Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


රනිල් පාලනයේ අවසානය අත ළඟ..!


2022-10-17 14322

 

බදු දැලේ පැටලී විරුද්ධවාදීන්ට බර අවි දී ලා  

 

සරසවි ප්‍රජාවගෙන් ජනපතිට උපදේශයක් 

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වියතුන්ගේ මුග්ධ පාලනයට එරෙහිව පැන නැගුණු අරගලයේ අග්‍රඵලය වන වාමාංශික කුමන්ත්‍රනකාරීන් විසින් රාජ්‍ය බලය ඩැහැ ගෙන චේ ගුවේරා පාලනයක් පිහිටුවා කියුබාව සහ උතුරු කොරියාව වැනි අධිපතිවාදී පාලනයක් පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබූ උවදුර දුර දක්නා නුවණින් ක්‍රියා කොට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජ ක්‍රමය ආරක්ෂා කොට දී ජනාධිපති බවට පත්වීමට රනිල් වික්‍රමසිංහට හැකි විය. 

එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදය අගයන දෙස් විදෙස් ජනී ජනයාගේ පැසසුමටත් අභිනන්දනයටත් හේතු විය. එසේ නොවන්නට අද ශ්‍රී ලංකා රට වැසියන්ට අත්වන්නට තිබුණු ඉරණම කෙබඳු දැයි කොමියුනිස්ට්වාදී කෘර පාලන ක්‍රම ආරම්භ වූ රුසියාව, චීනය, කියුබාව, උතුරු කොරියාව, කාම්බෝජය වැනි රටවල ඉතිහාසය සේම වර්තමානය ද කියවීමෙන් පසක් කර ගත හැකිය. එම ඉරණමට අප රට ද මුහුණ දුන්නේ නම් අද අපට නිදහස යන වචනයේ තේරුම ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය පරිශීලනය කිරීමෙන්වත් සොයා ගන්නට ඉඩක් ලැබෙන්නේ නැත. 

රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය ලබා ගැනීමට පාර කැපුවේ මොළේ නොමේරු ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු සභාපතිත්වය දැරූ වියතුන් යැයි කියා ගත් බහුභුතයන් පිරිස විසිනි. මේ වන විට ඔවුහූ ගෝඨාභය රාජපක්ෂගේත් බැසිල් රාජපක්ෂගේත් මහින්ද රාජපක්ෂගේත් වැරදි කියමින් නහයෙන් අඬන විකල්ප කණ්ඩායම් බවට පත්ව සිටිති. 

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී මාසයක් ඇතුළත ඔහුට රට පාලනය කිරීමට තරම් දැනුමක් හෝ හැකියාවක් නොමැති පුද්ගලයෙකු බව රාවය පුවත්පතට ලිපියක් ලියමින් මෙම ලියුම්කරු කියා සිටියේය. මහ බැංකුවේ වගකීම් විරහිත භාවිතය, බදු නිදහස සහ කාබනික වගාව යන පිළිවෙත් තුන ඔස්සේ  ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව අද තිබෙන ව්‍යසනයට ගොදුරු කරන ලදී. 

රටේ ජන ජීවිතය විනාශයට පත් කිරීමේ වරදට ජනාධිපති ධුරය, අගමැති ධුරය පමණක් නොව තවත් බොහෝ දෙයින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස වන්දි ගෙවූ නමුත් මහ ජනයා අධික ලෙස පීඩාවට පත් විය. මේ පසුබිම මත තියුණු නුවණ මෙහෙයවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය ලබා ගත්තේය. 

