මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වර්ෂ 1904-1924 අතර කාලයේ විදුහල්පතිවරයා වූ Alexander Garden Fraser පූජකතුමන් තැබූ සටහනක් මෙම ලිපිය ලිවීමට මා පොළඹවනු ලැබීය. ඒ සටහන මෙසේය. "If I go into a village and see the place full of flies and mosquitoes, the poultry scrawny, the streets untidy and the houses dilapidated, I know at once that the school – if there is one – is not doing its job." ( මා යන ගමක් වේ නම් ඒ ගම මැසි මදුරුවන්ගෙන් ගහණ වේ ද එහි කුකුළු-තාරා දී සතුන් කැහැටු වේ ද පාරවල් අපිරිසිදු වේ ද ගේ-දොර ජරාවාස වේ ද එවිට මට එක් වරම පසක් වන්නේ එගම පාසලක් වේ නම් එම පාසැල සිය කාර්ය ඉටු නොකරන බවයි).
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල පාඩුව රුපියල් බිලියන ගණනින් මැන දක්වනු ලැබේ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තුවල පාඩුව ද එලෙස මනිනු ලැබේ. එහෙත් පාසල් සහ විශ්ව විද්‍යාල ලාභ හෝ පාඩු ලබන ආයතන ලෙස සලකනු නොලැබේ. ඒ මක් නිසා ද යත් අධ්‍යාපනය කුමන පිරිවැයක් යටතේ හෝ සමාජ ප්‍රගමනය උදෙසා ලබා දිය යුතු අත්‍යවශ්‍ය යෙදවුමක් ලෙස පිළි ගනු ලබන බැවිනි.
ඒ නිසා පාසල් අධ්‍යාපනය සේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද නොමිලයේ ලබා දීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරේ. එබැවින් එහි පිරිවැය කොපමණ දැයි රජය දනිතත් එහි ලාභාලාභ ගණනය කරනු නොලැබේ. එසේ නම් අධ්‍යාපනය බරපතළ පාඩුවක් සිදු කරන බවට චෝදනා කළ හැක්කේ කෙසේද..?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දේශපාලනීකරණය නොවී තිබුණු කාලයක් විය. එහිලා පාසල්වලට සේම විශ්ව විද්‍යාලවලට ද ස්වාධීනත්වයක් ආරෝපණය වී තිබිණ. එහෙත් 1960 ගණන්වලින් ඇරඹි 1970 ගණන්වල දී අධ්‍යාපනය දැඩි දේශපාලනීකරණයට ලක් විය.
අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන රාජ්‍ය අනුග්‍රහය වැඩි වන්නට වීමෙන් දේශපාලන බලපෑම ද වැඩි විය. සිසුන් ඇතුළත් කිරීම, පාසල් වැඩි දියුණුව, විදුහල්පතිවරුන් පත් කිරීම, ගුරැ ස්ථාන මාරු, නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම, සිසුන් බඳවා ගැනීම සහ උපකුලපතිවරුන් පත් කිරීම ඇතුළු තවත් බොහෝ ක්‍රියාකාරකම් දේශපාලනීකරණය විය. එම දේශපාලනීකරණය පාලක පක්ෂයේ මැදිහත් වීමෙන් සිදු වූ අතර එමගින් අධ්‍යාපනයේ ස්වාධීනත්වයට අනිසි බලපෑම් එල්ල විය. අනෙක් අතට ඇතැම් වාමාංශික පක් විසින්ෂ පාසල සහ විශ්ව විද්‍යාල සිය ග්‍රහණයට නතු කර ගැනීම මගින් අධ්‍යාපනය කනත්තට ඇද ගෙන ගියේය. අධ්‍යාපනයේ පිරිමැසිය නොහැකි පාඩුව හට ගන්නේ ඒ ඔස්සේය.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ආරම්භයේ සිටම කොමියුනිස්ට් සහ සම සමාජ දේශපාලනය ඊට ඇතුළු වී සිසු මනස අධ්‍යාපනයට වඩා ආණ්ඩු පෙරළීම කෙරෙහි මෙහෙය වනු ලැබීය. 1955 දී අයිවර් ජෙනිංස් විශ්ව විද්‍යාලය හැර යන්නේ ද එවැනි වාතාවරණයකය. 1960 ගණන්වල අග භාගය වන විට විශ්ව විද්‍යාලවල ක්‍රියාකාරී වූ පක්‍ෂ ලැයිස්තුවට ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළත් විය. 1971 කැරැල්ලට සැලකිය යුතු සරසවි සිසුන් පිරිසක් යොමු කර ගත හැකි වූයේ ඒ ඔස්සේය. කැරලිකාර සිසුහූ එක්කෝ මැරුම් කෑහ. නැති නම් සිර බත් කෑහ. යළි 1970 අග භාගයේ සිට සරසවිවල ජවිපෙ ක්‍රියාකාරකම් මෝදු වන්නට විය. 1980 ගණන් වන විට ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගම් හැරුණු විට වෙන කිසිදු ශිෂ්‍ය සංගමයකට බලය ගැනීමට ඉඩක් නොදෙමින් හිංසනය ද ඊට යොදා ගත්තේය. එහිලා ශිෂ්‍ය ජීවිත පවා බිළි ගනු ලැබීය.
