අවුරුදු දහයකට කලින් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර තිබුණි. දැන් අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ආර්ථික අර්බුදයක පසුවෙන ශ්‍රී ලංකාව පොහොසත් සමාජයට ඇතුළු කරගන්නට ජාත්‍යන්තරය සූදානම් නැත. පහළ ආදායම් මටට්මක සිටින බව පිළිගැනීමට සිදුවී ඇත. ණය ගෙවා ගත නොහැකි, ආර්ථික ප්‍රශ්න ඉදිරියේ ජන සමාජය නොසන්සුන් වී ඇති අවස්ථාවක වෙනත් පියවරක් නැත.
මැදි ආදායම් මටට්ම එක්තරා ආකාරයක ප්‍රශ්න ඇති කරන සීමාවක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතයකි. රටවල්වලට පමණක් නොව පුද්ගලයන්ට ද එය පොදු ධර්මතාවකි. දුප්පත් පවුලකට ආධාර ලැබෙන නමුත් ඔවුන්ගේ ජීවන මටට්ම ඉහළට එනවිට සහන නොලැබේ. කලින් ලැබුණ සහන රහිතව තමන්ගේ උත්සාහයෙන් ඉදිරියට යන්නට සිදුවේ. ශ්‍රී ලංකාව අලුත් හුස්මක් ඇතිව මැදි ආදායම් මට්ටමක සිට ගමන ආරම්භ කළ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඒ හා සමග ඇති වූ කොවිඩ් වසංගතය එකී බලාපොරොත්තු බිඳ දැමීය.
දූෂණ, වංචා හෝ සොරකම් ආර්ථිකය විනාශ කරන ලද බවට කරන විවේචනය සාධාරණය. ආර්ථිකය අර්බුදය පෙනි පෙනී නිසි තීරණ නොගැනීම ඍණ අගයකට හරවන හැබෑ හේතුවකි. ආදායම අඩුවන සමහර අවස්ථාවල අත්‍යවශ්‍ය නොවන ඇතැම් වියදම් කපාහැරීම අපට නුපුරුදු දෙයක් නොවේ. විශේෂඥයන් ආර්ථික තත්ත්වය ගැන දිගින් දිගටම කරන අනතුරු ඇඟවීම් දේශපාලනඥයෝ සුළුකොට තැකූහ. අවශ්‍යයෙන්ම කළ යුතු ප්‍රතිසංස්කරණ මගහැරියේය. දේශීය හා විදේශීය ණය ගැනීම පාලනය නොකළ අතර ධනය උත්පාදනයට නොව පරිභෝජනය සඳහා ණය ගැනීම විශාල අවදානමක් ඇති කළේය. එහි විපාක අප හමුවේ ඇත. ජනතාව දුකට පත්ව සිටිති. රට දුප්පත් තැනට වැටී ඇත. විනාශය කරා වුවමනාවෙන්ම පැමිණි රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය වී තිබේ.
දශක අටක ඉතිහාසය තුළ ඇති කළ දරුණුම ආර්ථික පීඩනය, විදේශ විනිමය හිඟය එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර හා ඖෂධ යනාදිය මිල ඉහළයෑම යන කරුණු නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ආයතන ජනගහනය දුප්පත් වී ඇති අතර දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බවට කරුණු දක්වති. අතට ලැබෙන ආදායම අඩු නමුත් ලෝකයේ අනෙක් රටවල් සමග සසඳනවිට කෙසේ හෝ කුසගිනි නිවාගන්නා රටකි. දිනකට ලෝක ජනගහනයෙන් 7,750ත් 15,345ත් අතර පිරිසක් කුසගින්නෙන් ජීවිතක්ෂයට පත්වන බව ඇමරිකාවේ ඔක්ෆර්ම් සංවිධානය පර් යේෂණ වාර්තාවකින් කියයි. ශ්‍රී ලංකාවට ආහාර මිල ගැන ප්‍රශ්න ඇත. වෙනදා පුරුදු ආහාර රටාව වෙනස් කරගන්නට සිදුවී තිබේ. එහෙත් දැවැන්ත අහේනියක් රටට නැත. සෞඛ්‍ය බලධාරීන් අභ්‍යන්තරය විමසා බලා පිළිතුරු දිය යුතුය.
එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ලෝකයේ දුප්පත් ජනගහනය මිලියන 675 ක් පමණ වෙතැයි සැලකේ. මෙම කොටස අතරින් මිලියන 75ත් 95 ත් අතර ප්‍රමාණයක් දුප්පත්වීමට රුසියාව හා යුක්රේනය අතර යුද්ධය බලපා ඇත. ඉන්ධන, පොහොර හා ධාන්‍ය නිපදවන රටවල් අතර විශේෂ තැනක් ගන්නා ගැටුම් සහිත කලාපය ජාත්‍යන්තරයේ දැනට පවතින ආර්ථික කුණාටුවට බරපතළ හේතුවක් වී තිබේ. බොරතෙල්, ගෑස්, කිරිපිටි හා තිරිඟු මිල වැඩිවීම කොවිඩ් හා සමග ඇති වූ යුක්රේන ගැටුමේ ප්‍රතිඵලයකි. බටහිර රටවල් විශාල ධන සම්භාරයක් රුසියාවට එරෙහිව යුක්රේනයට සපයමින් සිටී. එම ධනය දුප්පත්කමට හා ආහාර හිඟයට උත්තරයක් වශයෙන් වැය නොකරන බලවත් ජාතීහු මෙම ආර්ථික තත්ත්වයෙන් බෙලහීන වූ රටවල ස්වභාවය වැඩිපුර හුවා දක්වා මෙම සිදුවීම් එකී රටවල අභ්‍යන්තර ප්‍රශ්න සේ අඟවන ප්‍රයත්නයක පසු වෙති.
ශ්‍රී ලංකාව හොඳ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් සහිතව පසුවන රටකි. තිස් අවුරුද්දක් යුද්ධයක් තිබිය දී පවා ළමා හා මාතෘ මරණ අවම මටට්මක තබාගන්නට සෞඛ්‍ය අංශ සමත්විය. සෑහෙන අඩුපාඩු මැද නමුත් නොමිලේ සපයන රජයේ වෛද්‍ය පහසුකම් එයට උපකාරී වූ බව නොරහසකි. මාස කිහිපයක ආර්ථික අර්බුදයකින් දරුවන් මිලියන 1.7 ක් පමණ මන්දපෝෂණයෙන් මියයන අවදානමක් ඇති බවට එක්සත් ජාතීන් ප්‍රකාශ කිරීමේ පදනම කුමක්ද? වැඩිහිටියන් කුසගින්නේ සිටිය දී දරුවන්ට හොඳම දෙය සපයන සමාජ රටාවක් රටට ඇත.
වැරදි කළමනාකරණය රටට විනාශය කැඳවා තිබේ. මතු පිටට නොපෙනෙන විශාල කලු සල්ලි ප්‍රමාණයක් රට තුළ ඇත. දඬුවම්, සක්විති, ගෝල්ඩන් කී සිට මේ නොබෝදා කුප්‍රකට කාන්තාවක ගේ සිද්ධිය දක්වා අනවසර ස්ථානවල ධනය සඟවා තිබේද? සමාජ විෂමතාවලින් උපයාගත් මෙම ධනය රට තුළ ඇති නැති පරතරය වැඩි කර ඇත. සාධාරණ ක්‍රම වෙනුවට අනීතික අයුක්තිසහගත අවස්ථාවලට ඉඩ දී තිබේ. දේශපාලන ක්‍රමයේ වරදකි.
සෑම දේශපාලන පක්ෂයකටම ඒවා වටා එකතු වූ ප්‍රකෝටිපති පිරිසක් සිටිති. පක්ෂවල බලය ඡන්දදායකයන් නොවේ. කූඨ ක්‍රමවලින් මුදල් උපයා ඒවා මැතිවරණවලට වැය කරන සංවිධානාත්මක පිරිස බව සඳහන් කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම රටට අවශ්‍ය නැත. අලුත් ව්‍යවස්ථාවක් කුමකටද? සමානුපාතික ක්‍රමය අහෝසිකර මහජන නියෝජිතයන් තෝරාගැනීම ආසන මටට්මින් කළ යුතුය. ධන බලය හා සහනාධාර ක්‍රම ඉවත්කර අර්බුදයක් නැති රටක් බිහි කළ හැක.
මුලින් සඳහන් කළ පරිදි, මැදි ආදායම් රටක් බවට පත්වන විට එනම් 2013 දී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 11.1 කි. 2021 වන විට සියයට 8 ට අඩු ය. බදු නොගෙවන්නේ දුප්පත් ජනතාව නොවේ. දුප්පතුන්ගෙන් වක්‍ර බදු අයකරමින් සිටී. මෙරට බදු අය කරන ක්‍රමවේදය නඩත්තු කිරීම පවා ඵලදායී කාර්යයක් නොවේ.
