මේ දිනවල වැඩිපුර කතා බහට ලක්ව තිබෙන මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කුමන ස්වරූපයක් ගත යුතුද යන්නයි. 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට ගැලපෙන ආණ්ඩුව කුමක්ද යන්න ගැන කතාබහ ආරම්භ වූයේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම අරමුණු කොට ගෙනය. නිදහස දිනා 75 වසරකට ආසන්න වන තෙක් ශ්‍රී ලංකාවට ගැලපෙන ආණ්ඩුවක් තෝරා ගත නොහැකි වීම අප රටේ අභාග්‍යයකි.
කෙසේ වෙතත් යෝග්‍ය ආණ්ඩු ක්‍රමයක් ගැන කතාබහ පටන් ගත්තේ වෙන කිසිවක් නිසා නොව අරගල කරුවන්ගේ හඬට බියෙනි. එතැන් පටන් දැන් මාස මාස පහකට ආසන්න කාලයක් ආණ්ඩු ගැන සාකච්ඡා වෙමින් තිබේ. ඒ අතරතුර ඇමති මණ්ඩල, අගමැති, ජනාධිපති සහ ආණ්ඩු ද වෙනස් වී තිබේ. එහෙත් ආණ්ඩු කරන හැටි ගැන කරනු ලබන සාකච්ඡාව තවම නිම වී නැත.
රටේ ආර්ථික අර්බුදය විසඳීමේ පියවරක් ලෙස සියලු පක්ෂ එකතු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවට ජනාධිපතිගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්වා විශ්වාසයක් තබා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂ දුසිම් දෙකක් පමණ විසින් නියෝජනය කරනු ලැබේ. එම පක්ෂ විසින්ම සිය එකමුතුකම ගැන කතා කරමින් සිටියත් එම පක්ෂ ද නැවත කෑලි කෑලිවලට කැඩෙමින් පවතී. එමෙන්ම කොතෙක් වට මේස සාකච්ඡා පැවැත් වුවත් එම එකම පක්ෂයක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් එකහෙලා පිළි ගැනීමට සුදානම් නැත. විරුද්ධ පක්ෂ විවිධ හේතු දක්වමින් ආණ්ඩු පක්ෂයට උදවු කිරීමට පසුබට වෙයි. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුව අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබේ.
මේ විරුද්ධ මත සැලකිල්ලට ගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් පිහිටු වීමටවත් සහයෝගය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. දැන් ආණ්ඩුවක් වෙනුවට පාලනයක් ගැන නන්දොඩමින් ඒ ඒ පක්ෂ යළිත් කල් මරමින් පසුවෙයි. ආණ්ඩුවක් ලෙස හැඳින් වුවද පාලනයක් ලෙස හැඳින් වුවද සිදු වන්නේ රාජ්‍ය පාලනය මිස අනෙකක් නොවේ. සර්ව පාක්ෂික ආණ්ඩුව ද සර්ව පාක්ෂික පාලනය ද දෙකක් නොව එකක් බව මහාචාර්ය එම් ඕ ද සොයියා ජීවතුන් අතර සිටියේ නම් සියලු දේශපාලන පක්ෂවලට කියා දෙනු නිසැකය. ඒ අනුව අවශ්‍යවන්නේ සර්ව හෝ අසර්ව යන විශේෂණ පද නොව අර්බුදය විසඳීමට අවශ්‍ය ශක්තිය මත ගොඩනගන ආණ්ඩුවකි.
මේ සඳහා විකල්පය ලෙස මා යෝජනා කර සිටින්නේ "සර්ව ශක්ති" ආණ්ඩුවකි. සර්ව ශක්ති ආණ්ඩුවක පක්ෂ අනන්‍යතාව පසෙක ලා ඒ ඒ මන්ත්‍රීන්ට අර්බුදය විසඳීමට සිය ශක්තිය ලබා දිය හැකි අවකාශයක් සැලසේ. ඒ අනුව විවිධ පක්ෂ හෝ කණ්ඩායම්වලට අයත් මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට සහය දිය හැක. එහිලා ඒ ඒ මන්ත්‍රීවරයා සතු ශක්තිය අර්බුදය විසඳීම පිණිස දායක කළ යුතුය. ඒ අනුව පාර්ලිමේන්තුවේ තිබෙන පුද්ගල ශක්තීන් සියල්ල ඒකාබද්ධ කළ හැක. එම ශක්තියෙන් ද අර්බුදය විසඳා ගැනීමට මාර්ග සොයා ගත නොහැකි නම් එම පාර්ලිමේන්තුවෙන් වැඩක් නැත. එබැවින්, පාර්ලිමේන්තුවේ රැඳී සිටීමේ අර්ථයක් ඇති බව පෙන්වීමට මෙම සර්ව ශක්ති ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට කදිම අවස්ථාවක් බවට පත් කර ගත හැකිය.
