දේශපාලන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කමිටු අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳ නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මත දෙකක් දැරුවෝය. මෙවැන්නක් ගැන පාර්ලිමේන්තුවට පූර්වාදර්ශ තිබුණේ ද නැත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ නඩු සටහන් අනුව, වසර 2 ½ කින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි බවත්, එම තත්ත්වයසංශෝධනය කිරීමට (වසර 4 ½ දක්වා වැඩි කිරීමට) නොහැකි බවත් නීතිපති හෙළි කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද, ඩලස් අලහප්පෙරුම කණ්ඩායමේ ද, විමල් වීරවංශ කණ්ඩායමේ සහ අනුර ප්‍රියදර්ශන කණ්ඩායමේ අභිලාශය වූවේ වසර 4 ක් හෝ වසර 4 ½ ක් යන තුරු ඡන්දය කල් දමා ගැනීම ය. තව මාස හයකින් ජනාධිපතිවරයාට තමා කැමති ඕනෑම වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකිය.
වහා මහා මැතිවරණයක් ඉල්ලන්නේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණයි. සමගි ජන බලවේගයට ඇත්තේ මන්ත්‍රී ධූර 38 කි. විපක්ෂයේ හවුල් පක්ෂ සමඟ ඡන්ද 49 යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සේම විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යන කණ්ඩායම්වල සහාය නැතිව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරන්නට විපක්ෂ නායකට හෝ ජනතා විමුක්ති පෙරමුණට නොහැකිය. ඒ අනුව මේ වන විට විපක්ෂයේ ද ඉරණම ඇත්තේ ජනපති අතේය.
2023 මාර්තුවල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබීම ගැන පක්ෂ දෙකම සතුටුය. සමගි ජන බලවේගයේ බහුතරයකගේ මතය පක්ෂ දෙක එක් විය යුතු බවය. "රනිල් වික්‍රමසිංහ එක්ක අපට ආණ්ඩු කළ හැකියි" ඔවුහු කියති.
ජනපති බලය අඩු කරන්නේ නැතුව වුවත් ඡන්දයකට යන්නට පවා ඔවුන් කැමති ය. අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය පත් කිරීමට පවතින පරම බලය ජනපති රනිල් වික්‍රමසිංහ අත තිබිය දී පවා ඡන්දයට යන්න සමගි ජන බලවේගය කැමතිය. ඒ නිසාම ඔවුන් මේ බවන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරන්නේ නැත. පාර්ලිමේන්තුවට ගෙන ආ රාජාසන කතාව, අයවැය සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි කිසිදු යෝජනාවකට විරුද්ධ වූවේ ද නැත. සාධනීය විවේචණයකින් ඔබ්බට යන්නේම නැත. ආණ්ඩුව ලබා දුන් මුදල් සහ කෝපා ඇතුළු කමිටු සියල්ල නිතරඟයෙන් භාර ගත්තෝය. තවම විපක්ෂයේ බව පෙන්වන්නට "කෝප් ඡන්දය" වැනි කෘතීම අවස්ථා නිර්මාණය කර පරාජය වන්නේය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් සහ ශානක්‍යන් රාසමනික්යම්ගේ දැඩි විවේචන පවා අඩුවී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නිල මතය ආණ්ඩුවට ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ඉඩ දිය යුතු බවය. ඡන්දයක් ඔවුන්ට ඕනෑ නැත. ඡන්දයකට ගියත් ප්‍රශ්නයක් ද නැත.
2023 මාර්තුවේ දී ඡන්දයකට යාම ඩලස් අලහප්පෙරුම (13), විමල් වීරවංශ (13) සහ අනුර ප්‍රියදර්ශන (6) යන කණ්ඩායම්වලට අතිශයින් අවාසිදායක ය. ප්‍රධාන පක්ෂ තුන වන සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවන්නේ නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හෝ සන්ධාන ගත වීමට සිදු වන්නේ ය. තනිව තරඟ කර දිස්ත්‍රික් ආසන ජය ගත නොහැකි බව රහසක් නොවේ.
