රටේ දේවල් සිදු වෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහ ජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමි කර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන අවබෝධයක් නොතිබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුව ඔහු එම තනතුරෙන් පහ කොට එක ආසනයකට පමණක් හිමිකම තිබූ රාජ්‍ය පාලනය ගැන තියුණු අවබෝධයක් තිබෙන පුද්ගලයෙකු ලෙස සැළකිය හැකි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇතිව ජනාධිපති ධූරයට පත් කළේය.
ඔහු එම තනතුරට පත් වන අවස්ථාව වන විට රාජ්‍යය තිබුණේ දිගින් දිගට කළ යුතු ප්‍රතිසංස්කරණවලින් වැළකී සිටීම නිසාත් අවසානයේ අරගලකරුවන්ගෙන් එල්ල වන අභියෝගයන් ඉදිරියේ කඩා බිඳ වැටෙන තත්ත්වයකය. සාම්ප්‍රදායික රාජ්‍යය පාලකයින්ට රාජ්‍යය කළමණාකරනය කිරීමට තිබෙන හැකියාව ද විශාල ප්‍රමාණයකට බිඳ වැටී තිබුණ අතර අරගලකරුවන් කිසියම් ප්‍රමාණයකට රාජ්‍යයට අණ දිය හැකි බලයක් හිමි කර ගනිමින් තිබුණි.
එම තත්ත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දුර්වල කළමණාකරන රටාවද බලපා තිබුණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් පළමු පැය 48 ඇතුළත ආරක්ෂක හමුදාවල බලය යොදා ගනිමින් අරගලකරුවන් රාජ්‍යයෙන් උදුරා ගෙන තිබුණ එම ශක්තිය නැවත ඊට ලබා දෙමින් රාජ්‍ය පාලන විෂයෙහි ගොඩ නැගී තිබුණ අරාජිකත්වය කිසියම් විශාල ප්‍රමාණයකට නැති කළේය.
නව ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය අරගලකරුවන්ගේ බලවත් කෝපයට හේතුවී ඇතත් දෛවයේ සරදමකට මෙන් අරගල කරුවන්ගේ ප්‍රධාන අභිලාශය ලෙස සැළකිය හැකි "ක්‍රමයේ ගැඹුරු වෙනසක්" සදහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රාජ්‍යයේ දොරටු විවෘත කරන්නාගේ භූමිකාව ක්‍රියාවට නැගීමට මහජනයා විසින් නොව ඉතිහාසය විසින් තෝරා ගත් පුද්ගලයා බවට පත්ව සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.
ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු නොකරන්නේ නම් විශාල විනාශයකට රට තල්ලු වී යනු ඇති බව මා කියන්නට වූයේ අභ්‍යන්තර යුද්ධයේ අවසානයත් සමග 2010 වසරේ සිටය. බිහිසුණු සහ දැවැන්ත කැරලි දෙකක් ජය ගැනීමට රාජ්‍යය සමත් වී තිබුණද ඉන්පසු රාජ්‍යය තිබුණේ යහපත් තත්ත්වයක නොව එම කැරලිවලින් ඇතිව තිබූ බරපතළ තුවාල නිසා බෙලහීන සහ අබල-දුබල තත්ත්වයකට පත් තත්ත්වයකය.
සිංහළ-දෙමළ කැරලිකරුවන් අතින් සේම කැරලි මර්දනය කළ ආරක්ෂක හමුදා අතින් ද විශාල පිරිසකගේ ජීවිත විනාශ වී තිබුණ අතර ඊටත් වඩා විශාල පිරිසක් හිංසාවට සහ පීඩාවට ලක්ව සිටියේය. කැරලිකරුවන් සහ ආරක්ෂක හමුදා තරඟකාරි ස්වරූපයකින් සමාජය මත මුදා හැර තිබුණ කෲරත්වය සමාජ මනස විකෘති කිරීමට සහ රෝගි කිරීමට හේතුවී තිබුණි.
නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපතිවරයෙකු සහිත දේශපාලන ක්‍රමයක් පවත්වා ගෙන යාම නිසා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තිබිය යුතු සංවරණය සහ තුලනය මුළුමනින් බිඳ වැටී තිබුණ අතර දූෂණය පාලනයකින් තොරව සමස්ත ආයතන ක්‍රමය වෙලා ගෙන වේගයෙන් පැතිර යන බිහිසුණු පිළිකාවක් බවට පත්ව තිබුණි.
