Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


නීතිය - සාමය ක්‍රියාත්මක නොකළොත් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයකට ඉදිරියට යන්න බෑ- අගමැති දිනේෂ් ගුණවර්ධන


2022-08-12 14315


 

හිටපු ජනාධිපතිවරයා නායකයන් කිහිප දෙනකුට අගමැතිකම භාර ගන්න ආරාධනා කළා  බොහෝ දෙනෙක් ආසයි බයයි චරිත රඟපෑවා-  ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

අපි පසුගිය කාලය පුරාම කිව්වා බරපතළ අර්බුදයක් එනවා විසඳුම් හොයමු කියලා

එහෙම කිවුවම අපි අයින් කරලා ඔවුන්ට ඕනෑ අය ළං කර ගත්තා- මන්ත්‍රී වීරසුමන වීරසිංහ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට  පත්වීමෙන් පසු අපි බලාපොරොත්තු වුණේ  මීට වඩා ජාතික එකඟතාවක්- මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන

වත්මන් ජනාධිපතිවරයාගේ මේ රාජාසන කථාව යථාර්ථයක් වුණා නම් රටට මේ තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ - මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

 

නීතිය හා සාමය ක්‍රියාත්මක නොකළහොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉදිරියට යෑම අසීරු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදය ආරම්භ කෙරිණි.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රටේ නීතිය හා සාමය යළිත් ස්ථාපිත කිරීම සඳහා යන ගමන ඇතමුන්ට දරාගත නොහැකි. ප්‍රජාතන්ත්‍රවාදයේ විධික්‍රම අනුව රටේ නීතිය හා සාමය ස්ථාපිත කරනවා. රටක් සංවර්ධනය කිරීමට නම් අනුකරණවාදයෙන් ඉවත් වී අපට ඔරොත්තු දෙන සංවර්ධනයකට පිවිසීය යුතුයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශනය දිහා ඉතා ප්‍රවේශමෙන් ගැඹුරෙන් බලන ඕනෑම කණ්ඩායමක් අද එම ප්‍රකාශනයේ නිර්මල ආස්වාදයක් හා අපේක්ෂාවන් ජනතාව තුළ ඇති කරන තත්ත්වයක් තිබෙන බව පිළිගනිමින් සිටිනවා. එහි ගැබ් වී ඇති බුද්ධිමය ප්‍රයත්නය අප කවුරුත් මේ සභාවේ දී විමසා බැලිය යුත්තේ දෙපිලකට බෙදී කරන සංවාදයට වඩා සංගත ස්වරූපයෙන් අප කාට කාටත් ඒ දේශනය අනුසාරයෙන් ඒ පිළිබඳ අදහස් දැක්විය හැකි නිසායි. විශේෂයෙන් ජනාධිපතිවරයගේ කතාවේ අතීත ආර්ථික උරුමය ,විදේශ වෙළෙඳාම ගැන සඳහන් කරන අවස්ථාව සුවිශේෂයි. ඒ කාලේ ශ්‍රී ලංකාව හඳුනා ගත්තේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස බව ඉතිහාසගත වන එතුමා දේශනයේ සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡාවල දී ඉතා පැහැදිලිව අඩු ආදායම් ලබන ජනතාවගේ ප්‍රශ්නයට සුවීශේෂව සහනයන් හා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමට මූලික අවස්ථාව වෙන් කර ගැනීමේ සාකච්ඡා වාරයේ එක කොටසක් බවට පරිවර්තනය කර ගැනීමට එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ නිසා අපි හැරි බලමු. අපි අද අපේ රටේ ජනගහනය වැඩි වී තිබෙන ආකාරය. අද අපි බිලියන 25ක් ඉක්ම ගියපු රටක් හැටියට සිදුවන නාස්තිය පිළිබඳ කල්පනා කරමු. නවසිය හැටේ ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 10 යි. අවුරුදු 60ක් ගතවී තිබෙනවා. අද වන විට ජනගහනයෙන් බිලියන20 පසු කරමින් තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගන්නට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවකට හවුල් නොවෙන්න යම් යම් කොටස් තීරණය කරන්නේ නම් එකඟතාවන් බොහෝ දුරට දැන් පැමිණ තිබෙනවා.