අරගලය ඇරඹීමට පෙර ජනතා විමුක්ති පෙරමුණට තිබුණු කැමැත්ත රට පුරා ගිණි තැබීම් මාලාව සමඟ ආපහු හැරී ඇත. නාගරිකයේ ඔවුන්ගේ ජයප්‍රියත්වය ඉහළය. ජනතා වුමුක්ති පෙරමුණ 2004 පාර්ලිමේන්තුවේ ආසන 31 ක් ලැබීය. පළාත් සභාවේ ආසන 81 ක් දිනුවේය. ජනතා විමුක්ති පෙරමුණු සහ සමාජවාදී පෙරටුගාමී බෙදීම නිසා එදා ජනතා විමුක්ති පෙරමුණට තිබූ බලය අද තිබේද..? නැත..!
රත්නපුර, කළුතර, කුරුණෑගල, මොණරාගල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු බලය අවතක්සේරු කළ නොහැකිය. මාතලේ, මහනුවර, බදුල්ල, පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල බහුතර ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින ආසන කිහිපයේ ද තත්ත්වය ද එසේමය.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී බෙදීම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව සීමා කළේ යම් ලෙසක ද, 2020 දී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ බෙදීම නිසා එලෙසින්ම සිදු විය. පාරම්පරික එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ලක්ෂ 12 ක් ඡන්ද පොළට ගියේ නැත. ඉදිරි මහා මැතිවරණයක දී තනි විශාලතම පක්ෂය විය හැකි යැයි සමගි ජන බලවේගය සිතුව ද ඔවුන්ට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය (ආසන 113 ක්) පහසු නැති බව ඔවුහු දනිති. මේ සියල්ල කියන්නේ මාස හයකින් පසුව ඕනෑම මොහොතක එළැඹෙන මැතිවරණයක දී කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවන බවය.
වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය 13% කි. නවක මන්ත්‍රීවරුන් 79 ක් 2020 පාර්ලිමේන්තුවට ආවේය. අවුරුදු 25-30 මන්ත්‍රීවරුන් ඇත්තේ 5 ක් පමණී. ඡන්දයෙන් පත් වූ 196 න් 142 ක් ම වයස 60 ට අඩු නමුත්, මිනිසුන්ට පෙනෙන්නේ මේ එකතුව මහලු පාර්ලිමේන්තුවක් ලෙස ය. වයස 80 ට වැඩි ආර් සම්බන්ධන්, වාසුදේව නානායක්කාර සහ සී වී විග්නේෂ්වරන් ගැන හැමෝම කතා කරති. 70 ට වැඩි ජනපති, අගමැති සහ හිටපු ජනපති ගැන කතා කරති. නමුත්, කිසිවෙකුට තරුණයින් පාර්ලිමේන්තුවට ගෙන එන ක්‍රමයක් ගැන අදහසක් හෝ වැඩ පිළිවෙළක් නැත.
1981 දිස්ත්‍රික් සංවර්ධන සභාවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, ඉම්තියාස් බාකීර් මාකර්, මර්වින් ජේ කුරේ, උපාලි පියසෝම, ජස්ටින් ගලප්පත්ති, ගුණපාල තිස්සකුට්ටිආරච්චි සහ සුරනිමල රාජපක්ෂ යන තරුණයින් පාර්ලිමේන්තු ආවේය. තරුණ කෝටාව යටතේ පළාත් පාලනයෙන් දේශපාලන ඇරඹී මහින්ද අමරවීර, නිශාන්ත පෙරේරා, සහන් ප්‍රදීප්, සම්පත් අතුකෝරල, අජිත් රාජපක්ෂ, විරසුමන වීරසිංහ, අගලවත්ත මංජු, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර සහ අශෝක ප්‍රියන්ත ඇතුළු 20 කට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තු ආවෝය. තරුණ කෝටාව නොවන්නට මේ කිසිවෙකුත් පාර්ලිමේන්තු එන්නේ නැත.