සමාජ ක්‍රමයේ තිබිය යුතු සමගිය සහ ඒකාග්‍රතාවය ද මුළුමනින් කඩා බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබුණි. රටේ ආර්ථික කටයුතු සිදු වෙමින් තිබුණේ ද අක්‍රමවත් සහ අයාලේ යන තත්ත්වයකය. රට ගැඹුරු ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට යොමු නොකළ හොත් සමස්ත ක්‍රමය කඩා බිඳ වැටී රට අරාජික තත්ත්වයකට තල්ලූ වී යනු ඇති බව මගේ නිරීක්ෂණය වී තිබුණි.
අභ්‍යන්තර යුද්ධය අවසානයේ දී මා එම තත්ත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමට උත්සාහ කළ ද යුද්ධයේ ජයග්‍රහණයෙන් ඇස් අන්ධ කර ගෙන සිටි ජනාධිපතිට එම යථාර්තය තේරුම් ගැනීමට හැකි වූයේ නැත. ඉන්පසු යහ පාලන ආණ්ඩුව යටතේ කරන ලද සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ද රටේ තිබුණ අර්බුදයේ තරමට ගැලපෙන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් නොවීය. මා සහ මංගල සමරවීර අතර නැවත සමීප දේශපාලන මිත්‍රත්වයක් ඇති වූයේ ඔහුගේ චරිතාපදානය වෙනුවෙන් මාතර පැවති උත්සවයේ දී ශ්‍රී ලංකාවේ අර්බුදය අලලා මා කරන ලද දේශනය සහ ඊට ඔහු දක්වන ලද අවංක ප්‍රතිචාරය නිසාය.
අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා ක්‍රියා කිරීම නිසා රටේ අර්බුදය පුපුරන සුලු තත්ත්වයකට වර්ධනය වී ඇති බවත් සමහර විට මැතිවරණයෙන් පසුව පිපිරෙන තත්ත්වයක් ඇතිවී රට බංකොලොත් තත්ත්වයකට ඇද වැටී අවසානයේ රට අරාජික තත්ත්වයකට තල්ලුවී යනු ඇති බව මම එම දේශනයේ දී කීවෙමි. ඒ වන විට මංගල සමරවීර රටේ මුදල් ඇමති වූ අතර ඔහු සිය ස්තූති කතාවේදී මගේ විග්‍රහය පිළි ගත්තා පමණක් නොව දැන හෝ නොදැන එම අර්බුදයට දායක වීම ගැන ප්‍රසිද්ධියේ සිය කණගාටුව ද පළ කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ගැන අප දෙදෙනා සාකච්ඡා කරන තැනකට ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සදහා මංගල සමරවීර කැඳ වන ලද සාකච්ඡා දෙකකට රනිල් වික්‍රමසිංහ ද සහභාගි විය. මේ දෙදෙනාම පරණ දේශපාලකයින් අතර සිටි නවීන අදහස් දැරූ වෙනස් වන නූතන ලෝකය ගැන තියුණු වැටහීමක් තිබුණු දේශපාලකයින් දෙදෙනෙකු ලෙස සැළකිය හැකිය. අප සාකච්ඡාවට ලක් කළේ රාජ්‍යය සහ දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුණ බිඳ වැටීම සහ ආයතන ක්‍රමය වේලා ගෙන පැතිර ගොස් තිබුණ දූෂණය ගැන ය. එම සාකච්ඡා ඉතාමත් අව්‍යාජ ආකාරයෙන් සිදු වූ සාකච්ඡා ලෙස සැළකිය හැකිය. මා එම කාලයේදී එම පරණ නායකයින් දෙපළ ගැන දරන ලද මතය වූයේ බලයේ සිටින්නේ කවරෙකු වුවද ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවෘත කර ගැනීම සඳහා ඔවුන් ලවා පුරෝගාමි කාර්‍ය්භාරයක් ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයි කියාය.