 

මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී කොවින්දම් කරුණාකරම් මහතා (දෙජාස)-

 

ජනාධිපතිවරයා සිය කථාවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳුමක් දෙනවා කියලා එක වාක්‍යයෙන් අවසන් කළා. ඊට එහා දෙයක් කිය වුණේ නැහැ. දැන් සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන සාකච්ඡා කරන්න කථා කළා. හැබැයි අප කියන්නේ දෙමළ සිරකරුවන් නිදහස් කරන්න, කොල්ල කෑ ඉඩම් යළි දෙන්න. හමුදා කඳවුරු ඉවත් කරන්න. පන්සල් හැදීම නතර කරන්න ඕනෑ කියන යෝජනා තමයි අප ඉදිරිපත් කරන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. හැබැයි එහිදී සියලු දෙනාටම ඉන් සාධාරණය ඉටු විය යුතුයි.

වරාය හා නාවික කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-

රට ආර්ථික වශයෙන් වැටී තිබුණ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ රටේ නායකයන් කිහිප දෙනෙකුට ආරාධනා කළා අගමැතිකම භාරගෙන රට ගොඩගන්න උදව් කරන්න කියලා. එහෙත් බොහෝ දෙනෙක් ආසයි බයයි චරිත රඟපෑවා. එහෙත් ඊට නොබියව රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දීලා එම අභියෝගය බාර ගත්තා. ඒ අතින් බලද්දි එතුමා යුග පුරුෂයෙක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134කගේ ඡන්දයෙන් තමයි වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වුණේ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතුයි කියන මතයේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා සිටිනවා. මේ රටේ මැතිවරණයක් පවත්වන්න හැකි වාතාවරණයක් ඇති වුණ හොත් අනිවාර්යෙන්ම මැතිවරණ පැවැත්විය යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ)-

ජනාධිපතිවරයගේ රාජ­ාසන කථාව අගය කරන්න සජබ අප පසුබට වෙන්නේ නැහැ. මා පාර්ලිමේන්තු නියෝජනය කළ කාලය තුළ ජනාධිපතිවරුන් ඉදිරිපත් කළ රාජාසන කථා දැකලා තිබෙනවා. වර්තමානයේ ඉතා වැදගත් කථාවක් ලෙස වත්මන් ජනාධිපතිවරයගේ කථා පෙන්වා දිය හැකියි. හැබැයි මේ රාජාසන කථාව යථාර්ථයක් වුණා නම් රටට මේ තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කිව්වා සියලුදෙනා එකතුවෙලා වැඩ කරමු කියලා. එකතු වෙලා වැඩ කරමු කිව්වා. සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-

ලංකාවේ දේශපාලන වශයෙන් අස්ථාවර වූ රටක්. ජනතාවගේ විශ්වාසය වෙනුවෙන් ජනාධිපතිවරයෙක් කළ කථාව ගැන තමයි අද කථා කරන්නේ. ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් කළ කථාවක් මේ තරම් පක්ෂ විපක්ෂ පිරිස් අගය කරපු පළමු වතාව. මේ රටේ ප්‍රශ්නය අර්බුදය හඳුනා ගැනීම තමයි මුලින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කළේ. ඒ සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් දීම තමයි ඊළඟය කළ යුත්තේ. එවැනි වැඩපිළිවෙළක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට තිබුණේ නැහැ. මේ අරගලය පටන් ගත්තේ 2019 දි. එදා ජනතාවට අවශ්‍ය වුණා. දේශපාලනය නොකරපු පුද්ගලයෙක් නායකයෙක් කරන්න. ජනතාවට සිස්ටම් චේන්ජ් අවශ්‍ය වුණා. චිත්‍ර ඇන්දා. හැබැයි ඒ දේ නැති වෙන කොට ජනතාව පාරට බහින්න පටන් ගත්තා.

පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (සජබ)-

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සජිත් මහත්මයට අගමැතිකම භාර ගන්න කිව්වාම අපි පක්ෂයක් ලෙස කිව්වේ මූලික කාරණා කිහිපයක් ඉටු කරනවා නම් භාර ගන්නම් කියලා. එතුමා ඒවට ඇහුම්කම් දුන්නේ නැහැ. අපි ඒ කිව්ව දේවල් කෙරුවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයට රටින් පිටවෙන්නේ නැතුව ඉන්න තිබුණා. ජනාධිපතිවරයගේ කථාවේ බැලූ බැල්මට සුබවාදී දේ තිබෙනවා. හැබැයි ඒ දේවල් ක්‍රියාත්මක විය යුතුයි.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා (ශ්‍රීලංපොජපෙ) -