තරුණයින්ට සහ කාන්තාවන්ට ඊළඟ ඡන්දයට පෙර දොර විවර කළ යුතුය. ආංශික අධීක්ෂණ කාරක සභා හෝ ජන සභා හෝ පළාත් පාලනය හරහා හෝ තරුණයින් දේශපාලනයට ගෙන්වා නොගන්නේ නම් ඊළඟ පාර්ලිමේන්තුවටත් "නාකි පාර්ලිමේන්තුව" යැයි බැන බැන සිටින්නට සිදු වනු ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිම දවසක කාන්තාවන් 13 කට වඩා මන්ත්‍රීවරියන් වූවේ නැත. මෙවර මන්ත්‍රීවරියන් 12 න් 8 ක් ම පවුල් පසුබිම නිසා දේශපාලනයට පිවිසි අය වෙති.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වෙන්ව තරඟ කරන්නේ නම් එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්ද පොළට එන්නේ නැත. එජාප සුළු ජාතික ඡන්ද පදනම ද අද සජබයට නැත. එම තත්ත්වය වක්‍රව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වාසි සහගත ලෙස පසුගිය ජනපතිවරණයේ ද, මහා මැතිවරණයේ ද හැසිරෙනු ලැබීය. පළාත් පාලන ඡන්දයක බලය සජබ-එජාප කඳවුරට ගැනීමට නම් කුඩා පක්ෂ තමන්ට වටා ගොනු කර ගත යුතුය.
නාගරික මධ්‍ය පන්තිය ජනතා විමුක්ති පෙරමුණට යම් ආකර්ෂණයක් ඇතත් ඔවුන්ගේ ගොවි, ධීවර සහ අව වරප්‍රසාදිත කණ්ඩායම් හි ඡන්ද පදනමේ ආකර්ෂනය ඔවුන්ට තවමත් නැත. 2004 දී වගේ පාර්ලිමේන්තු ආසන 41 ක්, පළාත් සභා ආසන 81 ක් ලබා ගැනීම පහසු නැත.
පාර්ලිමේන්තුව වට කිරීමට ජනතාව කැඳවීම සහ 2022 මැයි 9 රට පුරා සිදු වූ ගිණි තැබීම් ද, දෙවන අරගලයට නායකත්වය දීමේ කතාව ද විසින් නාගරික මැද පන්තිය හේතු ඇතිව හෝ නැතිව ජවිපෙන් තාවකාලිකව නමුත් දුරස්ථව ඇත. එජාප-සජබ බෙදීම සේම ජවිපෙ-පෙරටුගාමී බෙදීම ඔවුන්ගේ සංවිධාන ශක්තිය සහ ජීව ගුණය පහත දමා ඇත.
ජනපති බලය අඩු කිරීම, ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවීම සිදු නොකර ඡන්දයකට යාමෙන් යහ පාලන සංකල්පයේ බලාපොරොත්තු වූ තුලන සහ සංවරණ ක්‍රියාව යථාර්ථයක් වන්නේ නැත. මේ වන විට සාධාරණ සමාජයක් සඳහා ජාතික වූ ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන උත්සහ කරන්නේ පවතින අර්බුදය ඇතුළත ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ය.
අතිශයින් පක්ෂග්‍රාහී වූ මේ මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම යටතේ ඡන්දයකට යාමත් ඉන් පසුව ආණ්ඩු පිහිටුවීමත් අර්බුදකාරී වනු ඇති බව සිවිල් ක්‍රියාකාරිහු හොඳින්ම දනිති. 2018 දින 52 ආණ්ඩුවෙන් පසුව නැවත එජාප කැබිනට් මණ්ඩලය පත් කරන විට එවකට බලතල සීමා කර තිබූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට කිසිම අමාත්‍යාංශයක් දුන්නේ නැත. එවැනි තත්වයකට පත්වීමට කිසිදු සජබ මන්ත්‍රීවරයෙකු නැවත සුදානම් වන්නේ නැත. ආණ්ඩු පක්ෂය ද ජනාධිපතිවරයා සෘජුව විවේචනය නොකරන්නේ ඒ නිසාය.
නියමිත දිනට ඡන්දය පවත්වන්නේ නම් මහා මැතිවරණයකට තව වසර 3 ½ ක් තිබේ. ව්‍යවස්ථාවට අනුව තව මාස 6 කින් ජනාධිපතිවරයාට මහා මැතිවරණයක් කැඳවිය හැකිය. ඡන්දයක් ඉල්ලන කණ්ඩායමක් සිටී. ඡන්දයකින් දිනන්නට බැරි කණ්ඩායමක් ද සිටී. ඒ සියල්ලම අතර මිනිසුන් මිලියන 20ක් දැවැන්ත ජීවන අරගලයක නිරතව සිටිති. ඔවුන් අමතක කර දේශපාලනය කතා කිරීම විහිළුවකි.
Lanka Newsweek © 2024