ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලෙන් පමණ ඉක්මවා ලබාගෙන ඇති මුදල මේවනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. මහබැංකුවේ විදේශ සංචිතවල ඍණ අගය ඩොලර් බිලියන 4.8 දක්වා වැඩිවී ඇත. මේ තත්ත්වය මත රට බංකොළොත් භාවයට පත්ව ඇති නිසා බාධාවකින් තොරව අත්‍යවශ්‍ය ආනයන නොකඩවා පවත්වාගෙන යාම තහවුරු කොට පවත්වා ගෙන යා නොහැකිවනු ඇත.
විදේශ වලින් ගත් ණය උදෙසා පොලී ගෙවීම ද කළ නොහැක්කකි. මේ පසුබිම යටතේ ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමකින් රට ගලවාගත හැකිවේ ද? මෙම ණය මුදල මුදා හැරීම සඳහා වන පෙර කොන්දේසි අතර එක් කොන්දේසියක් වන්නේ තෝරාගත් රටවල් කිහිපයකින් ලැබූ විදේශ ණය උදෙසා ප්‍රබල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක්‍රමයට එළැඹීමේ අවශ්‍යතාවයි. රටේ මෙම ණය ප්‍රතිව්‍යුගත කරන සැලසුම්වල වර්තමාන තත්ත්වය කෙබඳු වේදැයි අපි සලකා බලමු
මෙම යෝජිත විස්තීර්ණ ණය පහසුකම්වල තීරණාත්මක කොන්දේසි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මයි. එසේ වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, ණය දෙන සාමාජික රටවල් උදෙසා ණය සැපයීමේ දී ණය ගෙවාගත නොහැකි රටවලට ණය නිකුත් කළ නොහැකිවීම නිසාය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් මෙන්ම නීතියක් ද වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථ කථනයට අනුව රටක ණය ගෙවා ගැනීමේ හැකියාව යනු ගිවිසගත් පරිදි, අතිරේක මූල්‍ය සහායක් නොමැතිව, මූලික ණය මුදල හා පොලී පැහැර හැරීමකින් තොරව නිසි වෙලාවට ගෙවා ගැනීමට යම් රටකට ඇති හැකියාවයි.
ශ්‍රී ලංකාව දැන් විදේශ ණය සමතුලිතව දරාගත නොහැකි තත්ත්වයකට පත්ව සිටී. දැන් ශ්‍රී ලංකාවට මූලික ණය මුදල ගෙවාගැනීමටත් නොහැකිය. පොලිය ගෙවා ගැනීමත් කළ නොහැකිය. ඒ කාර්යය දෙකෙන්ම දැන් අපි අසමත්ව සිටිමු. තවදුරටත් සාමාන්‍යයෙන් ණය ගන්නා මුලාශ්‍රවලින් ශ්‍රී ලංකාවට ණය ගතහැකි නොවේ. එම නිසා දැන් විදේශ සංචිතවලින් ඒවා ගෙවිය යුතුව තිබේ. එහෙත් දැන් විදේශ සංචිත ද සිඳී ගොසිනි. එම නිසා එකම විකල්පය වන්නේ ගත් ණය පැහැර හැරීමයි.
