Every problem has in it the seeds of its own solution. If you don't have any problems, you don't get any seeds. -Norman Vincent Peale- Public service is about serving all the people.
ශ්‍රී ලංකාව උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් හතළිස් හතරක් (44 +) හෝ ඊට වැඩි මුදලක් වැය වනුයේ රාජ්‍ය සේවාව සඳහාය.
1.දෙපාර්තමේන්තු-76.
2.ආයතන-15.
3.කොමිෂන් සභා-18.
4.සංස්ථා-15.
5.අධිකාරි- 22.
6.අනෙකුත් රාජ්‍ය අංශ-17.
7.රාජ්‍ය බැංකු-10.
8.මණ්ඩල-20.
9.කාර්යාංශ-8.
10. පාළාත් සභා-8.
11. දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල-25.
12. ප්‍රාදේශීය ලේකම් කාර්යාල-320.
මහ ජන නියෝජිතයන් පමණක් නොව රාජ්‍ය සේවය ද අද්‍යතන අර්බුදයන්ට එක සමානව වග කිව යුතුය. පාර්ලිමේන්තු නියෝජනය සහ අනෙකුත් මහ ජන නියෝජිතයන් පිළිබඳව පමණක් අවධානය යොමු කිරිමෙන් අද්‍යතන අර්බුද සඳහා තිරසර විසදුම් නොලැබෙනු ඇත.
විශේෂයෙන් ලක්ෂ පහළොවකට (ත්‍රිවිධ හමුදාව ද ඇතුළත්ව) ආසන්න රජයේ සේවකයන්ගේ අභිප්‍රේරණය සහ ඵලදායිතාව සම්බන්ධයෙන් වඩාත්ම අවධානය යොමු විය යුතුය. ඒ මක්නිසාද යත්, අද්‍යතනව ශ්‍රී ලාංකේය රාජ්‍යය සේවාව යනු (2018 සංඛ්‍යා ලේඛන අනුව) පුද්ගලයන් 1,104,219 සමන්විත විසල් මිනිස් සහ භෞතික සම්පත් ජාලයකි.
1.අ.පො.ස (සා.පෙළ)ට පහළින් සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 196,128 කී. (17.8%)
2.අ.පො.ස (ස.පෙළ) සමත් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 223,429 කී. (20.2%)
3.අ.පො.ස (උ.පෙළ) සමත් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 395,175 කී (35.8%)
4.උපාධිය සමත් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 209,153 කී.(18.9)
5. පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් පුද්ගලයන් ගේ සංඛ්‍යාව 46,847 කී.(4.2%)
6.පශ්චාත් උපාධිය සමත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 30.191කී.(2.7%)
7.ආචාර්ය උපාධිය සමත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3,296 කී. (0.3%)
ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවාව වෙනුවෙන් කාර්‍යාල ගොඩනැගිලි, නිල නිවාස, විදේශ පුහුණුව, විවිධාකාර ආයතනික පුහුණුවීම්, කාර්, වෑන්, බස්, ලොරි, ත්‍රී වීලර්, පුටු, මේස, කබඩ්, සේම විවිධාකාර ලිපි ද්‍රව්‍ය, දුරකථන, පරිගණක, විදුලිය, ජලය ආදී බොහෝදේ වෙනුවෙන් ධනය ආයෝජනය කර ඇත්තේ මහ ජන මුදලෙනි. එමෙන්මැ සියලු ජනයා වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේද ජනතාවගේ මුදල්ය යනු නිවැරැදිය. අනෙක් අතට නොයෙකුත් ණය පහසුකම් වෙනුවෙන් සහ විශ්‍රාම වැටුප් සහ අති කාල දීමනා ආදී සියල්ල වෙනුවෙන් මහ ජන මුදල් වැයවේ යනු නිවැරැදිය.
රටක ආර්ථික වර්ධනය මූලික වශයෙන් රඳා පවතින්නේ සෑම අංශයකම ඵලදායිතාව මතය. ශ්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ ඵලදායීතාවය පිළිබඳව ඔබට ඇති සතුටුදායක අත්දැකිම් විරල බව විස්තර කළ යුතු නැත. රාජ්‍ය පරිපාලනය යනු ඔවුන්ගේ පාලන ක්‍රමය කුමක් වුව සියලු ජාතීන්ගේ ලක්ෂණයකි. ජාතීන් අතර රාජ්‍ය පරිපාලනය මධ්‍යම, අතරමැදි සහ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වේ.