දේශපාලනඥයන්ගේ සිට විවිධ තලවල පිරිස් වංචනික ක්‍රම අනුගමනය කරන බව ඔප්පු වී හමාරය. එවැනි ධනය සඟවාගෙන සිටින දැවැන්ත කොටසකට පවා ආණ්ඩුව සහනාධාර සපයයි. දුප්පතුන්ට සමෘද්ධි දීමනා ලැබීම වරදක් නොවේ. රෝගීන්ට සත්කාරක සේවා සැපැයිය යුතුය. සෞඛ්‍ය හා අධ්‍යාපනය නොමිලේ සැපැයීම ආයෝජනයකි. නුසුදුසු පිරිසකට සහනාධාර දෙන්නේ ඇයි?
ක්‍රමය පවත්වාගෙන යන, එයින් වාසි ලබන සුළු පිරිසක් ගොවියාගේ සිට වැඩ කරන ජනතාව දක්වා පරාසයක් බරපතළ මිථ්‍යාවකට ගොදුරුකරගෙන තිබේ. ජනතාවට සහන දිය යුතු අතර ජනතාව නඩත්තු කිරීම ආණ්ඩුවක වගකීම බව දක්වයි. ඡන්දය ලබාගැනීමේ පොරොන්දු බවට එය හරවාගෙන ඇත. ආර්ථිකය ගොඩනගන ප්‍රතිපත්ති වෙනුවට ජනතාවගේ අතට සොච්චමක් දෙන ක්‍රමයෙන් මැදි ආදායම් රටක් පවතින්නේ නැත. ස්වභාවිකව විනාශය කරා යමින් තිබුණ රටක් කොවිඩ් වසංගතය හේතුවෙන් හදිසි අර්බුදයකට ඇද දැමීය. තරුණ අරගලකරුවන් මෙම අදූරදර්ශී ක්‍රම වෙනස් කරන සේ බලකරන ලද නමුත් ඔවුන්ගේ හඬ ද සාහසික ලෙස විනාශ කරන්නට අවස්ථාවාදීන්ට හැකි විය.
විනිමය හිඟය ඉතිහාසයේ සිට තිබුණ ප්‍රශ්නයකි. රටට අවශ්‍ය දේ ගෙන්වන්නට විදේශ සම්පත් වුවමනා කෙරේ. ඇමරිකාවෙන් තිරිඟු හෝ චීනයෙන් රබර් සහල් ගිවිසුම් අත්සන් කිරීමට පසුබිම විනිමය ප්‍රශ්න බව සඳහන් කළ යුතුය. අධිරාජ්‍යවාදීන් තේ, රබර් ඇතුළු වැවිලි බෝග ආර්ථිකයක් නිර්මාණය කළ අතර එයින් පසු රටට අපනයන අංශයක් වූයේ ඇඟලුම් කර්මාන්තය පමණකි. සංචාරක හෝ විගමනික ශ්‍රමය උත්පාදනයක් නොවේ. ඉතාම මෑතක සිට පරිගණක ආශ්‍රිත අපනයන සුළු වශයෙන් දැක්වේ. බලයට පත්වන ආණ්ඩු මහා පරිමාණයෙන් උත්පාදනය හා උසස්, තරගකාරී ප්‍රමිතියකින් නිපදවා ඒවා අපනයනයට පියවර ගත යුතුව ඇත. සැලසුම් කරන නමුත් නොකරන්නේ එයයි.
අපනයනය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට පනහ ඉක්මවන තෙක් රටට ගැලවීමක් නැත. ශ්‍රී ලංකාවේ දැන් අනුපාතිකය සියයට 16.4කි. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම ඉහළ ඇති රටවල් බලන්න. සිංගප්පූරුවේ එය සියයට 173 කි. වියට්නාමයේ සියයට 101 කි. මාලදිවයිනේ සියයට 72ක් හා මලයාසියාවේ සියයට 71 කි. නිදහස ලබන විට ශ්‍රී ලංකාවට පහළින් සිටි රටවල් ගණනාවක තවත් ලැයිස්තුවක් දැක්විය හැක. මෙම රටවල් අද මැදි හා ඉහළ ආදායම් මට්ටමට පැමිණීමට හේතුව අපනයන ආදායම බව නොරහසකි. මොනවා හෝ නිපදවීමත්, ඕනෑම රටකට අපනයනය කිරීමත් හැර දුප්පත්භාවයෙන් ගැලවෙන අනෙක් මාර්ගයක් නැත. තරුණ ශ්‍රමය වෙනත් රටකට යවා එයින් ලැබෙන විනිමය ප්‍රමාණයෙන් ඉන්ධන ආනයනය කිරීමට යෙදවීම සංවර්ධනයේ ලක්ෂණයක් ද?