ශ්‍රී ලංකාව එහි රාජ්‍ය ණය යන්න නිර්වචනය කොට ඇත්තේ මධ්‍යම රජයෙන් පමණක් ගන්නා ලද ණය ලෙසයි. එහෙත් දැන් රාජ්‍ය ණය යන්න අර්ථ දක්වනු ලබන්නේ ඊට වඩා ප්‍රබල අර්ථයෙනි. දැන් රාජ්‍ය ණය යන්න අර්ථ දක්වන්නේ පළාත් ආණ්ඩුවල ගිවිසුම්ගත ණය, රජයේ සමාගම්, (රාජ්‍ය ආයතන) වල ගිවිසුම්ගත ණය සහ සමාජ ආරක්ෂණ අරමුදල් ආදී සියල්ලේ එකතුව ලෙසයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්වචනය කොට ඇත්තේ, මධ්‍යම ආණුඩුව, රාජ්‍ය සංස්ථා හා සමාගම්, රාජ්‍ය හිමිකාරීත්වය ඇති බැංකු, මහ බැංකුව සහ රජයේ සහතික කිරීම ඔස්සේ ණය ලබාගත් ආයතන ඇතුළු සියල්ල ලබාගත් ණයවල එකතුව ලෙසයි. මේ සියලු ණය රට මහත් අවදානම් තත්ත්වයකට පත් කොට ඇත.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියා සිටින්නේ නිසියාකාරව ණය දරා ගැනීමේ හැකියාව පිළිබඳ ඇගැයුමක් ප්‍රබල ලෙස සියලු රාජ්‍ය ණය ආවරණය වන පරිදි සැකසිය යුතු බවයි. මෙසේ වන්නේ පටු ආකාරයෙන් පමණක් රාජ්‍ය ණය නිර්මාණය කිරීමෙන් නොමග යන සුළු තත්වයක් රටක සිදු වන නිසාය. රජය විසින් හෝ රාජ්‍ය ආයතනයක් හෝ රජයේ සහතික කිරීම මත ගත් යම් ණයක් ගෙවීම පැහැර හැරිය විටක දී එම ණය බර පැටෙවන්නේ එරටේ බදු ගෙවන ජනතාව මතය. මෙම හේතුව නිසා ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැසුමක් රාජ්‍ය අංශයෙන් ණය යන්න පුළුල් අර්ථකථනයෙන් අවධානයට ගෙන සැකසිය යුතුවේ.
ශ්‍රී ලංකා රජයේ වර්තමාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉහතකී ආකාරයෙන් සියලුම ණය ආවරණය වන පරිදි සකසා නැත. එම සැලැස්මෙන් අාවරණය වී ඇත්තේ මධ්‍යම රජය, වාණිජ මූලාශ්‍රවලින් සහ එක් එක් රටවලින් ද්විපාර්ශ්වික ගිවිසුම් ඔස්සේ ලබාගෙන ඇති ණය පමණකි. මධ්‍යම රජය වාණිජ මූලාශ්‍ර ඔස්සේ ලබාගෙන ඇති ණයවල වටිනාකම ඩොලර් බිලියන19 ක් පමණවේ. ද්විපාර්ශවික මුලාශ්‍ර වලින් ලබාගෙන ඇති ණයවල වටිනාකම ඩොලර් බිලියන 14ක් පමණ වේ. එහෙත් රාජ්‍ය අංශය ලබාගෙන ඇති මුළු ණයවල වටිනාකම මීට වඩා බොහෝය.
2022 සැප්තැම්බර් 23 වැනිදා මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය සිදු කළ ඉදිරිපත් කිරීමකට අනුව මධ්‍යම රජයේ ණය ඩොලර් බිලියන 70 ක් පමණ වේ. ඊට අමතරව අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ලබා ඇති ණයවල වටිනාකම ඩොලර් බිලියන 10 ක් පමණ වේ. එම නිසා විදේශයන්ට ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 80 ක් පමණ වෙතැයි එහි දී අනාවරණය විය. මේ සියලු ණය ගෙවා ගැනීමට ශ්‍රී ලංකාව සතුව විදේශ සංචිත නොමැත. එම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ලබා ඇති සමස්ත ණය ප්‍රමාණය කිසිසේත් උහුලාගත හැකි තත්ත්වයක් නැත. වර්තමාන ණය ප්‍රතිව්‍යුහගත වැඩසටහනෙන් ආවරණය වන්නේ ඩොලර් බිලියන 80ක රාජ්‍ය ණයෙන් ඩොලර් බිලියන 33 ක් පමණකි. රජය මේ වනවිට උපදේශකයන් දෙදෙනෙකු මේ සඳහා පත්කර ඇත.