ඇත්ත වශයෙන්ම, තනි ජාතියක් ඇතුළත විවිධ මට්ටමේ අමාත්‍ය්‍යාංශ, දෙපාර්තමේන්තු,ආයතන, කොමිෂන් සභා, සංස්ථා,අධිකාරී, මණ්ඩල, කාර්‍යාංශ, රාජ්‍ය බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන අතර පරිපාලන සබඳතාවල (Administrative Relationships) විශ්වසනීය කාර්‍ය්ක්ෂමතාවේ පිරිහිම රාජ්‍ය පරිපාලනයේ වැඩෙන ගැටලුවකි.
සැබැවින්ම ශ්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ ඵලදායී තාවය දුර්වලය-උදාසීනය යනු නිවැරැදිය. විමසන්න..."The World Wide Bureaucracy Indicators" (WWBI) එනමුත් ශ්‍රී ලංකාව උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් හතළිස් හතරක් හෝ ඊට වැඩි මුදලක් වැය වනුයේ රාජ්‍ය සේවාව සඳහාය.
මොහොතකට මේ උදාහරණය පිළිබඳව සිතන්න. සෑම රජයේ සේවකයෙකු අතින්ම එක් මිනිත්තුවක දී ඇල්පෙනෙත්තක් නැති වුවහොත් දිනකට මිනිත්තු 1,104,219 ක් සහ ඇල්පෙනෙත්ති 1,104,219 ක් ජාතික ආර්ථිකයයට අහිමි වනු ඇත. අනෙක් අතට සාමාන්‍යයෙන් වැසිකිලියක කොමඩ් එකක් සෝදා හැරිමට (Flush) ජල ලීටර් 13 ක් පමණ අවශ්‍යය. උක්ත රාජ්‍ය සේවාවේ දෛනික අවශ්‍යතා (පුද්ගලයන් 1,104,219) සඳහා කොතරම් ජල ලීටර් ප්‍රමාණයක් වැය වෙනු ඇද්ද..? එක් පුද්ගලයෙක් සිව් වරක් කොමඩ් එක සෝදා හැරියොත් දිනකට වැය වන ජල ලීටර් ප්‍රමාණය මිලියන කොපමණ ද..? ජලය පිරිපහදු කොට කොමඩ් එක දක්වා ගලා ඒමට මහ ජන මුදල් කොතරම් ආයෝජනය කර ඇද්ද..? අනෙක් අතට පෙට්‍රල්, ඩීසල්, ටයර් සහ නොයෙක් විධ මෝටර් රථ අමතර කොටස් සහ විදුලි බලය වෙනුවෙන් කෙතරම් මුදල් වැයවෙනු ඇද්ද..?
රාජ්‍ය සේවකයෙකුට හිමි සමාජ ආර්ථික වටිනාකම් අනුව විමසිමේදි සිවිල් පුරවැසියෙකුට ජීවිතයේ කිසි දිනෙක උපයා ගත නොහැකි දේ ඔවුන් වෙත ලැබි ඇත. ඒ අනුව රාජ්‍ය සේවාවේ ආකල්ප කෙතරම් දියුණු උසස් තත්ත්වයයෙන් ජන හිතකාමීව අභ්‍යාස විය යුතුද..?
මොහොතකට සිතන්න...සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා කේෂ්ත්‍රයන්හී ශ්‍රම ඵලදායීතාව පැයකට රුපියල් 513,39 ක් විය. (2019) සේවා අංශයේ ශ්‍රම ඵලදායීතාවය පැයකට 624.58ක් වූ අතර කර්මාන්ත අංශයේ ශ්‍රම ඵලදායීතාවය පැයකට රුපියල් 540,70 ක් විය. කෘෂිකර්මාන්ත අංශයේ ශ්‍රම පලදායීතාවය පැයකට රුපියල් 192,87ක් විය.
2017 ශ්‍රම ඵලදායීතා දර්ශකයේ පළමු ස්ථානයේ අයර්ලන්තය පසු වනුයේ GDP Per Working Hour 99.13ක් වශයෙන් වන අතර ශ්‍රී ලංකාව දර්ශකයේ සටහන් වනුයේ 48 වන ස්ථානයේය. ඒ GDP Per Working Hour 18.85 ක් වශයෙනි. ගෝලීය තරඟකාරිත්ව වාර්තාවේ ශ්‍රී ලංකාව (2017-2018) පසු වනුයේ 88 වන ස්ථානයේය.