ලෝකයේ රටවල් අලුත් අපනයන අංශ සොයා ගෙන ඇත. ජලය, විදුලිය, ද්‍රව හයිඩ්‍රජන් ඒ අතර ඉදිරියෙන් තිබේ. මෙකී ක්ෂේත්‍රවල ආයෝජනය සඳහා රටට වත්කමක් නැත. ජාතික ආර්ථිකයක් යන වැරදි සහගත තාප්පයක් බැඳ ඇතුළුවීම තහනම් පුවරුවක් ද එල්ලා සිටින අතර අභ්‍යන්තර ආර්ථිකය වේගයෙන් පිරිහීම අද ඇති අවදානමට හේතුවකි. දේශපාලන පක්ෂ අලුත් ප්‍රකෘතියකට යා යුතුය. ආයෝජන අවස්ථා විවෘත කළ යුතු අතර එයින් ලැබෙන අවස්ථා සමාජයට අත්පත් කරගන්නට ඉඩදීම වැදගත්ය. ආර්ථිකය දියුණු වූ පසු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට නැගේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 වසරේ දී කලින් වසරට වඩා ඍණ 9.2 කින් පහත වැටෙනු ඇති බව ලෝක බැංකුව කියයි. 2023 වසරේ දී ඍණ ආර්ථිකය තව දුරටත් පවතින අතර එය 4.2ක් බව පුරෝකථනය කර තිබේ. ආර්ථිකය ඍණ අගයක් ගන්නා පසු එහි පීඩනය පහසු නැත. ආදායම පහත වැටේ. වෘත්තීය අවස්ථා අඩුවේ. මෑත කාලය තුළ ආර්ථිකය පහතට වැටුණු රටවල් පසුව අනුගමනය කළ ප්‍රතිපත්ති අනුව ස්ථාවර තත්ත්වයකට පත්ව ඇත. අනුගමනය කරන කෙටි හා දීර්ඝ කාලීන ක්‍රමවේද මෙහි ලා වැදගත්ය.
දේශපාලනය කළ හැක්කේ ආර්ථිකයක් සාධනීය වශයෙන් පැවැතියහොත් පමණකි. ජනතාව දුකට පත්ව අනාගතයක් ගැන අවිනිශ්විතව සිටිය දී ඡන්දයක් පැවැත්වීම ප්‍රශ්නයක් නැත. ජනතාවගේ දුක වෙන්දේසිකර වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැක. ඉතිහාසයේ සිදුවූයේ එයයි. ආණ්ඩු බලයට පත් කිරීම සඳහා ධනය යෙදවීම ආයෝජනයක් සේ කරගෙන යන පිරිස් සිටිති. එහෙත් බලයට පත් වූ පසු රට දියුණු කරන්නට වෙනත් මාර්ග නැත. හඳෙන් සහල් හෝ පේසාලයෙන් තෙල් විශාල නොමග යැවීමකි. දූෂණය හෝ වංචාව යන බරපතළ වචන පවා අර්ථ විරහිතය.
පළමුවැනි ඉලක්කය ඡන්දයක් නොවේ. රටට අලුත් ආර්ථිකයක් ඇති කරන වැඩ පිළිවෙළකි. පොදු වැඩ පිළිවෙළක් යන්න විකාර අදහසකි. ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. නායකයන්ට සැලැස්මකට අනුව ඉදිරියට යන්නට ඉඩ දිය යුතුය. ඉතිහාසයේ සටහන්ව ඇති පරිදි කිසිම නායකයකුට සැලැස්මක් ක්‍රියාවට නංවන්නට ඉඩ දී නැත. විපක්ෂයක් කළ යුතු බලය පැහැරගැනීම නොවේ. පැහැර ගන්නට තරම් රටක් හැදීමය. දුප්පත්, ලෝකයේ නොයෙක් අපවාදවලට හේතු වූ රටක් අත්පත් කරගැනීම විශාල අවස්ථාවක් යැයි කල්පනා කිරීම බරපතළ වැරදීමකි.
Lanka Newsweek © 2024