ලසාඩ් (Lazard) යනුවෙන් හැඳින්වෙන තැනැත්තා මුල්‍ය කටයුතු උදෙසාත්, කිලිෆර්ඩ් චාන්ස් නැමැත්තා නීති කටයුතු උදෙසාත් ඒ අනුව පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ වාණිජ හා ද්විපාර්ශ්වික ණය හිමියන් වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ මූලික වර්තාවක් එම දෙපල විසින් මේවන විට සකසනු ලැබ ඇතත් එය මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර නැත. ශ්‍රී ලංකා රජයත්, ණය හිමියනුත් අවසාන එකඟතාවකට එළැඹෙන තුරු එය මුදා නොහරිනු ඇත. එහෙත් අනෙකුත් රටවල ලත් අත්දැකීම් ඇසුරෙන් අයෙකුට එහි අන්තර්ගතය පුරෝකථනය කර ගත හැකිවේ.
ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා වන සාකච්ඡා සිදුවන්නේ ගෝලීය වාතාවරණයක් තුළය. වාණිජ ණය සම්බන්ධ වූ සාකච්ඡා සිදුවන්නේ ලන්ඩන් ක්ලබ් නමින් හඳුන්වන රැස්වීම් ස්ථානයක විධිමත් නොවන අයුරිනි. එම සාකච්ඡා එසේ හඳුන්වන්නේ එකී රැස්වීම් ලන්ඩනයේ පවත්වන නිසාය. අනෙකුත් සියලු ණය උදෙසා වූ සාකච්ඡා පවත්වන්නේ පැරිසියේය. එම නිසා ඒවා හඳුන්වන්නේ පැරිස් ක්ලබ්හි පවත්වන සාකච්ඡා නමිනි. ශ්‍රී ලංකාවේ ණය හිමියන් වූ චීනය සහ ඉන්දියාව මෙකී සාකච්ඡා සභාවල සාමාජිකයන් නොවේ. ඉන්දියාව පැරිස් ක්ලබ්හි නිරීක්ෂණ තත්ත්වයේ ස්ථානයක් හිමි කරගෙන තිබේ. එහෙත් චීනය එම සාකච්ඡා සභා දෙකේම සාමාජිකත්වය හෝ නිරීක්ෂකයකු ලෙස යම් ස්ථානයක් හෝ හිමිකර ගෙන නැත. එම නිසා චීනය මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට මුළුමනින්ම ආගන්තුක වූ රටකි.
මෙම තත්ත්වය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මහත් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නක් වනුයේ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත එම ණය ප්‍රමාණයෙන් සියයට 52 ක් චීනයට අයත් වීම නිසාය. එම ණය මුදල ඩොලර් බිලියන 7.3 කි. ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත ණයෙන් සියයට 12 ක ප්‍රතිශතයක් ඉන්දියාවට අයත් වන අතර එහි අගය ඩොලර් බිලියන 1.7 කි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාමාන්‍ය පිළිවෙත වන්නේ මුලික ණය මුදලෙන් සියයට 30 ක් සියයට 40 ක් පමණ කපා හරින ලෙස ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීමයි. එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ හෙයාර් කට් ලෙසයි. ඒ සමගම නැවත ගෙවීමට නියමිත කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. එම නිසා එහිදී පාඩු විඳින්නට ණය හිමියන් එකඟ විය යුතුයි. ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ණය හිමියන් ඒ සඳහා එකඟ වෙතැයි බලාපොරොත්තුවේ.
කෙසේ වුවද චීනයේ ප්‍රතිපත්ති මීට වෙනස්ය. චීනය මෙම පහසුකම් ණයගත් රටවල් සඳහා විස්තීර්ණය කිරීමට එකඟ වන්නේ නැත. එසේ නොකිරීමට හේතුව, එක් රටක් සඳහා එවැනි පහසුකම් සැපයුවහොත්, යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව පුරා පැතිර ඉන්නා ඔවුන්ගේ ණය ලාභීන්ට එම පහසුකම එකසේ සැපයිය යුතු වන නිසාය. සියලු රටවලට චීනය ලබාදී ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.5 ක් පමණ වේ. චීනයේ විශාලතම ණය ලාභියා වන්නේ රුසියාවයි. එකී ණය ප්‍රමාණය ඩොලර් බිලියන 300 ක් පමණ වේ. මේ වනවිට යුක්රේන යුද්ධය නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර රටවල් පැනවු සම්බාධක නිසාත් ණය උදෙසා නිසි කලට පොලී ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් රුසියාවට උද්ගතවී තිබේ.
