Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


රට මුහුණ දෙන තීව්‍ර අර්බුදය දේශපාලන නූගත්කමයි 


2022-08-15 14329

 

රාජ්‍යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසයි

 

 
 (දේශප්‍රිය නානායක්කාර)


රාජ්‍ය අසාර්ථකත්වය වළක්වා ගන්නේ කෙසේද යන්න විසි එක් වන සියවසේ ශ්‍රී ලාංකේය ජාතිය මුහුණ දී ඇති තීව්‍ර අර්බුදයකි. රාජ්‍ය පාලනය ඇතුළත දූෂණය වැළැක්වීම, හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම ජාතිය අභිමුඛව ඇති තීව්‍ර ජාතික මෙහෙවරකි. 

මිනිසුන්ට නීතිය මත විශ්වාසය තැබිය හැකි විය යුතුය. එසේ සිදු වීමට නම්, නීතියේ විෂය පථයෙන් කිසිවෙකු නිදහස් නොවිය යුතුය. නීති මගින් මිනිසුන්ට මඟ පෙන්විය හැකි ස්වභාවයක්ද තිබිය යුතුය. යුක්තිය අප්‍රමාද විය යුතුය. යුක්තිය ඉටු වීම පමණක් නොව, එම යුක්තිය ඉටු වන බව දර්ශනය ද විය යුතුය. එසේ නොවන්නේ නම් සමාජයක පොදු දියුණුව යනු සිහිනයකි.

මිනිසාගේ දුක්ඛිත තත්ත්වයන් තුරන් කර සැබෑ සතුට සුරක්ෂිත කිරීම සඳහා මානව වටිනාකම් වර්ධනය කිරීම අතිශයින් වැදගත්ය. ඒ සඳහා රාජ්‍යකරණය තීරණාත්මකය. රාජ්‍යකරණයේ (Governance) ප්‍රධාන අරමුණ වන්නේ නියමිත නීති රීති අනුගමනය කරමින් යහපත් ප්‍රතිඵල සහතික කිරීමයි. යහපත් ප්‍රතිපල යනු රාජ්‍යකරණයයේ ඵලදායීතාවයයි. ඕනෑම රටක ජාතියක රාජ්‍ය අංශයේ ඵලදායිතාව අද්විතීය විය යුතුමය.

ශ්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ ඵලදායීතාවය අද්විතීය ද..? ජන ජීවිතයට ගෞරවය නැවත ගෙන ඒම සඳහා රාජ්‍ය කරණය, (Governance) රාජ්‍ය පරිපාලනය, (Public Administration) රාජ්‍ය ප්‍රතිපත්ති (Public Policy) දේශපාලන හැසිරීම්, (Political Behavior) 
සිවිල් විනය, (Civil Discipline) සමාජ විනය, (Social Discipline) දේශපාලනය සහ තක්ෂණය (Politics and Technology) ආදිය දෙසට නව්‍ය විද්‍යාත්මක පියවරක් තැබීම අත්‍යාවශ්‍යයය. එසේ නොකර දේශපාලන පක්ෂ පිළිබඳ පමණ්ක්ම අවධානය යොමු කිරිමෙන් අපේක්ෂිත තිරසර ප්‍රතිඵල නොලැබෙනු ඇත.

සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පමණක් නොව ගෞරවාන්විතව ජීවත් වීමේ ද අයිතියයි. ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ පොදු ජනයා සතු දේශපාලන සාක්ෂරතාව පිළිබඳව ඇති විශ්වාසය මත ය. උක්ත විශ්වාසය ඵලදායී වනුයේ ප්‍රජාතාන්ත්‍රීය ජීවන කුසලතා (Democratic Life Skills) සහ දේශපාලන සාක්ෂරතාවය (Political Literacy) පිළිබඳ ජන සමාජය දැණුවත් කිරිමෙන් අනතුරුවය.

උක්ත දැනුම නොමැති ජන සමාජයකට කෙතරම් කරුණු ඉදිරිපත් කළත් ප්‍රතිඵල ඵලදායි නොවේ. ජන සමාජයක් වැනසී විනාශ වීමට ප්‍රධානතම හේතුව වනුයේ දේශපාලන නුගත්කම යන්න (Political Illiterate) ගෝලීය
පිළි ගැනීමයි.

ප්‍රජාතාන්ත්‍රීය ජීවන කුසලතා (Democratic Life Skills) සහ දේශපාලන සාක්ෂරතාවය (Political Literacy) පිළිබඳව ජන සමාජය දැනුවත් කිරිමට දේශපාලන පක්ෂවල මැදිහත්වීම උදාසීන බව දර්ශනය වේ. කෙටි කාලයකින් පුද්ගලයන් කිහිපදෙනෙක් විසින් දේශපාලන පක්ෂයක් ලියා පදිංචි කර මැතිවරණ දිනා ගැනිම රටක් ජාතියක් විනාශ වීමට ප්‍රධාන හේතුවකි යනු නිවැරැදිය. 