එවකට වූ ගෑස් හිඟය, තෙල් හිඟය සහ විදුලි කප්පාදුව යන මූලික දැවෙන ප්‍රශ්නවලට ද, ඩොලර් හිඟයට ද සැලකිය යුතු විසඳුම් ගෙන දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමත් විය. ඇතැම් භාණ්ඩවල මිල වැඩි වුවත් තවත් භාණ්ඩවල මිල අඩු වීමට පටන් ගත්තේය. රටේ ජන ජීවිතය එදාට වඩා සැලකිය යුතු මට්ටමකින් අද හොඳ අතට හැරී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා රටේ දැවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ද ඔහු සඵලදායී වෙහෙසක් දැරුවේය. කෘෂි කර්මාන්තයට අවශ්‍ය යෙදවුම් ලබා දීම, VAT බද්ද යළි පනවා රාජ්‍ය ආදායම් පුනර් ජනනය කර ගැනීම, දිළිඳු සහනාධාර ලබා දීම යනාදිය ඔස්සේ ජන ජීවිතය සහ රාජ්‍ය ආදායම ද යථාවත් කිරීම පිණිස ක්‍රියා කළේය. 

මේ සියලු දේ අතර රනිල් වික්‍රමසිංහ යොමු නොවූ අංශයක් ද ඕනෑවට වඩා යොමු වූ අංශයක් ද වශයෙන් දෙඅංශයක් පෙනෙන්ට තිබේ. ඒ අතරින් ඔහු යොමු නොවූ අංශය වන්නේ රාජ්‍ය වියදම් අවම කර ගැනීමේ අංශයයි. ගෝඨාභය රාජපක්ෂ අහිමි කළ රාජ්‍ය ආදායම නැවත උපයා ගෙන රාජ්‍ය වියදම් පියවා ගැනීම පිණිස රනිල් වික්‍රමසිංහ අතුරු අයවැය මගින් ක්‍රියා කළේය. එහෙත් අපේක්ෂිත ආදායම නොලැබීමත් භාණ්ඩ සහ සේවාවන්ගේ මිල වැඩි වීම නිසා රාජ්‍ය ප්‍රසම්පාදන වියදම වැඩි වීමත් නිසා රාජ්‍ය වියදම පියවා ගැනීම දුෂ්කර වී තිබේ. 

එසේ නම් කළ යුතුව ඇත්තේ රාජ්‍ය වියදම සැලකිය යුතු ලෙස සීමා කිරීමය. මේ වන විට රාජ්‍ය ප්‍රාග්ධන වියදම් කපා හැරීම කෙරෙහි යොමු වී ඇතත් වර්තන වියදම් කපා හැරීම පිණිස සැලකිය යුතු ප්‍රවේශයක් ගෙන නැත. එසේ නම් රාජ්‍ය වියදම් පාලනය කර ගැනීම පිණිස සැලකිය යුතු ලෙස යොමු වී නැති බව පෙනෙන්නට තිබේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීමත්, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට පියවර ගැනීමත්, සේවක විශ්‍රාම ගැන්වීමේ ක්‍රම කෙරෙහි යොමුවීමත් ඔස්සේ රාජ්‍ය වියදම පාලනය කර ගැනීමට ඉඩක් ලැබේ. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් හෝ සඵලදායී කැපවීමක් මෙතෙක් පෙන්වා නැත.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඕනෑවට වඩා යොමු වී ඇති අංශය වන්නේ බදු පැනවීමය. බදු සම්බන්ධ කවුරුත් දන්නා මූලධර්මය වන්නේ මල් නොතලා රොන් ගන්නා බඹරෙකු ලෙස රජය බදු ලබා ගත යුතුය යන්නය. එමෙන්ම රත්තරන් බිත්තර සියල්ල එක වර ගැනීමට කිකිළිය මැරීම පිළිබඳ කතාවද මේ සන්දර්භය මත බහා තේරුම් ගත හැකිය. 