චීනය ශ්‍රී ලංකාවට විශේෂ ණය ලිහිල් කිරීමේ අනුග්‍රහයක් සැපයුවහොත් අනිත් රටවල් උදෙසා ද එකී ලිහිල් කිරීම් ප්‍රදානය කරන්නට චීනයට සිදුවේ. ශ්‍රී ලංකාවට සැපයූ මූලික ණය මුදලෙන් සියයට 30 ක් චීනය කපා හරින්නේ යයි සිතමු. එවිට එම සහනය අනෙකුත් සියලුම ණය ලාභී රටවල් විසින් චීනයෙන් ඉල්ලා සිටිනු ඇත. එසේ සියලුම රටවල ණය සියයට 30 ක් කපා හැරියහොත් එවිට චීනයට සිදුවන පාඩුව ඩොලර් බිලියන 450 කි. එම නිසා එවැනි පාඩුවක් විඳින්නට සිදුවන තීරණයක් චීනය ගන්නට කැමැති වන්නේ නැත.
එම නිසා චීනය කිනම් සහනයක් සලසන්නට කැමැති වේද යන්න මෙහි දී සලකා බලනු වටී. එවැනි ණයකරුවන්ට චීනය ප්‍රතිමූල්‍යකරණ පහසුකම් සැපයීම සාමාන්‍යයෙන් සිදු කරයි. චීනය යම් රටකට ඩොලර් මිලියන 100 ක් ණයට දී ඇතැයි ද එම ණය එරටට ගෙවා ගත නොහැකිව ඇතැයි ද සිතමු. එවිට එකී රට එම ණය සඳහා පොලී හා වාරික ගෙවීම පැහැර හැර ඇතැයි ද සිතමු. එවිට චීනය කරනුයේ එකී රටට අලුත් ණයක් ලෙස තවත් ඩොලර් මිලියන 100 ක් ලබා දීමයි. එවිට එකී රට පැරණි ණය චීනයට ගෙවා දමයි. එවිට චීනයෙන් ණය ගත් රටේත් පොත් වල එම ණය සටහන් වන්නේ නැවත ගෙවීමේ අලුත් කාල සටහනක් සහිත අලුත් ණයක් ලෙසයි. එම නිසා තව දුරටත් ණය පැහැර හැරීමේ ලේඛනයට එම රට ඇතුළත් නොවේ. මෙයින් සිදුවන්නේ ණය ගත් රට ණය පැහැර හරිනු ලැබූ රටවල ලැයිස්තුවෙන් ඉවත් කිරීම පමණකි. එම ණය ගත් රට විදේශවලින් ලබාගත් ණය එසේම පවතින අතර අලුත් කොන්දේසි අනුව ගත් ණය ගෙවා දැමිය යුතුය. චීනය මෙම සහනය ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ. එහෙත් රජය එය පිළිගැනීමට කැමැති වී නැත. චීනය එම ස්ථාවරය වෙනස් කර නැත.
මෑත කාලයේදී චීනය ඉක්වදෝරය විසින් ගන්න ලද ණය දෙකක් නැවත ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට එකඟ වී තිබේ. ඉන් එක් ණයක් චයිනා ඩිවෙලාප්මන්ට් බෑන්ක් වෙතින් ගත් ඩොලර් බිලියන 1.4 ක ණයකි. අනෙක් ණය චයිනා එක්ස්පොර්ට් ඉම්පෝර්ට් බැංකුවෙන් ගත් ඩොලර් බිලියන 1.8 ක ණය මුදලකි. ඒ මගින් දැනට රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය භාවිත කොට එකී ණය ගෙවිය යුතු පීඩනයෙන් මිදීමේ යම් සහනයක් ඉක්වදෝරයට ලැබේ. එහෙත් ඉක්වදෝරයේ ණය තත්ත්වයේ වෙනසක් එයින් සිදු නොවෙයි. චීනය සමග සිදුවන සාකච්ඡා ඵලදායී මට්ටමකට ගෙන එන්නට ශ්‍රී ලංකාවට සිදු නොවුව හොත් එවැනි සහනයකින් සෑහීමකට පත් වන්නට සිදුවනු ඇත.
