත් මේ අවධියෙ එවැනි ක්‍රියාකාරීත්වයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නෑ. සංවිධානය අක්‍රිය වෙලාද?
පිළිතුර:- එහෙම කියන්නත් එපා. අපිට මාධ්‍යයෙන් ලැබෙන සහයෝගය බොහොම අඩුයි. අපි ඒ ගැන කනගාටු වෙන්නෙ නෑ. මොකද අපේ ව්‍යාපාරයෙ කිසි කෙනෙක්ට ඇමතිවරු අගමැතිවරු ජනාධිපතිවරු වෙන්න ආසාවක් දොළ දුකක් නෑ. එහෙත් අපි යුක්තිගරුක සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. පසුගිය ඉරිදා වන විට රටේ වැදගත් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපි සූම් තාක්ෂණය ඔස්සේ 102 වතාවක් හම්බ වෙලා තියෙනවා. අපි යෝජනා කරපු සමහර කරුණු රජයේ අවධානයට ලක් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලෙත් අපි සමහර යෝජනා ඉදිරිපත් කළා. එකක් තමයි ආංශික අධීක්ෂණ කාරක සභා බලාත්මක කළ යුතුයි කියන එක. ඒක මේ වෙන කොට පිළිඅරන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම දේශපාලන වශයෙන් බෙදුණු ගම එක්සත් කරන්න අපි ජනසභා යෝජනා කරලා තියෙනවා. ඒකත් රජය පිළිඅරන් තියෙනවා. ආගමික නායකයන් බොහෝ දෙනෙක් අද අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම සිවිල් සමාජයේ බුද්ධිමතුන් ඇතුළු විශාල පිරිසක් අපි එක්ක ඉන්නවා.
ප්‍රශ්නය:- මෙවර එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒත් සමගම ඉදිරියේදී අපේ රටට ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමේ අවදානමක් ඇති බවත් පැවසෙනවා. සමුළුවේදී ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?
පිළිතුර:- මීට ඉහතදී ලෝක ප්‍රජාව ලංකාව දෙස බැලුවෙ වෙනත් ඇසකින්. එහෙත් පසුගිය කාලෙ ඇති වූ ඇතැම් සිද්ධි නිසා ලංකාවට හානිකර තත්ත්වයක් ඇති වුණා. ලෝකය සමග මිත්‍රත්තවය තියාගන්නෙ නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ වාර්තාවෙන් ඇතිවන බලපෑම වළක්වා ගන්න දැන්වත් ක්‍රියාමාර්ග ගත යුතුයි. ආරක්ෂක අංශ ජනතාවට පහර දීමේදී ඒවයෙ බලපෑම අන්තර්ජාතික වශයෙන් රටට බලපානවා. අද ඒක වෙලා තියෙන්නෙ. මෙවැනි සිදුවීම්වලින් රටට විශාල හානියක් වෙනවා කියන එක අපි කීප අවස්ථාවකදිම රජයේ අවධානයට යොමු කළා දැන්වත් මේක නවත්වන්න කියලා. මොකද සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. ඒ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
ප්‍රශ්නය:- අලුතින් හදන පාලනයක් ඇතුළෙ ජන අරගලයෙ නියෝජිතයන් සහභාගී කර ගත යුතු නැතිද?
පිළිතුර:- අපි යෝජනා කරපු ජන සභා හා ආංශික අධීක්ෂණ කාරක සභා රජය පිළිඅරන් තියෙන්නෙ ඒ තරුණ කොටස් ඇතුළත් වෙන යෝජනා විදියට. ඒ අය නියෝජනය වීම අවශ්‍යයි. මොකද මේ රටේ අනාගතය භාර තරුණයන්ට. ඊළඟ මැතිවරණයේදීත් තරුණයො ඉදිරියට එන්න ඕන. මහජනතාවටත් දැන් අවශ්‍ය දෑත් පිරිසුදු දේශපාලනඥයන්.
ප්‍රශ්නය:- ඔබ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙලාද ඉන්නෙ?
පිළිතුර:- මම දැන් කිසිම දේශපාලන පක්ෂයකට අයත් නෑ. අවසන් වතාවට සිරිකොත පක්ෂ කාර්යාලයට ගියේ 2015. මොකද කතානායක නිර්පාක්ෂික වෙන්න ඕනනේ.
ප්‍රශ්නය:- ඒ කියන්නෙ ඔබ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නෙත් නෑ?
පිළිතුර:- නෑ. මම දේශපාලනයෙන් අයින් වෙලා ඉන්නෙ.
Lanka Newsweek © 2024