ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 90.9%ක්. කෙසේ වුවත් එම මාසයේ දර්ශක අගය ඉහළ යාම මන්දගාමී වී තිබෙනවා. 2022 ජූනි මාසයේ දර්ශක අගය ඉහළ යාම 12.8%ක් වූ අතර ජූලි මාසයේ එම වැඩිවීම 4.5%ක් පමණයි. ඒ අනුව උද්ධමන පීඩනයේ යම් අඩු වීමක් පිළිබිඹු කරනවා. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මෙම අගය 50% ඉක්මවූ විටයි.
දැනට දැකිය හැකි ප්‍රවනතා අනුව, මගේ ඇස්තමේන්තුව වන්නේ 2022 ඔක්තෝබර් මාසය වන විට උද්ධමනය 80%ක් පමණ දක්වා ඉහළ ගොස් ඊට පසුව ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි. එහෙත්, එම අඩුවීම තීරණය වනු ඇත්තේ දැනට යෝජනා වී ඇති ස්ථායීකරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එම වැඩ පිළිවෙළ අඩාල වුව හොත්, ප්‍රතිඵලය අධි-උද්ධමන තත්ත්වයක් සමඟ එන ආර්ථිකයේ අති දැවැන්ත කඩා වැටීමක් විය හැකියි.
දැනට අර්බුදය විසඳීම සඳහා යෝජනා වී තිබෙන මාර්ග සිතියම කුමක්ද..? සංක්ෂිප්ත ලෙස කිව හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ අදාළ ණය මුදල ලබා ගැනීමයි. එසේ කිරීමෙන්, ප්‍රශ්නය කෙතරම් දුරකට විසඳා ගත හැකිද..?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3ක පමණ මුදලක්. එම මුදල ලබා දෙන්නේ මහ බැංකුවටයි. ඒ මුදල රජයට ලබා දෙන ණයක් නොවෙයි. එසේ වුවත්, මෙම ණය ලැබීමත් සමඟ වෙනත් ජාත්‍යන්තර ආයතන සහ රටවල් විසින් රජයටද යම් ණය මුදලක් ලබා දීමට ඉඩ තිබෙනවා. මේ සියල්ලේ එකතුව ලෙස ඩොලර් බිලියන 5-6ක් පමණ එකතු කර ගැනීම අපේක්ෂිත ඉලක්කයයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමෙන් අනතුරුව මහ බැංකුවට කරන්නට සිදු වන පළමු කාර්ය වන්නේ විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි. මේ වන විට විනිමය අනුපාතය ස්ථාවර කර තිබෙන්නේ කෘතීම ලෙසයි. මෙහිදී ස්ථාවර කර ගැනීම යන්නෙන් අදහස් කළේ නියම පිළිවෙළට විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි.
මේ වන විට මහ බැංකුව විසින් "මහ බැංකුවේ ණය" තව දුරටත් වැඩි කර නොගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා. 2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්. එහෙත්, සංචිත තිබුණේ ඩොලර් බිලියන 1.9ක් පමණයි. ඒ කියන්නේ, ඩොලර් බිලියන 4.0ක ශුද්ධ විදේශ විනිමය හිඟයක්. 2022 ජූනි අවසානය වෙද්දී මෙම ශුද්ධ විදේශ විනිමය හිඟය ඩොලර් බිලියන 4.5ක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබෙන දවස වන විට මෙම හිඟය කොපමණ වී තිබේදැයි කිව නොහැකියි. කිනම් අයුරකින් හෝ ඩොලර් බිලියන 5 සීමාවේ තබා ගනු ඇතැයි කියා අපි දැනට හිතමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මහ බැංකුව වෙත ඩොලර් බිලියන 3ක් ලැබුණ හොත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 පමණ දක්වා වැඩි අකර ගන්න පුළුවන්. ඩොලර් බිලියන 6ක පමණ ණය තිබුණත්, ඒ මුදලින් ඩොලර් බිලියන 2.5ක් පමණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය. එම ණය ඉතා ඉක්මණින් ගෙවිය යුතු නැහැ. ඉතා ඉක්මණින් පියවිය යුතු මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් හෝ තුනක් පමණ විය හැකියි. ඒ කියන්නේ, එම ණය පියෙව්වාට පසුව නැවතත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට හෝ තුනකට බහිනවා කියන එකයි. හැබැයි සංචිත සමාන වුවත්, මහ බැංකුව මේ වන විට මුහුණ දෙන, "රෝල ගහන්න බැරි වීමේ" ප්‍රශ්නය එවිට අවසන් වෙනවා.