ආරම්භ වී තිබුණ තරුණ අරගලය උත්සන්න වෙමින් තිබෙන අවස්ථාවක මා විසින් හදා ගත් ප්‍රතිසංස්කරණ වැඩ සටහනක කෙටුම් පතක් සමග මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වන්නට ගියේ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කළ හැකි නම් ගෙවුම් ශේෂ අර්බුදයට අතිරේක වශයෙන් සමාජ-දේශපාලන අර්බුදය ද විසදා ගැනීමට හේතු වන ලෙස ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කර ගනිමින් රටේ ගමන් මග ද හරි මගකට ගත හැකි වනු ඇතැයි කියන විශ්වාසයකින් යුතුවය.
ඒ ගැන මා මීට පෙර ලියා තිබෙන බැවින් එක් කරුණක් ගැන පමණක් කතා කරමි. ජනාධිපතිවරයා එම සමස්ථ යෝජනාවලියට එකග වීම මගේ පුදුමයට හේතු විය. යෝජනාවලියේ අවසාන අංගය ලෙස තිබූ එක්සත් ජාතින්ගේ සංවිධානය මෙම වැඩ සටහනේ නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධ කර ගත යුතූයි කියන අදහසට ද ජනාධිපතිවරයා එකඟ වීම ඊටත් වඩා මාගේ පුදුමයට හේතු වූ බව කිව යුතුය. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා මාගේ වැඩ සටහන ගැන ඔහු සමග ද සාකච්ඡා කර තිබෙන අතර අගමැතිවරයා ද ඒ ගැන මා සමග සාකච්ඡා කළේය. අගමැතිවරයා ඒ වන විටත් මගේ ප්‍රතිසංස්කරණ අදහස් ගැන දැන සිටි අතර ඔහු සිටියේ ද තිබෙන ක්‍රමයේ යහපත් සහ ගැඹුරු වෙනසක් අත්‍යාවශ්‍ය වේයැයි කියන මතයේය. එම සාකච්ඡාවෙන් පසුව මා සහ අගමැති අතර කෙරෙන සම්බන්ධීකරණය අගමැතිවරයා විසින් භාරදී තිබුණේ අචාර්‍ය අරුණ කුලතුංගට සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ආර්. යු. හල්වතුර යන දෙදෙනාටය. අගමැතිවරයා ඒ ගැන ඔවුන් සමග කරන ලද සාකච්ඡාවේදී මාගේ ප්‍රතිසංස්කරණ ලියවිල්ල ඉතා කුඩා වුවත් එහි අන්තර්ගතය මහාවැලි යෝජනා ක්‍රමයටත් වඩා විශාල බව අගමැතිවරයා කී බව මට අරුණ කුලතුංගගෙන් දැන ගන්නට ලැබුණි. එහෙත් ඒ මොහොතේ රටේ පැවති කලබලකාරි තත්ත්වය නිසා ඒ අදහස් පැවතුනේ හිස් අවකාශයේ පා වෙන දේවල් ලෙසය.
අගමැති ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු 2022 ජූලි 20 වනදා දුරකථනයෙන් මා අමතා කතා කොට ප්‍රතිසංස්කරණ වැඩ සටහන ගැන සාකච්ඡා කිරීම සදහා 2022 ජූලි 22 වන දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට එන ලෙස මට දැනුම් දුන්නේය. මා එදින එහි ගියේ ඒ වන විට පරිපූර්ණ බලය ලැබී තිබුණ තත්ත්වයක් මත නව ජනාධිපතිවරයා ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන කෙසේ කල්පනා කරනු ඇත්ද යන්න ගැන ඇති කර ගත් කුතුහලයකින් යුතුවය. එහෙත් ප්‍රතිසංස්කරණ පිළිබදව ඔහු තුළ පැවති ස්ථීරසාර භාවයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඔහු සමග කෙරුණු කතා බහේදී මම ඉක්මණින් තෙරුම් ගත්තෙමි.
රටේ යහපතට අවශ්‍ය කරන සියලු මූලික ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බව ජනාධිපතිවරයා දරන ලද මතය විය. වර්ගය, කුලය, ආගම, ලිංගය සහ සංස්කෘතිය යන සාධක ගෝල්ෆේස් තරුණ අරගලයේ ප්‍රධාන සංරචකයන් ලෙස ක්‍රියා කර තිබෙන අකාරය ගැන ද අපි කතා කළෙමු. වැඩ වසම් කුල භේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට වර්ග, ආගම්, ලිංගික සහ සංස්කෘතික සමාජ කණ්ඩායම්වලට සමාන මනුෂ්‍ය ගෞරවය සහ සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රවේශයක් මත ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමේ වැදගත්කම සහ එය ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධානම අංගයක් කර ගැනීමේ අවශ්‍යතාව ගැනද අපි කතා කළෙමු.