මීට දින ගණනාවකට පෙර පැනවූ වක්‍ර බදු කීපයක් පාරිභෝගික මූර්ත පරිභෝජනය 25%කින් පමණ සංකෝචනය වන්නට බලපෑවේය. බදු ආදායම අධික රාජ්‍ය වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන නිසා උපයන විට ගෙවීමේ නව බදු යෝජනාවක් ගෙනවිත් තිබේ. මේ මගින් උපයන විට ගෙවන බද්ද 2019 දී පැවති මට්ටම වගේ තුන් ගුණයකින් පමණ ඉහළ නංවා තිබේ. එමෙන්ම බදු දැල පුළුල් කිරීම පිණිස මෙතෙක් වූ රුපියල් ලක්ෂ තුනේ බදු නිදහස් ආදායම් සීමාව රුපියල් ලක්ෂය දක්වා පහත හෙලා තිබේ. වර්තමානයේ ගුරු සේවය, හෙද සේවය, හමුදා සහ පොලිස් සේවය, බැංකු සහ මුල්‍ය සේවය සේම පෞද්ගලික අංශයේ බොහෝ රැකියාවන් සඳහා වන මාසික වැටුප රුපියල් ලක්ෂය ඉක්මවා ඇත.

ඒ අනුව මෙම නව උපයන විට ගෙවීමේ බද්ද රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බලපවත්වයි. මෙම බද්ද සේවා නියුක්තිකයන්ගේ වැටුප පහත හෙලීමට හේතු වේ. වක්‍ර බදු නිසා ද උද්ධමනය නිසා ද හට ගත් මිල වැඩි වීම හේතුවෙන් පිරිහුණු පරිභෝජන මට්ටම මෙම නව බද්ද නිසා තව දුරටත් පිරිහෙයි. රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන සියලු දෙනා මෙම බද්දට යටත් වන බැවින් ව්‍යවස්ථාපිත ආයතනවලින් එම බද්ද අඩු කර ගෙන සේවකයාට වැටුප් ගෙවනු ලැබේ. මෙවැනි සේවා නියුක්තිකයන් සාමාන්‍යයෙන් මධ්‍යම පන්තිය ලෙස සලකනු ලැබේ. රටක සංවර්ධනය උදෙසා මධ්‍යම පන්තිය ප්‍රසාරණය කර ගැනීම කෙරෙහි ආණ්ඩු යොමු වීම කොයි රටේත් පොදු පිළිවෙතකි. ඊට හේතුව වන්නේ මධ්‍යම පන්තිය රටක පොදු පරිභෝජනය ප්‍රසාරණය කිරීමටත් එමගින් නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමටත් උපකාරී වීමයි. මෙම නව බද්දෙන් සිදු වන්නේ ස්ථිර මාසික ආදායම් ලබන මධ්‍යම පන්තිය තව දුරටත් පීඩාවට පත්වී සංකෝචනය වීමයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සමස්ත පරිභෝජනය, සමස්ත නිෂ්පාදනය, දේශීය ඉතුරුම්, දේශීය ආයෝජන සහ දළ දේශීය නිෂ්පාදිතය යනාදිය පිරිහීමට පත්වීමයි. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බොහෝ දේ ගැන බොහෝ දේ දන්නා කෙනෙකු බව සියලු දෙනාගේ පිළි ගැනීමයි. එහෙත් අධික බදු බර ආර්ථිකය විනාශ කිරීමට හේතු වන බව ඔහුට තේරුම් ගොස් නැත. ඔහු ජනාධිපතිවරයා ලෙස මෙතෙක් උපයා ගත් කීර්තිය සහ ප්‍රශංසා මෙම බදු ක්‍රමය නිසා විනාශ කර ගන්නා බව නියතය. එපමණක් නොව බදු බරින් පීඩිතව කිපෙන මධ්‍යම පාන්තිකයන් මෙහෙය වීමට ඉඩ ඇති දරුණු වෘත්තීය අරගලයකට ඔහුට මුහුණ දීමට සිදුවීම නොවැලැක්විය හැකිය. 