මේ තත්ත්වය මත මහ බැංකුවට ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න පුළුවන් වෙනවා. එසේ කිරීමෙන් පසුව ඩොලරයක සැබෑ මිල කොපමණ වේ දැයි කියන එක කිසිවෙකුට හරියටම කියන්න පුළුවන්කමක් නැහැ. එසේ වුවත්, එම මිල රුපියල් දහදාහක් හෝ ලක්ෂයක් නොවන බව නම් කියන්න පුළුවන්. මේ වෙලාවේ ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න ඇරියොත් නම් මිල එවැනි මට්ටමක් දක්වා වුවත් යන්න පුළුවන්.
මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුවද ඩොලරයක මිල නවතිනු ඇත්තේ දැනට පවතින මිලට වඩා සැලකිය යුතු තරම් ඉහළ තැනක බවයි. මේ මිල පහසුවෙන්ම රුපියල් 500ක් පමණ විය හැකියි. එහෙත්, දැනටමත් සාදා අවසන්ව ඇතැයි සිතන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ මත එසේ නොවන්නටත් පුළුවන්. අසීරු ඉලක්කයක් වුවත්, ඩොලරයක මිල මේ වන විට පවතින මට්ටම ආසන්නයේ තබා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව බව පෙනෙන්න තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයින්ට විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමට තිබෙන බාධාවන් ඉවත් වී, අවිධිමත් වෙළඳපොළ බිඳ වැටෙනවා. ඊට අමතරව, විදේශිකයින් විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමද නැවත ආරම්භ වෙනවා. ඒ නිසා, දිගු කාලීන ප්‍රශ්න එසේම තිබුණත්, රටේ ආර්ථිකය 2019ට පෙර වූ ආකාරයෙන් ගෙන යා හැකි තත්ත්වයක් ඇති වෙනවා.
හැබැයි මේ සියල්ල වෙන්නේ කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණොත් පමණයි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. කර්තව්‍ය අභියෝගාත්මකයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹී අදාළ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ණය ලබා දුන් අයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ නිසා, මේ මොහොතේ තිබෙන ප්‍රමුඛ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹීමයි.
මේ කාරණය සිදු වීමට නම් අදාළ වැඩ සටහන ක්‍රියාත්මක කළ හැකි දේශපාලන සහයෝගයක් අවශ්‍ය වෙනවා. එමගින් අදහස් වන්නේ කුමක්ද..? එක්කෝ මෙම වැඩපිළිවෙළ සමග එකඟ වන ආණ්ඩුවකට ඉදිරි වසර තුනක පමණ කාලයේ අභියෝගයක් නොමැතිව ආණ්ඩු බලය පවත්වා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ණය ලබා දුන් අයට පෙනෙන්නට තිබිය යුතුයි. එසේ නැති නම්, එම කාලයේ දී බලයට පත් වීමට ඉඩ තිබෙන ආණ්ඩුව හෝ ආණ්ඩු විසින්ද අදාළ වැඩ පිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරනු ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුයි.
ඒ ක්‍රියාවලිය එසේ සිදු වුණා කියා අනෙක් හැම දෙයක්ම හොඳින් සිදු වන බවට සහතිකයක් නැතත් මේ ටික සිදු නොවන තුරු වෙනත් කිසිවක් සිදු වන්නේ නැහැ. දැනට පෙනෙන පරිදි රනිල් වික්‍රමසිංහට සම්මුතියෙන් අනෙකුත් සියලු පාර්ශ්වවල සහයෝගය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ.
ඒ තත්ත්වය මත වෙනත් ආකාරයකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඔහු උත්සාහ ගනිමින් සිටින බව පේනවා. මේ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු මේ ලිපියේ කතා නොකර සිටිමු. මට දැනට කියන්න පුළුවන්කම තියෙන්නේ කවර ආකාරයකින් හෝ දේශපාලන ස්ථාවරත්වය ඇති වන තුරු මේ මාර්ග සිතියම ඔස්සේ ගමනක් නැති බවයි.
එසේ නම්, මේ මග හැර වෙනත් මගක් තිබේද..? දැනට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් සියලු දෙනාම සේම මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද අනෙකුත් බාහිර පාර්ශ්වයන් බොහොමයක් විසින්ද විශ්වාසය තබන සහ දැනට යෝජනා වී තිබෙන, වඩාත්ම ප්‍රායෝගික වැඩ පිළිවෙළ ඒ ක්‍රියා මාර්ගයයි. මේ වැඩ පිළිවෙළ සහ ගැලපිය හැකි වෙනත් කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් යෝජනා වී නැහැ.