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වුණේ මීට වඩා මේ සභාවේ ජාතික එකඟතාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ ව්‍යුහය සහ එහි වැඩපිළිවෙළ. එහෙමත් තවමත් එහෙම දෙයක් නැහැ. ඒ ගැන අප බලවත් සේ කණගාටු වෙනවා. රටේ පවතින ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසඳීම සඳහා අප ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (ශ්‍රීලංපොජපෙ)-

ජනාධිපතිවරයගේ කථාව යහපත් සංකල්පවලින් පිරුණු හොඳ කථාවක්. එය යථාර්ථයක් කර ගන්න එක කොයිතරම් අභියෝගයක් ද කියන එක පුළුල්. එතුමාගේ කථාව භාෂාව, කථා, ඉදිරිපත් කිරීම ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි එය කියවා ගන්නේ භාෂාවෙන් වචනවලින් නොවෙයි. ඒ සඳහා වෙනම මිනුම් දණ්ඩක් තිබෙනවා. අර්බුදකාරී තත්ත්වයට රට ඇද වැටුණු වේලාවක රටට අවශ්‍ය වන්නේ තව ජනාධිපතිවරයෙක් නොවෙයි. ආණ්ඩුවක් නොවෙයි. ලියවිල්ලක් නොවෙයි. ජනතාව ගැන අවබෝධ කර ගත්ත වැඩපිළිවෙළක්. තව දවස් 03කින් එතුමා අගමැති වෙලා මාස තුනක් වෙනවා. තව දවස් තුනකින් ජනාධිපති වෙලා මාසයක්. මේ කාල සීමාවේ දී වචනයෙන් ඔබ්බට ගිහින් මෙය විසඳන්න තිබෙන වැඩපිළිවෙළ කුමක්ද කියන දේ තමයි අපිට වැදගත් වෙන්නේ. මේ මාස තුනක කාලයේ දී එතුමා පක්ෂයේ සමාජිකයන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරලා තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරලා තිබෙනවා. එහෙම නැතුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනව දැක්කේ නැහැ. එතුමා ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි. පෙළහර පාන්නෙක් නොවෙයි. දශක ගණනාවක් දිව ආ ප්‍රශ්න සතියෙන් දෙකෙන් විසඳන්න කියන් මම දේශපාලන නෂ්ටකාමියෙකු

රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (ශ්‍රීලංපොජපෙ)-

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ අද විවාදය පැවැත්වෙනවා. එතුමා‍ගේ කථාව තුළ මෙම අර්බුදයට හේතු සඳහන් වන්නේ නැහැ. විසඳුම් ද නැහැ. ඒ නිසා අපි එතුමාට ලිපියක් ලිව්වා. මොන ප්‍රශ්න ආවත් ඒ බර ජනතාවගේ උර මත පැටවීම සිදු නොවිය යුතු බවට අපි එතුමාට කිව්වා. එතුමාගේ හදිසි නීතියට මම සහයෝගය දුන්නේ නැහැ. අතීත ක්‍රියාකාරකම් අනුගමණය කරන්නෙ නැති බව ජනාධිපතිවරයා කියනවා. නමුත් එතුමා යන්නේ පැරණි ක්‍රමවේදයටමයි. දේශපාලන ක්‍රමයෙන් තොරව ආර්ථික ක්‍රමවේදයක් නැහැ. ආර්ථික ක්‍රමවේදයට සෑම වේලාවකම දේශපාලනය සම්බන්ධයි.

(පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට‍ පැමිණියේය)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (ශ්‍රීලංපොජපෙ)-

අද අපේ රටේ ජනාධිපති, අගමැති ලෙස කටයුතු කරන්නේ එක පන්තියේ එකට හිටපු දෙන්නෙක්. එකට ඉගෙන ගත්ත, එකට හැදී වැඩුණු දෙන්නෙක්. මේක රෝයල් ආණ්ඩුවක්. රෝයල් ආණ්ඩුව හදන්න ගමේ අපි ඡන්දය දුන්නා. ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර එතුමාට පාර්ලිමේන්තුවේ තිබුණේ එක ආසනයක් විතරයි. නමුත් ජනාධිපති බවට පත් කරන්නට අපි එතුමාට උදව් කළා.විපක්ෂනායකතුමාත් රෝයල් ද. එහෙම නම් එතුමාටත් වගකීමක් තිබෙනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා (ශ්‍රීලංපොජපෙ)-

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැටනව ලක්ෂයක ජනවරමක් ලැබුණා. හැටනව ලක්ෂයක ජනවරමක් ඇති ජනාධිපතිවරයාට ඉවත් විමට සිදු වුණා. ඉන් පසුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගත්තා. එහිදි අපි හැටනව ලක්ෂයේ ජනතාව වෙනුවෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. නමුත් අපි දැක්කා ඒ ජනවරම අවසන් කියලා හිතපු අපේම කඳවුරේ පිරිස් වත්මන් ජනාධිපතිවරයා පත්කර ගැනීමට කටයුතු කළා.