ඊළඟට, 1980 අග භාගයේ දී විශ්ව විද්‍යාල ජනතා විමුක්ති පෙරමුණේ කඳවුරු බවට හරවා ආණ්ඩුවට එරෙහි සටන් මෙහෙය වීය. එහිලා විශාල සිසුන් පිරිසක් බිල්ලට දෙනු ලැබීය. 1990න් පසු කාලයේ නැවත සංවිධානය වුණු ජනතා විමුක්ති පෙරමුණ ද ඉන් අවුරුදු ගණනාවකට පසු ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී වෙන් වුණ පෙරටුගාමීන් ද අද දක්වා ශිෂ්‍ය සංගම්වල බලය මාරුවෙන් මාරුවට අල්ලා ගනිමින් සිටී.
මෙම නව රැල්ලේ ශිෂ්‍ය සංවිධානවල කාර්යයන් කීපයක් වේ. පළමු වැන්න නම් නවක සිසුන් නවක වධයට භාජනය කොට බලහත් කාරයෙන් ඔවුන්ගේ මතවාදයට නැඹුරු කර ගැනීමයි. දෙවැන්න වන්නේ එසේ නැඹුරු නොවන සිසුන්ට අනේක විධ අඩන්තේට්ටම් පමුණුවා ඔවුන් දෙවන පන්තියේ සිසුන් බවට පත් කිරීමයි. තුන් වැන්න වන්නේ විශ්ව විද්‍යාල පරිපාලනයේ වැඩි බලය සියතට ගෙන විශ්ව විද්‍යාලය සිය අභිමතය පරිදි හැසිරවීමයි. සිවුවැන්න වන්නේ කැට ව්‍යාපාර සහ ශිෂ්‍ය සංගම් වැඩසටහන් ඔස්සේ විගණනයට ඉඩ නොදෙන ගිණුම් මගින් මුදල් ඉපයීමයි. පස්වැන්න වන්නේ නගර මධ්‍යයේ අට්ටාල ගසා නිරන්තර අරගල කිරීමයි. හය වැන්න වන්නේ ආණ්ඩු විරෝධී පෙළපාලි ගොස් කඳුළු ගෑස් කෑමට කණිෂ්ඨ සිසුන් හුරු කිරීමයි.
ඉහත කී ශිෂ්‍ය සංවිධාන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය හෙවත් සර්ව බලධාරී "අන්තරය" නමින් පෙනී සිටිමින් පළමු වසරේ ආරම්භයේ සිට සිදු කරනු ලබන මොළ හේදීම මගින් රාජ්‍ය අංශයට බැඳෙන බොහෝ උපාධි ධාරීන්ගේ මනස පරාධීන කෙරේ.
ඔවුන් සිය රාජකාරියට වඩා ආණ්ඩු විරෝධය පෙරදැරි කර ගනී. වාමාංශික ආණ්ඩු හැදීම සිය ඉලක්කය බව සිතයි. එබැවින් ඔවුන් ආණ්ඩුව අපහසුතාවට පත් වන ලෙස වැඩ කිරීමට පෙළඹී සිටී. වෘත්තීය සටන් වෘත්තීය ජීවිතය කර ගනී. මෙහිලා වඩාත් දරුණුතම හානිය සිදු වන්නේ ඇතැම් උපාධිධාරී ගුරුවරුන් ගෙනි. ඔවුන් සිය සිසුන් ක්‍රමානුකුලව සිය දේශපාලන මතයට නැඹුරු කර ගනී. මේ ක්‍රියාවලිය භාහිර පන්ති ඇසුරෙන් ද ක්‍රියාත්මක වේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද සිසුන් සහ දේශපාලන ඇයි හොඳයි කම් පැවැත්වීම නොරහසකි.