සමස්තයක් ලෙස ගත්තොත්, ප්‍රධාන දේශපාලන ධාරා දෙකම මේ වන විට පෙනී සිටින්නේ මේ වැඩ පිළිවෙළ වෙනුවෙනුයි. ඔවුන් බෙදී සිටින්නේ වෙනත් දේශපාලනික කරුණුවලට අදාළවයි. කෙසේ වුවත්, මේ වැඩ පිළිවෙළ වුවත් සාර්ථක වන බවට අනිවාර්ය සහතිකයක් තිබෙන වැඩ පිළිවෙළක් නෙමෙයි. ඒ වගේම, එහි අතුරු ප්‍රශ්නද තිබෙනවා.
පළමු ප්‍රශ්නය මේ මාර්ග සිතියම ඔස්සේ ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න යම් කාලයක් ගත වීමයි. මෙම කාලය අඩු වශයෙන් මාස හයක් පමණවත් විය හැකියි. ඊට වඩා බොහෝ කල් යන්නත් පුළුවන්. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ අභියෝග රැසක් තිබෙනවා. ඒ නිසා, එතෙක් කල් "ජීවත් වීම" ඉතිරි වන ප්‍රශ්නයක්. මේ සඳහා විසඳුමක් සේ යෝජනා වී තිබෙන්නේ අසල්වැසි රටකින් කෙටි කාලීන ණය ලබා ගැනීමයි. එසේ කෙටි කාලීන ණය ලබා ගත හැකිද යන්න තීරණය වන්නේ අදාළ රටවල විදේශ ප්‍රතිපත්තිය මතයි.
මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමේදී තිබෙන ප්‍රධානම අභියෝගය රජයේ අයවැය සමතුලනය කර ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. මේ ගැනත් අපි පසුව වෙනම කතා කරමු. මේ ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකය අඩු වශයෙන් 10%කින් වත් සංකෝචනය වීම නොවැලැක්විය හැකියි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු වුණත්, රටේ ජාතික ආදායම නැවත 2019දී තිබුණු තැනට එනු ඇත්තේ 2025 පමණ වන විටයි.
එතකොට ඩොලරයක මිලට සහ උද්ධමනයට කුමක් වෙයිද..? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තත් ඉදිරි වසර කිහිපයේ දී මහ බැංකුවට එම ණය ආපසු ගෙවන්න වෙනවා. එසේ ගෙවීම සඳහා වෙළඳ පොළෙන් රුපියල් මිල දී ගන්න වෙනවා. මිල දී ගන්න සිදු වන්නේ කවර ආකාරයකින් හෝ රටට එන ඩොලර්. ඒ තත්ත්වය මත ඩොලරයක මිල එක වර සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් පසුවද දිගින් දිගටම යම් පමණකින් ඉහළ යාම නොවැලැක්විය හැකියි. කිසියම් මට්ටමක ඩොලරයක මිල රඳවා ගැනීම වැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ.
මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. ඊට සමානුපාතිකව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අඩු නොකළ හොත් මුදල් සැපයුම ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් කරන්න වෙනවා. රාජ්‍ය අයවැය සමතුලනය කිරීම ඉතා අසීරු නිසා කෙටි කාලයක් ඇතුළත සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම නැවැත්වීමේ හැකියාවක් නැහැ.
මේ අනුව බැලූ විට උද්ධමනය පහළ යනු ඇතත්, අර්බුදයට පෙර පැවති තනි ඉලක්කමක මට්ටමකට නම් දැන්ම එන එකක් නැහැ. මගේ අදහස තවත් දෙවසරක් පමණ උද්ධමනය 20% හෝ වැඩි මට්ටමක පවතිනු ඇති බවයි. ඒ කියන්නේ පොලී අනුපාතිකද වසර දෙක තුනක් යන තුරු විශාල ලෙස අඩු නොවනු ඇති බවයි.
හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුණොත්..? ගොඩක් වෙලාවට හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවෙන්න පුළුවන්. කලින් විස්තර කළේ පැවතිය හැකි හොඳම තත්ත්වය. (Best Case Scenario) අනෙක් පැත්ත (Worst Case Scenario) බැලුවොත් තියෙන්නේ පතුලක් නොපෙනෙන අගාධයක්..!
Lanka Newsweek © 2025