වෙළෙඳ අැමැති නලින් ප්‍රනාන්දු මහතා-

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වුණේ ජනතාව දැඩි ලෙස පීඩාකාරි තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකයි. ඒ නිසා තමයි එතුමා පාර්ලිමේන්තුවට කිව්වේ පවතින තත්ත්වයන් කළමණාකරනය කිරීම සඳහා සියලු පක්ෂවල සහයෝගය දෙන ලෙසට. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා එතුමාට සියලු දෙනාගේ සහයෝගය අත්‍යාවශ්‍යයි. ඒ නිසා තමයි එතුමා එම ඉල්ලීම සිදු කළේ. ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට පෙර සිටම එතුමා සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටියා.

බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (සජබ)-

ආණ්ඩුව අපට සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරා‍ධනා කරනවා. ඒ ඉල්ලීම කරන්නේ ලෝකෙට පේන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීම ඒ අයට වැදගත් නිසා. ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට අසුවෙලා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරිම කෙරෙහි අවංක වුවමනාවක් නැහැ. අරගලය මේ රටේ ඩීල් දේශපාලනය මොකක්ද කියලා රටට තේරුම් කරලා අවසන්. දැන් පාක්ෂිකයෝ තේරුම් ගන්නවා, ගමේ අපි බෙදිලා වැඩක් නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා මේ කරන්නෙත් ‍රකින්න ඕනෑ අය රකින එක.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා (ශ්‍රීලංපොජපෙ)-

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි විවාදය අද සිදු කෙරෙනවා. එතුමා සිය අදහස් දැක්විම තුළ වටිනා අදහසක් ඉදිරිපත් කළා. විවිධ සංස්කෘතීන්, විවිධ ජන කොටස් නියෝජනය කරන, විවිධ භාෂා කථා කරන ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස එතුමා අදහස් දක්වන බව එතුමා කිව්වා. අපි බහු ආගමික, බහු වාර්ගික රටක්. අපගේ ඉදිරි ගමනට වැදගත් මේ දේවල් ගැන අවධානය යොමු කළොත් රටට ඉදිරි අනාගතයක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් වැදගත් කරුණු 10 ක් යෝජනා කර තිබෙනවා. අපි අතර යම් යම් ප්‍රතිපත්තිමය ගැටලු තිබිය හැකියි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා (ශ්‍රීලංපොජපෙ)-

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රශ්නයට විසඳුමක් වෙනුවට තත්ත්ව ප්‍රකාශනයක් වෙලා තිබෙනවා. ලස්සන වචන, ලස්සන අදහස් තිබෙන සුන්දර ලියවිල්ලක් වෙලා තිබෙනවා. මෙහි සාරංශය තමයි, මේ අර්බුදය සඳහා සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කිය එක. අපි පසුගිය කාලය පුරාම කිව්වා බරපතළ අර්බුදයක් එනවා එයට විසඳුම් හොයමු කියලා. අපි එහෙම කිව්වම ඒක ඉදිරිපත් කළ අපි අයින් කරලා ඔවුන්ට ඕනෑ අය ලං කර ගත්තා. අන්තිමට අපි කිව්ව දේ නොපිළි ගත්ත ගෝඨාභය ජනාධිපතිවරයට රටත් දාල යන්න වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපේ කණ්ඩායමට ආරාධනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කථා කරන්න. අපි ගියා. ඒ වුණාට ඒ කරුණු අහලා එතුමට අවශ්‍ය දේ කරගෙන යනවා. අගමැතිවරයා වේලා මාස තුනයි. ජනාධිපතිවරයා වේලා මාසයි. එහෙත් තවමත් මේ අර්බුදයට කිසිම විසඳුමක් දෙන්න සමත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොහොමත් කල් මරන්න පුදුම දක්ෂකමක් දක්වනවා.

 

Advertiesment