තවද ඇතැම් පාසල් ගුරුවරු සරසවි ශිෂ්‍ය සංවිධාන සමග සමීප සම්බන්ධතා පවත් වන අතර, "මාගේ දේශය අවදි කරනු මැන" යන තේමාව ඔස්සේ වාර්ෂිකව පවත් වන සරසවි ශිෂ්‍ය සාහිත්‍ය උළෙල මුවාවෙන් කරනු ලබන දේශපාලනික වැඩ සටහනට පාසල් සිසුන් සහභාගී කර වනු ලබයි. එහිලා පවත් වනු ලබන දේශන සහ විරු සිසු පූජා යනාදිය මගින් "අන්තරේ" ට පිං සිදු වන්නට නිදහස් අධ්‍යාපනය සුරැකෙන බවත් එනයින් ඔවුන් වීරයන් බවත් ඒත්තු ගන්වනු ලබයි. තවද පාසල්වලට පොත් කීපයක් පරිත්‍යාග කිරීම සහ උපකාරක සම්මන්ත්‍රණ කිරීම ද මගින් පාසල්වලට රිංගා ඉගෙනීමේ වටිනාකම පාසල් සිසුන්ට කියා දේ. එහෙත් මේ සරසවි සිසුන් විශ්ව විද්‍යාල දේශනවලට සහභාගී නොවේ. ඉගෙන ගැනීමට වඩා නිදහස් අධ්‍යාපනය සුරැකීම ඔවුන්ගේ වගකීම වන බවට තර්ක කරනු ලැබේ.
මේ ආකාරයට "අන්තරේ" ට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කර ගනු ලැබේ. ඒ අනුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට හැකි වුවත් නැතත් පාසල් පද්ධතිය ඇතුළත ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජ වැදී පක්ෂයේ මතවාදය ස්ථාපිතව ඇත.
පාසල් සිසුන් දේශපාලනය, රාජ්‍ය පාලනය, විදේශ සම්බන්ධතා යනාදිය ගැන අත්පොත් තබන්නේ ඒ ආකාරයටය. ඒ නිසා ඔවුන් සැබෑ සහ සත්‍ය ලෝකය දකින්නේ කලාතුරකිනි. එම ඉගැන්වීම් අනුව, පාසලෙන් පිට වූ තරුණයන් අවිවාදයෙන් විශ්වාස කරන්නේ නිදහසින් පසු අවුරුදු 74ක් අප රටේ කිසිදු සංවර්ධනයක් සිදු වී නොමැති බවයි. තව ද 1977න් පසු රට ආපස්සට ගිය බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය, ගමන් මග, සමාජ ක්‍රමයේ පරිනාමය, නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය යනාදිය ගැන ඔවුන්ට ඇත්තේ මුළුමනින්ම වැරදි අවබෝධයකි. ඔවුන් කියවීමෙන්, පරීක්ෂාවෙන් සහ නුවණින් ඉගෙන ගන්නේ නැත. ඔවුන්ට අවබෝධ කර දී ඇත්තේ ආණ්ඩුව ඔවුන්ගේ සතුරා ලෙසය. එසේ නම් කළ යුත්තේ ආණ්ඩුවට එරෙහිව අරගල කොට කියුබාවේ, රුසුයාවේ, නැතහොත් උතුරු කොරියාවේ බඳු ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම බව ඔවුන් විශ්වාස කරයි. එම ආණ්ඩු කොතරම් පීඩාකාරී සහ අසමත් දැයි ඔවුන් නොදනී. එසේ කබලෙන් ලිපට වැටීමට ඔවුන් කියන්නේ "System Change" කිරීම කියාය. ඔවුන් එම වචනය ලියන්නේ "CHEnge" යනුවෙනි. "CHE" යනු චේගුවේරා ය. තරුව චේගුවේරාගේ තොප්පියේ ඇති තරුව ය. ඒ අනුව ඔවුන්ගේ "System Change" කිරීම කුමක් දැයි නොරහසකි. ඒ වනාහී ශ්‍රී ලංකාවේ කියුබාවක් හැදීම ය. කියුබාව ගැන කතා කිරීම වචන නාස්ති කිරීමකි.
අධ්‍යාපනයෙන් ඉගෙනීම, බුද්ධි වර්ධනය, ශික්ෂණය යනාදිය නොලැබේ නම් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. අකුරු ඉගෙන ගෙන ඇත්තේ "Posters" ලිවීමට පමණක් නම් එමගින් ද පළක් නැත. ඊටත් වඩා අධ්‍යාපනය යොමු වී ඇත්තේ සටන් කිරීම කෙරෙහි නම් එවැනි අධ්‍යාපනයක් ඉතා භයානකය. මුහුණු පොත ආශ්‍රයෙන් නිරීක්ෂණය කළ හැකි කරණක් වන්නේ උපාධිධාරීන් ද උපාධිධාරී ගුරුවරුන් ද අපහාසය, වෛරය, ක්‍රෝධය, ද්වේශය සහ තර්ජනය යනාදිය කෙරෙහි අන් සියලු කණ්ඩායම්වලට වඩා යොමු වී ඇති බවයි. ඊට සරසවි ඇදුරන් සහ එම සංගමය (FUTA) ද බෙහෙවින් දායක වී ඇති බව පෙනේ.