එවිට මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ අනෙක් ණය හිමියන් ද බලපාන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ අනෙක් ණය හිමියන් ද එවැනි එකඟතාවකට පත් වුවහොත් එවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය තත්ත්වයේ වෙනසක් සිදුවන්නේ නැත. කල් ගතවන විට ඒ මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය තව තවත් නරක අතට හැරෙන නිසාය. ඒ ආකාරයට චීනයේ මුරණ්ඩු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු සැලසුම් පීලි පැන අඩාල තත්ත්වයකට වැටෙනු ඇත. එම ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු නොවුවහොත් ශ්‍රී ලංකාවට ණය ගෙවාගත හැකි නොවන තත්ත්වයක් උදාවනු නියතය. ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට වැටුණ හොත් එවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන පැකේජයත් හිමිවන්නේ ද නැත. එම සහන පැකේජය හිමි නොවුණහොත් වර්තමාන ආර්ථික අර්බුදය වඩාත් නරක අතට හැරෙනු නොඅනුමානය.
චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථකත්වය කරාගෙන යෑමට හවුල් නොවීම සැබැවින්ම ශ්‍රී ලංකාවට බලපාන ආර්ථික ප්‍රශ්නයකට වඩා භූ දේශපාලනික ගැටලුවක් සේ පෙනේ. එක් පැත්තක චීනයයි. ශ්‍රී ලංකාවේ අනෙක් පස බටහිර සමූහයට අයත් රටවල්ය. මේ අතර මැද ඉන්නා ඉන්දියාව චිනය පැත්තට වඩා බර වන්නේ බටහිර සමූහයේ රටවල් පැත්තටයි. මෙම බල අරගලය මැද ශ්‍රී ලංකාව උගුලකට හසුව සිටී. ශ්‍රී ලංකාවට ලන්ඩන් ක්ලබ්හි සහ පැරිස් ක්ලබ්හි සාකච්ඡා මේසයට චීනය කැඳවාගත හැකි නම් එය රටේ දූත මෙහෙවරේ ජයග්‍රහණයක් වනු ඇත. එය එක් අතකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය මැන බලන දර්ශකයක් ද වේ.
එහෙත් චීනය සාකච්ඡා මේසයට කැඳවාගෙන රටේ සමස්ත ණය කන්දරාව වූ ඩොලර් බිලියන 80 න් ඩොලර් බිලියන 33 ක පටු ණය තීරුවක් උදෙසා පමණක් ප්‍රතිව්‍යුහගත කරණය සාර්ථක කර ගත හොත්, එයින් ද රටේ පවතින වර්තමාන ආර්ථික ව්‍යාධියෙන් ගොඩ එන්නට ප්‍රතිකර්මයක් ලැබන්නේ නැත. ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් විදේශ විනිමය නැති නිසා ණය කන්දරාව ගෙවා ගන්නට නොහැකිය. එම නිසා අවසානයේ සිදුවන්නේ ණය පැහැර හැරීමකි. මෙය රට අතිශය බැරෑරුම් තත්ත්වයකට පත්වීමකි. මෙම තත්ත්වය නොසලකා නොහැරීමට රජය වගබලාගත යුතුය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජිත සහන පැකේජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මත රඳා පවතින නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය ශ්‍රී ලංකාවට තීරණාත්මක ලෙස වැදගත් වේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගත හැකි නොවුව හොත්, බැරෑරුම් ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට රටට සිදුවේ. රටට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන හා අතවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ සියලු ඉඩකඩ ඒ නිසා ඇහිරී යයි.
Lanka Newsweek © 2024