රාජ්‍ය සහ පෞද්ගලික සේවයේ ඉහළ තනතුරු දරන සෑම දෙනාම මෙම බද්දට යටත් වන බැවින් වැඩ වර්ජන තීව්‍රතාව ද වැඩිය. රනිල් වික්‍රමසිංහ පාලනය රටේ සේවා නියුක්තිකයන් වැඩි දවසක් ඉවසීමට සුදානම් නොවනු ඇති බවට මේ වන විටත් ලකුණු පහල වී තිබේ. සේවා නියුක්තිකයන් සිය එකම ගැලවුම්කරුවා වෘත්තීය සමිති බව විශ්වාස කිරීමට පෙළඹීම මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග බලගැන්වී වැඩ වර්ජන, හෙමින් වැඩ කිරීම, අකුරට වැඩ කිරීම, නිවාඩු දැමීම පමණක් නොව මහා වැඩ වර්ජනයක් දක්වා සංවිධානය වනු ඇති බව අනුමාන කළ හැක. ඒ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ද ලහිලහියේ සුදානම් වෙමින් සිටින බව පෙනේ.

මහා වැඩ වර්ජනයකින් සියලු රාජ්‍ය සහ පෞද්ගලික සේවා ඇණ හිටිනු ඇත. මාසයක කාලයක් එබඳු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම සේවානියුක්තිකයන්ට කිසිසේත්ම අපහසු නැත. එම ක්‍රියාමාර්ගය විසින් සමස්ත රාජ්‍ය සේවය පමණක් නොව පෞද්ගලික අංශයත් අකර්මණ්‍ය වනු ඇත. එවැනි තත්ත්වයක් රජයට ඔරොත්තු දිය නොහැකිය. මහා වැඩ වර්ජනයක් කරණ කොට ගෙන පැන නගින සමාජ අසහනය විසින් රජය කෙරෙහි එල්ල වන මහ ජන විරෝධය ද සුළුපටු නොවේ. ජීවත් වීම මෙතරම් දුෂ්කර වූයේ ආණ්ඩුවල වරද නිසා බව සියලු දෙනාගේ පිළි ගැනීමයි. එසේ තිබිය දී තව දුරටත් රට වැසියාගේ ගෙල සිර කිරීම මහ ජන කෝපයට සහ කැළඹීමට හේතු වනු නිසැකය. බදු බරට එරෙහි කැරළි ලොව පුරා පැන නැගී ඇති අතර එමගින් බොහොමයක් ජය ගෙන ඇත. ඇතැම් කැරළි පාලනය කිරීමට ආණ්ඩු සමත් වුවද එම ක්‍රියාවලිය අවසන් වන්නේ බදු පමණක් නොව එම බදු පැනවූ පාලකයන් ද ඉවත් කිරීමෙනි. රනිල් වික්‍රමසිංහගේ බදු ක්‍රමය විසින් ව්‍යාපාරිකයා ද, ව්‍යාපාර ද, සේවා නියුක්තිකයා ද, පාරිභෝගිකයා ද කීපවරක් තලා පෙළයි. මහ ජනයා මිරිකා බදු අය කොට රජයේ නාස්තිකාර වියදම් පියවීමෙන් ආර්ථිකයට සහ මහ ජනයාට ප්‍රයෝජනයක් නොලැබේ. 

රනිල් වික්‍රමසිංහගේ බදු බරට එරෙහිව වෘත්තීය සටන් ඇවිලීම වැළැක්විය නොහැකි බවට සංඥා දැනටමත් පහළ වී තිබේ. මහ ජනයාට දැනටමත් එපා වී තිබෙන "එකා-යකා" "රනිල් ආණ්ඩුවට" එමගින් නියත පරාජයක් ද අත්වන බව අනුමාන කළ හැකිය. ආණ්ඩුව මේ තත්ත්වය සුළු කොට තැකිය යුතු කාරණයක් නොවේ. 

මේ තත්ත්වය තේරුම් නොගත හොත් රනිල් වික්‍රමසිංහගේ පාලනයේ ආයුෂ ද ඉතා කෙටි වනු ඇත. ගෝඨාභය රාජපක්ෂගේ මුග්ධ ක්‍රියා හේතුවෙන් ඔහු ද රට ද විනාශ විය. එහෙත් ඉන් පසු රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමෙන් අඩුම තරමින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කර ගැනීමට හැකි විය. හැබැයි මෙවර මෙම අමනෝඥ බදු ක්‍රමය නිසා රනිල් වික්‍රමසිංහ සහ රට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයද විනාශ වී චේ ගුවේරා පාලන ක්‍රමයක් බිහිවීම වැළැක්විය නොහැකිය. එහි භයානකකම ගැන රනිල් වික්‍රමසිංහ පාලනය දිවා රෑ කල්පනාවට ගත යුතුය. 