එසේ නම් විශ්ව විද්‍යාල සහ පාසල් අධ්‍යාපනය සමාජ යහපත පිණිස නොව වෛරයට සහ ද්වේශයට පාර කපා ඇති බව එමගින් පෙනේ. රටේ ඉහළ පරිපාලන තනතරු සියල්ලම පාහේ හොබ වන්නේ උපාධි ධාරීන්ය. එබැවින් සමාජයේ පිරිහීම සහ අපේක්ෂා භංගත්වය යනාදිය සම්බන්ධයෙන් වග කිව යුත්තේ ද ඔවුන්ය. අධ්‍යාපනයේ ඉහළම නිෂ්පාදනය උපාධිධාරීන් වේ නම් ගෙවුණු අවුරුදු 80ක් පුරා, එනම් විශ්ව විද්‍යාලය ආරම්භ වූ දා සිට උපාධිධාරීන් යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමට අසමත්ව නොසිටී ද..? ඔවුන් සැමදාම කළේ ප්‍රශ්න නිර්මාණය වන ආකාරයට ක්‍රියා කොට ඊට විසඳුම් සෙවීමය. කල් තියා ප්‍රශ්න පිළිබඳ අවධානයක් යොමු කොට ප්‍රශ්න ඇති නොවීමට වග බලා ගන්නා හැකියාවක් ඔවුන්ට නැත.
මේ සියලු කරුණු සාවධානව සලකා බලන කල නිගමනය කළ හැක්කේ රාජ්‍ය සංස්ථා මගින් ජනිත වන පාඩුව රුපියල් බිලියන ගණනින් මැනිය හැකි වන නමුදු වැනසුණු අධ්‍යාපනය විසින් ජනිත කර තිබෙන පාඩුව අසීමිත බැවින් මැනිය නොහැකි බවයි. සංස්ථා පෞද්ගලිකරණය කිරීම හෝ විදේශීයකරණය කිරීම හෝ වසා දැමීම හෝ මගින් ඉන් හට ගන්නා පාඩුව මග හරවා ගත හැකිය. එහෙත් පාසල වසා දැමිය නොහැක. සමාජයක් බුද්ධියෙනුත් විනයෙනුත් පිරිහේ නම් ඊට අනාගතයක් නැත. පාසල ජරාජීර්ණ වූ කල සමාජය ජරාජීර්ණ වීම වැලක් විය නොහැකිය. අවුරුදු 74ක් ඇතුළත අප රටට සිදු ව ඇති ලොකුම පාඩුව නම් පාසල ජරාජීර්ණ වීමය. දේශපාලනය මගින් එම පසල් ජරාජීර්ණ කර තිබීමය. ඒ අනුව මේ මොහොතේ අරගල කළ යුත්තේ පාලකයන් පැන්නීමට නොව පාසල යළි සකස් කොට යහපත් පාලකයන් සහ පාලන ක්‍රමයක් සකස් කර ගැනීමටය.
අපේ රටේ වත්මන් තත්ත්වය ද Garden Fraser එදා කී දේ නොවේද..? එසේ නම් අරගල කළ යුත්තේ ආණ්ඩු මාරු කිරීමට ද..? නොඑසේ නම් අධ්‍යාපනය යළි සකසා ගැනීමට ද..? තරුණයන් අරගලකරුවන් බවට පත් කරන ලද්දෝ එකට එක්ව අධ්‍යාපනය විනාශ කරන ලද්දෝම නොවේද..?
අප කැරකුණු රවුම මුලට යළි අපි පැමිණ සිටිමු. අලුත් ගමන ආරම්භ කළ යුත්තේ ද පාසලෙන්මය. ඒ වනාහි වත්මන් දේශපාලනීකරණය වූ සහ ව්‍යාපාරීකරණය වූ ගුරුවරුන් සමගවත්, කමකට නැති පාඨමාලා සමගවත්, අරුත් සුන් විභාග ක්‍රමය සමගවත් නොවේ. නව ලොව නව ක්‍රම සමගය. සියලු ජනයාගේ කැමැත්ත දිනූ ආණ්ඩු ලෝකයේ කොතැනවත් නැත. ප්‍රශ්නය පටන් ගන්නේ ආණ්ඩුවෙන් නොව අධ්‍යාපනයෙනි. එබැවින් ප්‍රශ්න විසඳිය හැක්කේ ද අධ්‍යාපනයෙනි.
Lanka Newsweek © 2024