වසරක් ඇතුළත වැඩ කරන මිනිස් දින ගණන අනුව ඵලදායීතාවය ඉහළ නැංවීමට රාජ්‍ය සේවයේ උසස් නිලතල දරන නිලධාරීන්ගේ අවධානය පිළිබඳව රටක් වශයෙන් අපට සෑහිමකට පත් විය හැකිද..? උක්ත අංශ ත්‍රිත්වයේම ඵලදායීතාව තව දුරටත් ඉහළට වර්ධනය විය යුතු නමුත් නව්‍ය ප්‍රතිසංස්කරණයන්ගෙන් තොරව එවැන්නක් සිදු නොවේ.
රාජ්‍ය ආයතන දළ වශයෙන් 520 ගණනක් තිබෙන නමුත් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරනුයේ සීමිත ආයතන කිහිපයකී. ඒ අනුව පැහැදිලි වනුයේ රාජ්‍ය ව්‍යාපාර බහුතරයක් ජාතියේ තිරසර සංවර්ධනයට බලවත් තර්ජනයක්ව ඇති බවය. ශ්‍රී ලාංකේය ජාතිය අද්‍යතනව මුහුණ දී ඇති තත්ත්වය අනුව එම යථාර්ථය හොඳින්මැපැහැදිලිය. ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හී විවිධ අංශයන්හී විවිධාකාර ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යය. එමෙන්ම තීරණාත්මකය.
සාර්ව ආර්ථික ස්ථායිතාව වැඩි දියුණු කරන අතරම ඉහළ තිරසර සහ සැමට ප්‍රතිලාභ හිමි වන වර්ධන මාවතක් ඔස්සේ ජාතික ආර්ථිකය ඉදිරියට ගැනිමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කෙරෙන ප්‍රතිපත්ති ගැළපුම්වල කඩිනම් අවශ්‍යතාවය ශ්‍රී ලාංකේය ජාතිය අද්‍යතනව මුහුණ දී ඇති සංකීර්ණ අර්බුදයකී.
වැඩ වර්ජන සහ සත්‍යග්‍රහ වැනි ක්‍රියාවලියන් හරහා අද්‍යතන රාජ්‍ය බංකොලොත්භාවයට විසඳුම් සෙවිය නොහැකිය. අනෙක් අතට ආර්ථිකයන් විසින්ත රඟකාරිත්වය සහ සුභ සාධනය වැඩි දියුණු කිරිම සඳහා තොරතුරු සහ සන්නිවේදන තක්ෂණයන් විසින් ලබා දෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නා ආකාරය මනිනු ලබන දර්ශකයක් වන "Networked Readiness Index" හී ශ්‍රී ලංකාව පසු වනුයේ 78 වන ස්ථානයේය. 2016 දී රටවල් 139 ක් අතුරින් ශ්‍රී ලංකාව 63 වන ස්ථානයේ පසු විය.
එමෙන්ම ශ්‍රී ලාංකේය ජාතියේ පර්යේෂණ,සංවර්ධන සහ නවෝත්පාදන දිරිමත් කිරිම ඉතාමත් දුර්වලය. සිංගප්පූරුවේ Research and Development සඳහා මිලියනයකට පුද්ගලයන් 673ක් වන අතර ශ්‍රී ලංකාවේ මිලියනයකට 97 කී. පර්යේෂණ සහ සංවර්ධන (R&D) - ශ්‍රේණිගත කිරීමට අනුව 2021 දී ශ්‍රී ලංකාව පසු වනුයේ 106.00 වන ස්ථානයේය. ඉහත විෂයන් පිළිබඳ රාජ්‍ය සේවාවේ බලපෑම තීරණාත්මක නොවේද..?
වසර 25 කට අධික කාලයක් ගත වී ඇතත් පුනර්ජනනීය බල ශක්ති කේෂ්ත්‍රය සංවර්ධනය නොවන්නේ මන්ද..? මොහොතකට සිතන්න. විද්‍යාත්මකව විමසන්න. මෙවැනි තවත් බොහෝ ජාතික අවශ්‍යයතා වෙනුවෙන් මහ ජන නියෝජිතයන්ට වඩා ඉතාමත්ම වැඩි වගකීමක් ඇත්තේ රාජ්‍ය සේවාවටය.