ආණ්ඩු විරෝධීන් අතට බර අවි දීම රනිල් වික්‍රමසිංහ පාලනයේ ඓතිහාසික ගති ලක්ෂණයයි. පාලන බලය ලබා ගත් නුදුරේ දීම විරුද්ධවාදීන් අතට බර අවි ලබා දීම ඔහුගේ පුරුද්දයි. ඉනික්බිතිව ඔහු මෙන්ම ඔහුගේ පාලනය ද ඉන් බැටකයි. 2015-2019 පාලන කාලයේ දී ඔහු ක්‍රියා කෙළේ ද එලෙසයි. 

විදේශ පුරවැසියෙකු මහ බැංකු අධිපති කර ගැනීම, බැඳුම්කර මගඩිය, කුප්‍රකට විදේශ ගිවිසුම් යනාදී බර අවිවලින් පහර කා 2020 වන විට එක්සත් ජාතික පක්ෂය නැති භංගව ගියේය. උපයන විට ගෙවීමේ බද්ද සහ එරික් සෝල්හයිම් ජනාධිපති උපදේශක කර ගැනීම යනාදිය රනිල් වික්‍රමසිංහ විසින් සතුරාට ලබා දී ඇති නවීන පන්නයේ බර අවි කීපයකි. ඉදිරියට තවත් එවැනි අවි ලබා දෙනු ඇත. එසේ නොදෙන්නේ නම් ඔහු රනිල් වික්‍රමසිංහ නොවේ. දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබෙන පොදු මතයක් වන්නේ, "රනිල් බලය ලබා ගැනීමට දන්නා නමුදු බලය පවත්වා ගැනීමට නොදනී" යන්නයි.

ගෝඨාභය රාජපක්ෂ කාබනික ගොවිතැන නමැති මායාවේ මංමුලා වී නන්නත්තාරව ස්වයං සිරකරුවෙකු බවට පත් වූවා සේම රනිල් වික්‍රමසිංහ පාලනය ද ඊටත් වඩා කෙටි කාලයක දී සිය බදු දැලේ පැටලී අවසන් හුස්ම නොහෙලනු ඇතැයි කාට නම් කිව හැකිද..? රනිල් වික්‍රමසිංහ පාලනයේ අවසානය කෙසේ සිදුවේද යන්න එතරම් වැදගත් කාරණයක් නොවන නමුදු ඉන් පසු ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රමය කෙබඳු එකක් වේද යන්න ගැඹුරින් කල්පනාවට ගත යුතු කරුණකි. රනිල් වික්‍රමසිංහගෙන් පසු රට වැසියාට කොමියුනිස්ට් පාලනය නමැති හිර ගෙදර ජීවත්වීමට සිදු වුව හොත් එහි වගකීම දැරිය යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාමය. ඒ ඔහු ජන හද හෝ ජන හඬ නොහඳුනන පුද්ගලයෙකු වන බැවිනි. එසේ වුවද මෙම ලිපිය "ගම්මට්ටමේ-බිම්මට්ටමේ" පියාණෝ දේශපාලනය පිම්බීම පිණිස නොවේ. අවශ්‍ය වන්නේ සිය ජනපති ධුරය දුරදර්ශි ලෙස මෙහෙයවා ජනතාව කබලෙන් ලිපට අද වැටීමෙන් බේරා ගැනීමයි. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් රනිල් වික්‍රමසිංහ පාලනයේ අවසන් හුස්ම හෙලීමට වැඩි කලක් ගත වන්නේ නැත.
 

Advertiesment