මුලදී සාකච්ඡාවට සහභාගි වූ තුන්වැනි පුද්ගලයා වූයේ ජනාධිපතිගේ පුද්ගලික ලේකම් සමන් ආතාවුදහෙට්ටි පමණය. ඉන්පසු ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ විදේශ උපදේශිකා ශේනුකා සෙනවිරත්න එහි කැඳවා මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ නිරීක්ෂකයකු ලෙස ක්‍රියා කිරීම සදහා ආරාධනා කරන ලිපියක් එක්සත් ජාතින්ගේ සංවිධානයට යවන ලෙස උපදෙස් දුන්නේය.
ඉතා බලවත් ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ද යොදා ගනිමින් ක්‍රමයේ ගැඹුරු යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට දොරටු විවෘත කිරීමට ඒ මගින් ජනාධිපතිවරයා පෙන්නුම් කළ අධිෂ්ඨානය මගේ පුදුමයට හේතු වූ බව කිව යුතුය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්විය යුතුව තිබුණේ 1999 වසරේ අග පැවති ජනාධිපතිවරණයේ දී ය. එහෙත් ටවුන් හෝල් බෝම්බ සිද්ධිය නිසා එම ජයග්‍රහණය වැළකුනේ ය. ඉන් පසු 2005 ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි හැකියාවක් තිබුණේ ද ඔහුටය. එහෙත්, වේලුපිල්ලේ ප්‍රභාකරන් පන වන ලද ඡන්ද තහනම නිසා එම ජයග්‍රහණය ද වැළකුණි.
මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය යැයි කියන අදහස නිසා 2015 ජනාධිපතිවරණයට තරඟ කොට එම ජනාධිපතිවරණය ජය ගැනීමට තිබුණ හැකියාව ද ඔහුට අහිමි විය. ඉන් පසු 2020 පාර්ලිමේන්තු මැතිවරණයත් සමග එළඹෙන කාලය රනිල් වික්‍රමසිංහට දේශපාලන අර්ථයෙන් මුහුණ දෙන්නට සිදු වූ නරකම කාලය විය හැකිය.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි වූ අතර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙනි. ආශ්චර්ය ජනක සේම බිහිසුණු දේවල් සිදු වන්නේ ඉන්පසුවය. රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබුණේ ද, ඒ සමග ඔහුගේ නිවස සහ එහි පුස්තකාලය ගිනි බත් වූයේ ද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටෙන් පලායාමෙන් පසු වැඩ බලන ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් වූයේ ද, අනතුරුව පාරිමේන්තුවේ පැවති ඡන්දයකින් ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ ද තරුණ අරගලයේ අතුරු ප්‍රතිඵලයන් ලෙස යැයි සැළකිය හැකිය.
ඔහු පරණ දේශපාලන පරපුර අතර සිටින බුද්ධිමය අර්ථයෙන් විශිෂ්ඨයා ද, දක්ෂතම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසද සැළකිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ, ජනමාධ්‍යය විසින් පුම්බන ලද චරිතයක් ලෙසද, රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍යය විසින් සැලසුම් සහගතව විනාශ කර දමන ලද චරිතයක් ලෙසද සැළකිය හැකිය.
ගෙවුම් ශේෂ අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම සදහා ක්‍රියා කරන අතර රටේ පවතින දූෂිත, අකාර්යක්ෂම සහ අසාධාරණ ක්‍රමයේ සැබෑ යහපත් සහ ගැඹුරු විපර්‍යාසයක් ඇති කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කොට ක්‍රමයේ සැබෑ වෙනසක් ඇති කරලීමට සමත් වෙතොත් ශ්‍රී ලංකාව ගලවා ගත් වීරයා ලෙස ඔහුගේ නාමය ඉතිහාසයට එකතු වනු ඇත.
Lanka Newsweek © 2024