මෙතෙක් අප අසා ඇති මන්ත්‍රී ශක්තීන් අතර ප්‍රධාන ඒවා කීපයක් වේ. සජිත් ප්‍රේමදාස ශක්තිය ඉන් එකකි. ඒ මුදල් ගෙවීමකින් තොරව තෙල් නැව් ගණන් ගෙන්වා දීමට ඇති ශක්තියයි. අනුර කුමාර දිසානායකගේ ශක්තිය තවත් එකකි. ඔහුට මිතුරන්ගෙන් ඩොලර් බිලියන ගණනක් ගෙන්වා ගැනීමේ ශක්තිය ඇති බව ප්‍රකාශ කර තිබේ. මෛත්‍රිපාල සිරිසේන ද ඔහුට මොකද්දෝ ශක්තියක් ඇති බවට පාරම්බාමින් සිටී. මේ හැරුණු විට ඒ ඒ මන්ත්‍රීවරුන් ද ඔවුන්ට "හොඳටම කිරීමේ" ශක්තිය ඇති බවට පුරසාරම් දොඩමින් සිටී. මෙනයින් බලන කල මහත් ශක්ති ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ගොඩගැසී තිබේ. එබැවින් ජනාධිපතිවරයාට මන්ත්‍රීන්ගේ පක්ෂ පාට නොතකා ඔවුන්ගේ ශක්තිය ගැන පමණක් සලකා සර්ව ශක්ති ආණ්ඩුවක් හෝ පාලනයක් නිර්මාණය කර ගැනීමේ අවකාශ උදා වී තිබේ.
ජනාධිපතිවරයා දැන් ඉල්ලා සිටිය යුත්තේ අන් යමක් නොව මන්ත්‍රී ශක්තිය යි. තමාට ශක්තියක් නැතැයි ද ශක්තිය ඇතත් නොදෙන්නේ යැයි ද කියන මන්ත්‍රීවරුන් ඇත් නම් ඔවුන් මහජන මුදලින් නඩත්තු කිරීමේ ප්‍රයෝජනයක් නැත. එවැනි මන්ත්‍රීවරුන් වෙතොත් ඔවුන්ගේ දේශපාලන චාරිකාව අවසන් කළ යුතුය. ශක්තියක් ඇති මන්ත්‍රීන්වේ නම් ඔවුන් ආණ්ඩුකරණයට මැනවින් යොදා ගත යුතුය. එබැවින් අරගලකරුවන් ද මේ අවස්ථාවේ මන්ත්‍රී ශක්තිය ආණ්ඩුව වෙත ලබා දීමට බලපෑම් කොට රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට වෙහෙසිය යුතුය. එසේ නැති නම් ඔවුන්ට ද සැමදා අරගල කරමින් සිටීමට සිදු වනු ඇත. ඒ මක් නිසාද යත් ගැටලු විසඳීමට ශක්තිය ඇති මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ සොයා ගත නොහැකි බැවිනි.
මැතිවරණයක් ඉල්ලා සිටින පක්ෂවලට ද තමන්ට අර්බුදය විසඳීමේ ශක්තිය ඇති බව පෙන්වා ඊළඟ මැතිවරණය දිනා ගැනීමට එමගින් වාසනාව උදා කර ගත හැකිය. මේ අනුව බලන කල මහජනයාටත් ඒ ඒ දේශපාලන පක්ෂවලටත් සෙතක් සැලසෙන්නේ සර්ව ශක්ති ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණි.
එසේ කළ නොහැකි නම් වත්මන් අර්බුදයට පිළියම් නොමැතිව සදාකල් දුක් විඳීමට සිදු වනු ඇත. සර්ව ශක්ති ආණ්ඩුවකට කිසිවෙකු දායක වීමට අකමැති නම් තවත් විකල්පයක් තිබේ. එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ආණ්ඩුව කර ගෙන යාමට ඉඩ දීමය. මා සිතන ආකාරයට හොදම විකල්පය එයයි. ඒ මක්නිසාද යත් "සර්ව" යන වචනය විශ්වාස කළ නොහැකි බැවින් සහ ජනාධිපතිවරයාට අර්බුදයත් එහි විසඳුමත් රාජ්‍ය පාලනයත් හොඳ හැටි තේරෙන බැවිනි.
Lanka Newsweek © 2024