එමෙන්ම නීති පද්ධතිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය (The Administration of Justice) වඩාත්ම කාර්‍ය්ක්ෂමව ක්‍රියාත්මක වීමද තීව්‍ර ජාතික අවශ්‍යතාවයකී. ඒ මක්නිසාදයත්, යුක්තිය පසිඳලීම රාජ්‍යකරණයේ ප්‍රධානතම කුළුණය. රටේ සියලු ජනයාගේ සතුටටත් දේශපාලන ක්‍රමයේ ස්ථාවරත්වයටත් අත්‍යවශ්‍ය තීරණාත්මක නෛතික බලපෑම ඇති වනුයේ යුක්තිය පසඳලීම හැකි තරම් කඩිනමින් සිදු විමෙනී.
ශ්‍රී ලාංකේය ජන සමාජය, රාජ්‍ය සේවාවේ ගුණාත්මක තත්ත්වය, ඵලදායිතාව සහ කාර්‍ය්ක්ෂමතාව පිළිබඳවද අවධානය යොමු කිරිමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුය. ඊට සමගාමීව රාජ්‍ය සේවාව ජන හිතකාමීව ක්‍රියාත්මකවීමට අදාළ නව්‍යකරණයන් පිළිබඳවද ඒකරාශි විය යුතුය.
දේශපාලන නියෝජනය සේම රාජ්‍ය සේවය ද අද්‍යතන අර්බුදයන්ට එක සමානව වග කිව යුතුය. පාර්ලිමේන්තුවේ 225 සේම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිත යන්ගේ එකතුවට අමතරව රාජ්‍ය සේවයේ 1,104,209 පිළිබඳවඳ ජනයාගේ අවධානය යොමු වීම ඉතාමත්ම තීරණාත්මකය.
ඒ මක්නිසාදයත් අයවැය දත්ත අනුව 2022 වසරේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2284කි. රජයේ මුළු වියදම රුපියල් බිලියන 3912කී. දැනටමත් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවා ගෙන ඇති 53,000ට අධික උපාධිධාරීන්ගේ සේවය 2022 ජනවාරි මස සිට ස්ථිරය. ඒ සඳහා රුපියල් මිලියන 27,600ක් වැයවේ. (ඉහත සඳහන් 1,104,209 අමතර නව බඳවා ගැනීමකී) මෙවර අයවැයෙන්ද රාජ්‍යය සේවාව ඩිජිටල් කිරිම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති නමුත් උක්ත මුදලින් ඩිජිටල්කරණයේ දියුණුවක් අපේක්ෂා කළ නොහැක.
රාජ්‍ය සේවය යනු කාර්යක්‍ෂමව සහ අවංකව රැකියාවක් කිරීමට වඩා වැඩි දෙයක් විය යුතුය. රාජ්‍ය සේවාව ජනතාව වෙනුවෙන් සහ ජාතිය වෙනුවෙන් කරන පූර්ණ කැපවීමක් විය යුතුය. සැබැවින්ම වඩාත්ම තීරණාත්මක අවශ්‍යයතාව වනුයේ පාර්ලිමේන්තු නියොජනය පමණක්ම නොව දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය සේවාවේ පුද්ගලයන් පිළිබඳව සේම නව්‍ය පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව ද ජන සමාජයේ අවධානය යොමු විමය.
ශ්‍රී ලාංකේය ජාතියේ විෂේශයෙන් පොදු බහුතරයේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය නව්‍යකරණය තීරණාත්මකය. නව්‍යකරණයට එරෙහිව ව්‍යාජ අදහස් උදහස් ඉදිරිපත් කරන අවස්ථාවාදී දේශපාලකයන් සහ විවිධාකාර ආගමික නායකයන්ගේ උගුල්වල හිරවීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ජාතිය අද්‍යතන තත්ත්වයට පත් වූ බවද අමතක නොකළ යුතුමය.
"Every problem has a solution. You just have to be creative enough to find it."
-අවංක, කාර්‍ය්ක්ෂම, යහපත් රාජ්‍ය සේවකයන්ට ගෞරවය පුද කිරිමට අමතක නොකරමු-
Lanka Newsweek © 2024