මෙවැනි දේශපාලන පක්ෂවල සාමාජිකයන් චතුර කතිකත්වය අභ්‍යාස කර පොදු බහුතරය රවටා දේශපාලන ජයග්‍රහණය ලැබුවත් ඔවුන්ට රාජ්‍යකරණය පිළිබඳ දැනුම නොමැති හෙයින් ගෝලිකරණය හමුවේ රටත් ජාතියත් විවිධාකාරයේ අර්බුද චක්‍රයකට මැදිවිම ගෝලීය අත්දැකිමකි.

දේශපාලනය සමාජීය භාවිතාවක් වන නමුත් උසස් පෙළ දේශපාලන විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාවගේ උත්තර පත්‍ර වාර්තා අනුවත් හෙළිදරව් වනුයේ දේශපාලන සාක්ෂරතාවය දුර්වල බවයි. රජය ක්‍රියා කරන ආකාරය සහ සමාජය මුහුණ දෙන වැදගත් ගැටලු සේම විවිධ දෘෂ්ටි කෝණයන් ඇගයීම සඳහා පුරවැසියන් සතු විවේචනාත්මක චින්තන කුසලතාවන් පිළිබඳ අවබෝධය ජන සමාජයක සාර්ව ගුණාංගයකි.

දේශපාලන සාක්ෂරතාවය දැනුමට පමණක් නොව කුසලතාවන්ට සහ වටිනාකම්වලට ද සම්බන්ධ ය. නිපුණතා සඳහා සමාජ ජීවිතයේ බලපෑමෙන් යුත් සහභාගීත්වයක් අවශ්‍යය. පැහැදිලිවම, දේශපාලන සාක්ෂරතාව පිළිබඳ අදහස සාක්ෂරතාව පිළිබඳ පුළුල් සහ පොදු සංකල්පයේ කොටසකි. දේශපාලන සාක්ෂරතාවය යනු දේශපාලනය සඳහා දැනුම භාවිතා කිරීමේ හැකියාවයි. 

පළමු වැන්න සක්‍රිය පුරවැසිභාවය පිළිබඳ සංකල්පය හා සම්බන්ධය. දෙවනුව, පාසල්වල දේශපාලන සාක්ෂරතාව සඳහා දේශපාලන විද්‍යාවේ දායකත්වය සමඟ සම්බන්ධ විය යුතුය. සක්‍රීය පුරවැසිභාවය (Active Citizenship) යනු තමන් ජීවත් වන රටේ නීතිය යටතේ පුරවැසියෙකු දේශපාලනය සහ සමාජය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අධ්‍යාපනය ලබා ගැනීමයි.

දේශපාලන පක්ෂවලට ජන සමාජයේ දේශපාලන නුගත්කම (Political Illiterate) අහෝසි කර දැමිම සඳහා වගකිමක් ඇති අතර ඒ සඳහා දේශපාලන සාක්ෂරතාවය, රාජ්‍යකරණය පිළිබඳ සාක්ෂරතාව සහ තොරතුරු සාක්ෂරතාව වැඩි දියුණු කිරිමට විසල් මැදිහත්වීමක් කළ යුතුය.

දේශපාලන සාක්ෂරතාවය ඉහළ මට්ටමට ගැනිමෙන් ජන්ද හැසිරිම (Voting Behaviour) ගුණාත්මකව හැසිරවීමට මහත් සේ බලපෑම් කරනු ඇත. එහෙත් රාජ්‍ය අංශයේ අල්ලස, දූෂණය සහ අකාර්යක්ෂමතාව අවසන් කළ හැක්කේ කෙසේද..? නැගී එන තක්ෂණයන් සියලු දූෂණයට එරෙහි සටන ජය ගැනීමට උපකාරී වේද..?

සෑම මිනිසෙකුටම ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට සහ ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් සපුරාලීමට අයිතියක් ඇත. සියල්ල නිවැරැදිව අභ්‍යාස වනුයේ රාජ්‍ය අංශයේ ලක්ෂ 15 ට වැඩි (ත්‍රිවිධ හමුදාවද ඇතුළත්ව) රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතාවයන් සහ ඵලදායීතාවය මතය.

තොරතුරු සාක්ෂරතාව ඇති ජන සමාජයකට තොරතුරු පුළුල් ලෙස සහ ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකිවිමෙන් රාජ්‍යකරණයේ ඵලදායීතාවය අද්විතීය තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වනු ඇත. මහ ජන බුද්ධිමතුන්ගේ අනලස් කැපවීම ඕනෑම ජාතියක දියුණුවේ සාරයයි. 

Advertiesment